31 October 2011

මාගේ අවසන් විචාරය...


හරි මෙන්න මගේ බ්ලොගය තුල ලියවෙන විචාර කලාවේ අවසාන විචාරය..මීට විනාඩි කිහිපයකට කලින් පිට උනේ..තාමත් රස්නෙයි.. බලාගෙන පිච්චෙයි...කවදත් වගේ මගේ හිත හොඳ මිත්තරයා බනියා තුමාගේ පින්තූරයකට තමා මේ වැදගත් විචාරය මා'තින් දැන් සුළු මොහොතකට කලින් ලිය උනේ.. එහෙනං කියවලා බලන්ට..කාට කාටත් දැන ඉගෙන ගන්ට පාඩං බොහොමයක් තියේවි...

මේක බනී මලයා හඳුන්වලා තිබුනේ "ඉටි පහන්" කියන නමින්...



හොඳයි වැඩිය නෙවෙයි වචන දෙක තුනක් කියන්නං මේ පොටෝව ගැන... කාලෙකින් බනියට අත හිත දෙන්න බැරිත් උනානේ.. ඒ හින්දා.. හරිද..?

මුලින්ම මගේ මේ ප්‍රවීණ විචාරක ඇස් ගියේ මේකේ හැඳින්වීමට... තව පාරක් බලපන් මලයා ඒ හැඳින්වීම හරිද කියලා... ඉටි පහන්.. අහු වෙන්නේ බහු වචනයටනේ.. ලංකාවේ ඉස්කෝලේ ගිය..හතර වසරට කලින් කට්ටි පැනලා හොර පොල් කඩ කඩ ගියේ නැති ඕනම ළමයෙක් දන්නවා සිංහල භාෂාවේ සරලම දෙයක් තමා ඔය ඒක වචන බහු වචන කියන්නේ.. ඒත් දැන් බලහං මෙතනදී උඹ හතර වසරේ දරුවෙක් තරමටවත් දැනීමක් නැති ආකාරයක් පෙන්නුම් කරනවා... වහාම ඒක හරි ගස්සපන්.. එහෙම හරි ගස්සලා කියපන් මෙන්න මේ වාක්‍යය කණ්ඩය..

"මං හතරේ පංතියේ දරුවෙක් තරංවත් හපනෙක් නොවෙමි"

ඔය පලවෙනි කාරණාව දැන් යමු තව කාරනාවකට... දැන් උඹ ඉස්සර වගේ පොඩි එකෙක් නෙවෙයිනේ..කාරණා කාරණා තේරෙන වැඩිහිටි කොළුවෙක්.. වයසේ හැටියටත්.. ඇගේ හැටියටත් අපිට උඹ පුංචි එකෙක් කියලා හිතන්ට අමාරුයි.. ඒ මදිවට අර වවං ඉන්න රැවුල.. ඉතිං එහෙම මොරපු එකා වෙච්ච උඹ දැන් අර ඉස්සර වගේ නිකංම නිකං තණ කොල ගස්වලටයි..සමනළයින්ටයි කැමරාව අමෝරලා තේරුමක් නැහැ..

කොහොමත් උඹ දැන ගන්න ඕන ඔය පොටෝ ගැනීමත් අර භාව චිත්‍ර වගේ දෙයක් කියන එක... නිකංම නිකං මිනිස් මුහුණක් ඇන්දට ඒකට ලොකු තේරුමක් දෙන්ට අමාරුයි.. ඉතිං ඒ හින්දා ඔය මොඩන් ආර්ට් කියලා දේවල් කරන අය කරන්නේ මෙලෝ යකෙකුට තේරුමක් හොයන්ට බැරි විදියේ ඉරි ටිකක් ඇරලා දාන එකයි කැන්වස් එක හතර වටේට.. ආන්න එතකොටයි උසස් නිර්මාණයක් බිහිවෙන්නේ..

දැන් බලහං මේ පොටෝව දිහා.. කළුවර පසු බිමක ඉටි පන්දමක් පත්තු වෙනවා.. මොනවද පත්තු වෙන්නේ ඉටිපන්දමක්.. කොහේද පත්තු වෙන්නේ කළුවරේ.. ඉතිං ඕකේ උඹට අමුත්තක් පේනවාද..? නැහැනේ.. ආන්න ඒ හින්දයි මං කියන්නේ ටිකක් කල්පනා කරහං.. උඹ මේක පට්ට දවාලක හොදට අව්ව වැටිලා තියෙන තැනට.. ඕනනං හිතං අර ගේ ඉස්සරහා පාරේ කියලා.. ආන්න එහෙම තැනක මේක බිම හිටෝලා.. උඹ ඒක පොටෝ ගැහැව්වනං අන්න ඒකේ තමයි වැදගත් දෙයක් තියෙන්නේ එහෙම උනානං මං අද මේකට මෙහෙම කමෙන්ට් දාන්නට ඕන නැහැ.. මේ වෙනකොට මේකට වට වෙලා කට්ටිය අදහස් දක්වලා.. ෂහ් මචං පස්ට..මැස්සා.. එළ කියලා.. ඒත් බලහං දැන් මේක වේලෙනවා..

ඇයි එහෙම උනේ.. උඹ මේ ගැන ඒ හැටි නොහිතපු හින්දා... ඒ හින්දා මීට පස්සෙවත් මෙහෙම දෙයක් කරනකොට ටිකක් හිතලා මතලා..හොයලා බලලා.. මේ අපෙනුත් අහලා කරහං.. එහෙම කරනවනං උඹට මෙහෙම නෙවෙයි හොඳ වැදගත්..භාවාත්මක.. කලාත්මක.. ප්‍රතිභා පූර්ණ..සම්භාව්‍යය ගණයේ උසස් ඡායාරූප ශිල්පියෙක් වෙන්ට ඇහැකි.. ඒක උඹට අමාරු නැහැ.. උඹට එක දෙයක් ඇර අනිත් හැම දේම තියෙනවා ඒ තත්වයට ලගා වෙන්ට..

උඹ ගාව තියෙන දේවල් තමා කැමරාව.. එතකොට ඇගිලි.. ඒ වගේම එකෙන් පොටො එකක් ගහන්නේ කොහොමද ඒකට ඔබන්ට ඕන මොන මොන බටොන්ද කියලා දැනීම.. බලහං එච්චර දේවල් දැන ගෙනත් එක දෙයක සුළු අඩුපාඩුවක් හින්දා උඹ අර හැම දේම නැති නාස්ති කරගන්නවා... ඒ හින්දා පොඩ්ඩක් උත්සහ කරලා අර නැති දේ ඇති කරගනින්..ඒ කිව්වේ "හැකියාව" ඇති කරගනින්... එහෙනං සුභ අනාගතයක් වේවා ඈ..

ආ තව එකක් ස්තූති කරලා කතා නොදැම්මට කමක් නැහැ.. මං දන්නවා උඹ දැන් මේකට සෑහෙන්න ස්තූති කරන්න හදනවයි කියලා.. ඕන නැහැ මලේ.. ස්තූති බලාගෙන කරපු දේවල් නෙවෙයි උඹගේ මානසික තත්වය හදන්න අපිට තියෙන යුතුකම සලකලා මේක කලේ..උඹ මේක කියවලා මනසින් ශක්තිමත් උනානං මට ඒ ඇති.. ස්තූති කරලා කියන වචන දාහකට වඩා.. එහෙනං මං ගියා.. මතකනේ උඹට නැති දේ.. ආන්න ඒක හදා ගනින්...

මරු දෙඩවීම...

මේ ලියන්න පටන් ගන්නේ මගේ බ්ලොග් එකේ ලියවෙන 485 වැනි පෝස්ට් එක. ඇත්තටම ආපහු හැරිලා බලන්න කාලය හරි කියලා මට දැන් දැන් හිතෙනවා. මෙච්චර දවසක් ආපහු හැරිලා මං මේක කරගෙන ආව හැටි නොබැළුවා නෙවෙයි.. ඒත් ඒ ගැන මං කතා කරන්න ගියේ නැහැ. මොකද එහෙම දෙයක් කරන්න තරං වැදගත් හේතුවක් නොතිබුන හින්දා. ඒත් දැන් මට ඒකට හේතුවක් තියෙනවා.

දැනට අවුරුදු දෙකකට කලින් මං මේක පටන් ගන්න වෙලාවේ මට මහ ලොකු බලාපොරොත්තු තිබුනේ නැති විත්තිය මං කීප වතාවක් කියලා තියෙනවා විවිධ අවස්ථාවලදී. ඇත්තටම ඒක එහෙමම තමයි.

මට මුලින්ම දින පොතක් කියලා දෙයක් ලැබුනේ 1996 වගේ කාලෙක කියලයි මට මතක.. ඒක සුවිශේෂී දින පොතක්.. සාමාන්‍ය දිනපොතකට වඩා වෙනස් එකක්.. ඒක ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කවුරුන් හෝ නිකුත් කල එකක්. රතු පාට පිට කවරය.. රාදුගා ප්‍රකාශකයින් විසින් නිකුත් කල පරිවර්ථන පොත් වල වැනි අක්ෂර ක්‍රමයක්.. ඒ වගේම දිග පළල අඩු පොතක් ඒක.. අතරින් පතර පිටුවල ලෝක දේශපාලනය තුල සමාජවාදය පිළීබඳව පුංචි පුංචි කතා වගේම සුවිශේෂී අවස්ථා ගැන සඳහනක් තිබුනා.

ඇත්තටම ඔය ගති ලක්ෂණ හින්දා මට ඔය පොත අමතක වෙන්නේ නැහැ. ඒක මට නෙවෙයි තාත්තට එයාගේ හිතවත් ජවිපේ යාළුවෙක්ගෙන් ලැබිලා පසුව මට දුන්න එකක්.කොහොම උනත් මං ඒ පොතට හුගක් කැමති උනා... ඒ වගේම මං ඒක ලිව්වා.. දවස ගානෙම මොන මොනවා හරි ලිව්වා... කට්ටිය මොකද හිතන්නේ මොන වගේ දේවල් තියෙන්න ඇතිද ඒකේ...? මහ බර බර දේවල්ද? නැහැ ඇත්තටම ඒවා මතක් වෙනකොට අදටත් මට හිනා යනවා... ඒක තනිකරම කෙල්ලෝ ගැන ලියවිච්ච එකක් කිව්වොත් වැරදි නැහැ...සරලව කිව්වොත් ඒවා මෙන්න මෙහෙම සටහන්...

"අද හවස අහවල් තැනට අහවලත් එක්ක ගියා අහවලාව බලන්න. ලියුම දී ගත්තා.. හිනා වෙලා ගියා හෙට තමා මොකද වෙන්නේ කියලා දැන ගන්න වෙන්නේ."

"අදත් අහවල් තැනට ගියා.මල කෙලියයි CH, KU, NIM, තැන් දෙනාම ඇවිත් එකටම.. හදිසි ගමනක් යන ගමන් කියලා මං මාරු උනා."

"*** අයියලගේ පිරිත් ගෙදර ගියා NIM ඇවිත් හිටියා එළී වෙනකල්ම කයිය ගගහා හිටියත් අනිත් උන් හින්දා අදත් කියා ගන්න බැරි උනා."

ඔන්න ඔහොම සටහන් තමයි පොතෙන් වැඩි හරියක්ම.. ඔය ඉංග්‍රිසි අකුරු වලින් කෙටි කරලා යොදන්නේ ගෑණු ළමයින්ගේ නම් තමා. කොහොමත් කෙල්ලෝ හත් අට දෙනෙක්ම ඒ දවස්වල මගේ ජීවිතේට එහෙං මෙහෙං එබිකං කරපු හින්දා ඕක කියවන එකෙකුටවත් හිතා ගන්න බැහැ මේ මොන විකාරද කියලා...:D

ඔහොම ලියාගෙන ආව පොත් ලිවිල්ල අතරේ මට මතකම හිටින සටහන මං දැම්මේ 1998 වර්ෂයේදී.. හරියටම දිනය 1998 අගෝස්තු මාසේ 24 වැනිදා වගේ තමා මතක තියෙන්නේ..සිදුවීම උනේ දහවල් 12.24 ට..වෙලාවනං හරියටම හරි.. මොකද ඒ සිදුවීමට කලින් පාර හරහා පනිද්දි මං වෙලාව බැළුවා.


"අද දවල් 12.24ට KU මට කැමතියි කිව්වා. විභාගේ ඉවර වෙලා එයා ආවා බස් හෝල්ට් එකට. මාව දැක්ක ගමන් යාළුවෝ ටිකට මොනවද කියලා මං හිටි පැත්තට ආවා. මං නුවර පාරෙ මෙහා පැත්තේ ඉදලා එයා හිටිය පැත්තට පැන්නා. කියන්න දෙයක් ඒ හැටි තිබුනේ නැහැ. මං ඇහැව්වා මොකද කියන්නේ කියලා. එයා කිව්වා මං හිතුවා ඔයා අද ඕක අහයි කියලා. මං කිව්වා ඔව් මං ඔයා විභාගේ ඉවර වෙනකල් බලං හිටියේ. ඉතිං දැන් මොකද කියන්නේ. එයා හිනා වෙලා ඔළුව වැනුවා. හවස පන්සල් යන්න එන්න කිව්වා. මං ගියා එයයි අම්මයි අක්කයි ගියේ.මං එනකොට අනිත් අයට යන්න කියලා ඒ තුන් දෙනා එක්ක ආවේ.අම්මයි අක්කයි ඉස්සර වෙලා කතා කර කර ගියා අපි දෙන්නා පිටිපස්සෙන්. අම්මත් දන්නවා වගේ වැඩේ. මං දිහා බලලා කැත හිනාවක් දැම්මා. දැන් ඉතිං මෙහෙම ඉඳලා හරි යන්නේ නැහැ."

ඔන්න ඔය ටික තමා ලිව්වේ පොඩ්ඩක් එහෙට මෙහෙට උනත් ඔය ටික තමා ලියඋනේ. ඒත් එක්කම මාසයක් ඇතුලත මම ගුවන් හමුදාවට බැඳුනා. ඒත් එක්කම දින පොත් ලිවීමත් නැවතුනා. ආයෙමත් මං ලියන්න ගත්තේ 2001 වගේ ඉදලා 2008 විතර වෙනකල් කාලේ තමා.. කොහොම හරි 2008 මං පන්සලෙන් එන්න හදනකොට මං ගාව දින පොත් 11 ක් තිබුනා. ඒ හැම එකක්ම නැවත නැවත කියවන්න පුළුවන් ලස්සන මතකයන් රාශියක් ලිය උන ඒවා. ඒ විතරක් නෙවෙයි මගේ හැම දුකක් කරදරයක්ම මං ඒවායේ අකුරු කරලා තිබුනා. ජීවිතයේ අමාරුම දවස් ගැන... ඒ හැම දෙයක්ම මට බෙදා ගන්න හිටිය එකම යාළුවා ඔය දින පොත් විතරයි... ඒත් මං පන්සලෙන් එන්න කියලා තීරණය ගත්ත දවසේ මං ඒ හැම පොතක්ම පිච්චුවා. ඔව් ඒ පොත් එකොළහම පිච්චුවා. ඊට කලින් උදේ වරුවම ඒවා කියෙව්වා. දවල් දොලහටත් එකටත් අතර කට්ට අවුවේ පන්සල ඉස්සරහ මං පොඩි කාමරයක් හදන්න දමාපු අත්තිවාරම උඩ තියලා පිච්චුවා. දින පොත් එහෙම ලේසියට පිච්චෙන්නේ නැහැ‍.. ඒ හින්දා කෝටුවකින් නිතර අවුස්ස අවුස්ස පැය බාගයක් විතර කාලයකදී ඒ හැම පොතක්ම අළු කරන්න මට පුළුවන් උනා. එයින් මාස තුනකට පස්සේ මං පන්සලෙනුත් සිවුරෙනුත් වෙන් වෙලා ආවා...එතනින් එහාට මං දින පොත් ලියලා නැහැ...

ඒත් 2009 වර්ෂයේදී අන්තර්ජා‍ලයේ ඉන්න කොට මට හම්බ උනා අපූරු දෙයක්.. ඒ තමා මේ බ්ලොග් කෙරුවාව. අනිත් අය වගේම මමත් මුලින්ම අනුන්ගේ බ්ලොග් දිහා බල බල හිටියා.. පස්සේ මටත් හිතුනා හිතේ තියෙන දේවල් එළියට දාන්න මේක හොදයි කියලා. ඉතිං මමත් පටන් ගත්තා ලියන්න...

කලින් දින පොත්වල ලිව්වා වගේම බොහොම සරලව මං මගේ හිතේ නැගුන හැම දෙයක්ම මේ හරහා වචන බවට හැරෙව්වා. ඒත් වෙනසකට තියෙන්නේ මං ලිව්ව දිනපොත් කාටවත්ම කියවන්න උනේ නැති එකයි. ඒත් අද මං ලියන දේවල් හුග දෙනෙකුට කියවන්න අවස්ථාව තියෙනවා.මට හුගාක් ගැඹුරු තාලෙන් ලියන්නවත්.. හර බර විදියට ලියන්නවත් කවදාවත් ඕනකමක් තිබුනේ නැහැ. මොකද මං ලියන්නේ මගේ සතුටට නිසා.. ඒත් හුග දෙනෙක් කියවන හින්දා සමහර තැන්වලදී මං මම දන්න කියන දේවල් අනිත් අයටත් ඉගෙන ගන්න ඇහැකි විදියට ලියලා දාන්නත් උත්සහ ගත්තා. ඒත් ඒවාත් මේ ලොකු ලොකු දේවල් නෙවෙයි.. හොද්දට ලුනු දාන හැටි වගේ දේවල්... එහෙම නැත්තං ලග්නය හදා ගන්න විදිය සරල විදියට වගේ දේවල්...මහප්‍රාණ කවදාවත් මං ගාව තිබුනේ නැහැ.. ඒ මේක මගේ දින පොත මිස මගේ වීර කාව්‍යය නොවන හින්දා...

මේක දිග වැඩි වේගන එන්නේ ඒ හින්දා මෙතනින් පල්ලං පොල්ල දාමු.

30 October 2011

මේක බ්ලොග් පොස්ට් එකක් නෙවෙයිද..?

බ්ලොග් එකේ මොනවද ලියන්න ඕන. මේක හරි පුදුම කාරණයක්නේ. මං මේකේ සාහිත්‍ය ලියන්නද? ඉතිහාසය ලියන්නද? විද්‍යාව ලියන්නද? ගණිත ක්‍රම ගැන ලියන්නද? එහෙමත් නැත්තං දේශපාලනය ගැන..ඕනනං තව නවීන තාක්ෂණය ගැන. සිංහල භාෂාවේ ව්‍යාකරණ ගැන..? මොනවද මං ලියන්න ඕන..? මේක පාවිච්චි කරන්ට ඕන ඒකට විතරමද..? අනිත් ඒවා පල් හෑලිද..? එහෙම ලියන්ට ඔට්ටු නැද්ද..? ලිව්වොත් ඒක බරපතල වරදක් වෙයිද..? හපොයි මං දන්නේ නැහැ. ඒත් මෙන්න මං ලියන විදිය. මේක තමා මං කැමති විදිය මේක ඇතුලේ ඔය ඉහත කිව්ව කිසිම දෙයක් නැහැ වගේද..?
...............................................................

උදේ 8ට ඕෆ් උනා. ආවා ගෙදර. ඇරියා දොර. ලැප් එක තියෙන බෑග් එකයි. මගේ පොත් මල්ලයි දැම්මා ගේ ඇතුලට ගත්තා වෙන ලොකු මල්ලක්. මං ගියා පොලේ. පොලෙන් බඩු අරං ගෙදර ගෙනල්ලා අරං ආව දේවල් හැම එකක්ම සුද්ද කලා හේදුවා ෆ්‍රිජ් එකට දාන ඒවා ඒකට දැම්මා. අනිත් ඒවා ඒවාට නියමිත තැන්වලට දැම්මා. කරවල එහෙමත් කෑලි වලට කැපුවා. හාල්මැස්සෝ ඔක්කෝගේම ඔළු කඩලා සුද්ද කලා. ඒවත් අරං තිබ්බා. ඊට පස්සේ නාගෙන ගියා ගෙයක් බලන්න. හෝව් හෝව් ගෙයක් බලන්න කිව්වේ මට නෙවෙයි.. මේ මං දන්න කියන කෙනෙක්ගේ ගෙදරක දෝෂ වගයක් කියලා ඒක බලන්ට... ඒ ඉවර කරලා ආපහු එනගමන් හාල්.. මස් මාළු එහෙම අරගෙන ආවා. ඒවත් කලින් විදියටම පිළිවෙලක් කලා.


ඊට පස්සේ දවල්ට ඉව්වා. උයන අතරෙම ගේ අස් කරලා මකුළු දැල් කඩලා හොදට අතු ගෑවා. ආ ඒ විතරක් නෙවෙයි මං හැදුවා රසම රස කටු සුප් එකක්... මස් කට්ටක් විතරක් නෙවෙයි එළවළු එහෙමත් දාලා. ඒක බීබීම තමා වැඩ කරගෙන ගියේ මොකද උදේට කාලත් නෙවෙයිනේ අද මං හිටියේ. ඉතිං කොහොම කොහොම හරි හවස තුන විතර වෙද්දි වැඩ ටික ඉවර කරලා හොදට ආයෙම වතාවක් නාගෙන තුන හමාරට බත් ඩිංගක් බෙදාගෙන කෑවා.. බත් කාලා ඉවර වෙලා අන්නාසි ගෙඩියකුත් කෑලි කෑලි කපලා කන ගමන් වාඩි උනා ලැප් මල්ලියා ඉස්සරහින්.. ගියා රවුමක් බුකියේ.. එකෙක් දෙන්නෙක් එක්ක පොඩි කොක්කක් එහෙම දාගෙන ආයෙමත් මෙතනට කඩං පාත් උනා.. ලියන්න දෙයක් පිළීවෙලකට හිතට එන්නේ නැහැ. ඒ පාර මේ වාර්ථා වැඩ සටහන ලිව්වා. දැන් ඇති මං නවතිනවා... ආ ඊට කලින් මේක සම්පූර්ණ වාර්ථාවක් වෙන්න අද මගේ වියහියදම් ගැනත් ලියන්නං.

මේ තියෙන්නේ අද මං ගත්ත බඩුවල මිල ගණන්.

1.සම්බා හාල් .............2kg......රු.120
2.සුදු කැකුළු සම්බා.....500g...රු. 30
3.පොල් ලොකු ගෙඩි..2..........රු. 70
4.මස් .........................250g...රු.100
5.තලපත් මාළු ...........250g....රු.160
6.තලපත් කරවල .......300g....රු. 84
7.බල කරවල .............150g....රු. 31
8.හාල් මැස්සෝ........200g....රු. 64
9.බිත්තර...................5...........රු. 50
10.මිරිස් කුඩු.............50g......රු. 20
11.බිස්කට් කුඩු.........100g.....රු. 10
12.කරපිංචා මිටි.......1............රු. 10
13.කොච්චි...............50g.......රු. 20
14.සේර...................100g.....රු. 10
15.ලොකු ළුණූ.........500g.....රු. 30
16.කොහිල අල........1............රු. 10
17.කැරට්..................250g....රු. 20
18.ගෝවා.................450g...රු. 30
19.තක්කාලි..............250g...රු. 20
20.පිපිඤ්ඤා ගෙඩි...1..........රු. 10
21.ගොටුකොල මිටි..1..........රු. 10

සම්පූර්ණ එකතුව රුපියල් 909 යි.

දවස් දහයකට ආහාර සංචිතය සෑහෙනවා..තව ඕනනං එළවළුවක් දෙකක් ගන්න වෙයි...ඒවා එනකොට වියදම 1000ක්ම වෙන්නේ නැතෑ.. එහෙම බැළුවම මාසයක් කන්න 3500ක් මට හොදටම ඇති. දැනට අවුරුදු 3කට කලින් මට ඔය ටිකටම 4500ක් විතර ගියා. ඒ කිව්වේ මං මේ උයං කන්න පටන් ගත්ත දවස්වල වියදම...

හා හා ඔය ඇති. දැන් ඔය තියෙන්නේ බ්ලොග් පෝස්ට් එකක් වගේ එකක් නේද..?

27 October 2011

නරි විජේ.. රාජපක්ෂ පැහැදිලි කරයි...

"ඈ රාජයියේ මොකක්ද මේ පිස්සු වැඩේ තේරුම..?"

"මොන වැඩේද මල්ලි..?"

"ඇයි අයියේ මේ චන්දේ ඉල්ලන එකේ තේරුම... බලහං මාත් ඉල්ලනවා මේ පාර.. උඹත් ඉල්ලනවා..අර චන්ද පොලකටවත් යන්න වයස නැති සුරංගයත් ඉල්ලනවා..එයිට කලින් දවසේ හන්දියේ ගල් ලෑල්ල උඩ තප්පලං දාං උන්න කොල්ලෝ සෙට් එකම මේ පාර චන්දේ අපේක්ෂකයෝ.. ඒකත් කමක් නැහැ කියමුකෝ... අඩු ගානේ අපි ඉල්ලන දිහාව කළුද සුදුද කියලවත් අපි දන්නෙත් නැහැ... මොකටද මෙහෙම ඉල්ලලා..?"

"හරි හරි මල්ලි උඹ කිය එක තේරෙනවා.. ඒත් මේක මේ දිනන්න ඉල්ලන ඉල්ලිල්ලක් නෙවෙයිනේ බං.."

"එහෙනං මොකක්ද මේ ඉල්ලන එකේ තේරුම..."

"හරි මං කෙටියෙන් කියන්නං උඹ තේරුං ගන්නවනං ගනින් නැත්තං නිකා හිටිං..."

"කියහංකෝ බලන්න.."

"මෙහෙමනේ මල්ලි දැන් අපි දිස්ත්‍රික්කෙකට ලයිස්තුවක් හදලා ඉල්ලුවාම පිළිගත් පක්ෂයක අපේක්ෂකයෝ හැටි‍යට අපිටත් ඔය මහ පක්ෂවලට වගේම සමාන අයිතියක් ලැබෙනවා.. ඒ කිව්වේ ආරක්ෂාව.. ජන්දපොල නියෝජිතයින් පත් කිරීම.. ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂකයින් පත් කිරීම වගේ දේවල්..."

"ඉතිං ඒවා ලැබිලා මක් කරන්නද..?"

"මක්කරන්නද කියන්නේ හිතලා බලහංකෝ දැන් උඹට උනත් පුළුවන් ඕනනං ආරක්ෂක ප්‍රශ්න කියලා ඉල්ලීමක් හරි විදියට කලොත් මේ චන්දේ ඉවරවෙනකල්ම පොලිසියෙන් දෙන්නෙක් විතර ඉල්ලගන්න..."

"නැහ්.. යකෝ එහෙමත් පුළුවන්ද..? ඉතිං අපිත් ඉල්ල ගමුකෝ... අපිට බැරියෑ උංවත් අරගෙන ගම වටේ ඇවිද්දවන්න... කවදද බං අපිට පොලිස්කාරයෝ දක්කන්න හම්බ වෙන්නේ..?"

"ඒකනං බැරියෑ.. ඒත් එතකොට උඹට පුළුවන්ද උංට කන්න දෙන්නයි.. උගුඩුවන්ට වගේ බොන්න දෙන්නයි.."

"විකාර කතා කරන්න එපා එහෙම තියෙනවනං මං එනවද උඹලත් එක්ක මේ අනුන්ගේ හරක් බලන්න.. ආතල් එකේ කොල්ලෝ ටිකත් වැව් බන්ට් එකට එක්ක ගිහින් කරටි කැඩෙන්න ගහනවා මිසක්..."

"ආන්න ඒකනේ කියක්නේ.. අපිට උඹට වැඩකුත් නැහැ.. හම්බ උනත් උංව නඩත්තු කරන්නත් බැහැ.. ඒත් ඒක කරන්න පුළුවන් එවුනුත් ඉන්නවා... අපි කරන්නේ මේ සියළුම පහසුකම් උංට දීලා ගානක් ගන්න එකයි..."

"ඒ කිව්වේ..?"

"ඒ කිව්වේ බං දැන් අපි මුළු රටටම නාම යෝජනා බාර දුන්නා.. ඒ අනුව අපිටත් ඔය සියළුම පහසුකම් ලැබෙනවා.. ඉතිං අපි ඒ වරප්‍රසාද නොගෙන ඒ සඳහා ලැබුන සියළු දේවල් ගානක් කතා කරලා වැඩිම ඉල්ලුමට ඒවා අරගන්න එකාට දෙනවා.. ඒ එන මුදල ඉහල ඉඳලා පහලටම බෙදෙනවා... ඉතිං චන්දයක් කියන්නේ අපිටත් ඔය කාලේ ගෙවාගන්න හොඳ දෙයක්..."

"ඉතිං රාජයියේ ඕවා අපෙන් ගන්න ඕනයෑ..උන්ටත් ඒ දේවල් ලැබෙනවනේ නීතියේ හැටියට.."

"ඒක හරි බං.. ඒත් එහෙම ලැබුනම ඇතිද.. දැන් බලහං මේ දිස්ත්‍රික්කයට අර පක්ෂෙන් ඉල්ලනවා හතලිහක් විතර. ඒත් හැම චන්දපොලකටම පෝලිං බූත් එකට දාන්න පුළුවන් චන්දපොල නිරීක්ෂකයෝ දෙන්නෙක් විතරයි... ඒත් පක්ෂය ඇතුලේ බලය තියෙන එකා ඒකට දාන්නේ තමන්ගේ හිතවත් උන් දෙන්නෙක්.. එතකොට උං බලන්නේ අර උංව දාපු ලොක්කගේ මනාප ගැන විතරයි..අනිත් අපේක්ෂකයින්ට හුලං.. ඉතිං එහෙම කෙනෙකුට මෙහෙම අවස්ථාවක් හම්බ උනොත් ඌටත් පුළුවන් තමන් වෙනුවෙන්ම දෙන්නා ගානේ දා ගන්න හැම චන්ද පොලකටම.. පක්ෂයකටම දෙන්නෙක් ඉන්නවා වගේද බං තමන්ටම කියලා ඉත්තෝ දෙන්නෙක් ඉන්න එක.. ආරක්ෂාවද.. නියෝජිතයොද... අරවද මෙව්වද හැම එකම.. දැන් අපි මේ පාර මේ දිස්ත්‍රික්කේ සියළුම අපිට ලැබුන පහසුකම් අර "ජෙරී"මහත්තයගේ පුතා "පිවිතුරු" මහත්තයට ගානක් කතා කරලා දුන්නා..ඊට අමතරව මෙහෙ අපිට චන්දේ ඉල්ලන්න දෙයක් නැහැනේ..අපිට මොකා චන්දේ දෙන්නද..? ඉතිං මේ චන්දේ ඉවර වෙනකල් අපිත් පිවිතුරුට බැහැලා වැඩ කරන එකයි තියෙන්නේ... පක්ෂේ උන්ට වඩා මෑන්ස්ට අපිව ෂුවර්..."

"ඉතිං බං මේ පක්ෂේ නායකයා මෙවා දන්නවද..?"

"ආ ඒ මනුස්සයට ඒවා වැඩක් නැහැ..මෑන්ස්ටත් සමහර විට ඉහලින් අපිට වඩා මොනව හරි ලැබෙනවත් ඇති.. මෑන්ට ඔය මේසයක් උඩට නැගලා හරි හතර පස් දෙනෙකුට පේන්න කතා කරලා පොටෝ විස්සක් විතර ගස්සවගෙන දන්න කියන පත්තර කාරයින්ට අරක්කු බෝතලයක් දෙකක් දීලා ඒවා පත්තර වල දා ගන්නවා ඇර දෙයක් ඕන නැහැ.. මෑන්ස් කරන්නේ ඒ ටික විතරයි..ආයේ ඉතිං ජනාධිපතිවරණයක් ආව ගමන් ඒකට අපේක්ෂකයා හැටියට ඉල්ලනවා..ඒක ඉවර උන ගමන් මාධ්‍යයට නිවේදන නිකුත් කරනවා චන්දය දූෂිතයි කියලා.. එයින් එහාට දෙයක් ලොක්ක දන්නෙත් නැහැ කරන්නෙත් නැහැ..ඉතිං අපිට මොකද..අපිත් ජීවත් වෙන්න එපෑ බං.."

"ඉතිං බං අපිට මොනවද තියෙන්නේ..?"

"උඹලත් ඔය මොන මොනවා හරි කරලා මේ වෙලාවේ ගතමන්ට් එකක් හොයාගනින්.. මං පිවිතුරු මහත්තයගේ පක්සෙන්ම ඉල්ලන සිරිවර්ධන මහත්තයට උඹව සෙට් කරලා දෙන්නා.. පිවිතුරුයි සිරයි තරහයි..අපිට ඒවා වැඩක් නැහැ..මෑනුත් අපේ බඩු ටික සල්ලි වලට ගන්න හැදුවට පිවිතුරුට තරං සල්ලි දෙන්න බැහැ..ඒ හින්දා ඒක ගහලා ගියත් මෑන් අපිත් එක්ක හොදින් ඉන්නවා... උඹ මෑන්ට සෙට් වෙයං... එනවුන්ස් කරන එකෙකුට දවසට දාහක් දෙදාහක් ගතෑකි..හැබැයි උඹ සිස්ටම් එක අල්ල ගන්න ඕන.. එච්චරයි..උඹට හොඳට කතා පවත්තන්න පුළුවන්නේ.. ඒක කැටයං දාලා කරහං එච්චරයි...එහෙම නැතිව උංගෙන් අපිට චන්දෙන් පස්සේ තඹ සතයක් ගන්න බැහැ ලබන චන්දේ එනකල්ම..."

රාජයියාගේ පැහැදිලි කිරීම අවසන් වූ අතර එයින් සතියකට පමණ පසුව මා එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් උගුර ලේ රහ වෙනතුරු නිවේදකයකු හැටියට හා පොකට් රැස්වීම්වල සෙනග රඳවා ගැනීමේ කථිකයකු ලෙස වැඩ කටයුතු කරමින් සිටියෙමි... රාජයියා රාජයියාගේ පොරොන්දුව ඉටු කොට තිබිණි...එහෙත් මා මුදලට නිවේදන කටයුතු කිරීම පසෙකට දමා පසුව මා සිරිවර්ධන මහතාට බොක්කෙන්ම උදව් කලෙමි.. ඒ ඔහු තුල වූ මානුෂික ගති පැවතුම් නිසාවෙනි...

රාජපක්ෂ නැතහොත් කෙටි නම වූ රාජයියා යනු අපගේ ගමට අල්ලපු ගමෙහි සිටි දැන උගත් උපාධිදාරි අයකු වූ අතර කලක් විප්ලවීය දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ක්‍රියාකාරිකයකුව සිටි අයෙකි. පසුව බොහෝ විප්ලවවාදීන්ට මුහුණදීමට සිදුවන පොදු යථාර්තයන් යටතේදී තෝරාගනු ලබන විකල්ප මාවතක ගමන් ගනිමින් දිවි ගෙවූ අයෙකි.

ඔහු හට 89 වසරේදී ටයර් සෑය පෙනි පෙනී එයින් ගැලවෙන්න ලැබුනේ පළාතේ යමක් කමක් තිබූ ප්‍රභූවරුන් වූ දෙමාපියන්ගේ ක්‍රියාකාරී වීම හරහා එවකට රජයේ උසස් අය සමඟ තිබූ සම්බන්ධකම් මතිනි... අවසානයේ මරණයට තත්පර කිහිපයක් ආසන්නයේදී තීන්දුව වෙනස් කොට අත පය බැඳ එක්තරා ස්ථානයක දමා ගොස් සිටියදී සොයා ගනු ලදුව එතැන් පටන් ඇති වූ මර බියත්... දෙවෙනි වතාවටත් මාපියන්ගේ පිහිටෙන් ජීවිතය ලැබීමෙන් ලද කම්පනය හේතු කොටගෙන එතැන් පටන් මාපියන්ට හිතුවක්කාර වීම මඳකට අත හැර දමා සිටීමට ගත්තා වූ තීරණයත් හරහා ඔහු විප්ලවීය දේශපාලනයෙන් ඉවත් වී මැදහත්ව සිටිනු දක්නට ලැබිණී...

කුමන හෝ හේතුවක් මත මේ වන විට රාජයියා සිටියේද නරි විජේගේ පක්ෂයේම සාමාජිකත්වය දරමිනි. ඒ දක්වා ආ ගමන් මග හරියාකාරව පැහැදිලි නොවූවත් අවසානයේ නරි විජේ මෙන්ම රාජයියාත් සිටියේ බඩගෝස්තරවාදී දේශපාලන දහරාවේ කොටස් බවට පත් වූවන් ලෙසිනි... එහෙත් ප්‍රතිපත්තියක් නැති දේශපාලකයින් වෙනුවෙන් නොමිලේ නහිනවාට වඩා ගැරිය හැකි කාලයේදී ගරා ගන්නවා ඇර අපේ පන්තියේ උන් වෙන කුමක් කරන්නද..? සාධාරණිය කරණය කල නොහැකි වූවද සමාජයේ තවත් අඳුරු සංස්කෘතියක් බිහිවන්නේ මේ හරහා බව නම් කිව යුතුය... පෝස්ටර් ගැසීමෙන් ආරම්භ වන මෙම ගමන පාතාලය බිහි වීම දක්වාම ගමන් කර ඇත්තේ නැති බැරි එ‍කාගේ උවමනාවටම නොවේ.. ඒවා ඇති කරන්නේ එවා නැති කිරීමට පාරම් බාන අය විසින්මය...එයට පක්ෂ විපක්ෂ භේදයක් නැත...

25 October 2011

නරි විජේ...මා චන්දේ ඉල්ලූ හැටි...


"ආයේ අමුතුවෙන් බලන්න දෙයක් නැහැ අත්සන් කරහං බං මල්ලියේ ඔය හැටි කියෝ කියෝ ඉන්න ගියොත් මේ චන්දෙට නෙවෙයි ලබන චන්දෙට තමා ඉල්ලන්න වෙන්නේ.."

"හරි හරි බං... ඒත් කවුද දන්නේ තෝ මගේ බූදලේ ලියා ගන්න හදනවද කියලා.."

"අනේ මම නොදන්න උඹේ බූදලේ... ඕක ඉක්මනට ඉවර කරහං බං මට තව වැඩ තියෙනවා.. දැන් ඕකත් අරං යන්න ඕන ලේකම් කාරයා හම්බ වෙන්න.. ඊට පස්සේ සමහර විට මට අනුරාධ පුරේ යන්න වෙයි අද රෑම..."

"මගේ බූදලේ...හහ්..."

කට කොනකින් නෝන්ඩි හිනාවක් දැමු මා වහ වහා ඔහු පෙන්නූ තැන්වල අත්සන ගසා දැමීමී..එය මාගේ පුරුදු අත්සන නොවන වග දන්නේ මා හැර කවුරුන්ද..? එහෙත් ඔහුට අවශ්‍ය අත්සන් පමණි... මා අත්සන් කර අවසන් වූ වහාම පිල් කණ්ඩිය උඩ වාඩි වී පාර දෙස බලමින් කකුල් පද්දමින් සිටි සුරංගටද කතා කලේය...

"ආ මල්ලි උඹත් කෙලලා ඇරහං මේකේ.."

පෙර පරිදිම කතා බස් කෙරෙන අතරේම සුරංගද සිය බලි කුරුටු අත්සන ගසා දමා හිනැහුනි...

"හරි ඔන්න දැන් වැඩේ අවසානයි ගරු අපේක්ෂක මල්ලිලා..උඹලත් දැන් මේ පාර චන්දෙට ඉල්ලනවා.."

"ඈ අයියේ අපි දිනයිද..? යකෝ මට තව චන්දයක් දාන්න වයසවත් නැහැනේ.." සුරංග අසන්නේ චන්දය ඉල්ලන්නට ලැබුන අවස්ථාවෙන් සිතට දැනී ඇති ගැම්මද මුහුණ පුරා විසිර යන සිනාව තුලින් පිටතට දමමිනි.

"කවුද බං දිනන කතාවක් කිව්වේ..අනික උඹලවත් චන්දෙ දාන්න යනවද..?"

"දැන් කොහාටද බං අපි ඉල්ලන්නේ..?" මමත් සිතට නැගුනු පැනය ඉවතට දැමිමී...

"මේ ලිස්ට් එක අනුරාධපුරෙට බං... ඔය කහට ගස් දිගිලිය හොරොව්පතාන පැත්තේ එහෙම කොහාට හරි අහුවෙයි.."

"ඈ අයියේ අපි ඉල්ලන සීට් එකවත් අපිට කියහං ඈ..අඩු ගානේ කවදා හරි කාට හරි කියන්නවත් බැරියෑ අපිත් චන්දෙ ඉල්ලුවා කියලා..පැරදුනත් ඉල්ලලානේ බං..."

"හරි හරි මං මේ ටික අද ලේකම් කාරයත් එක්ක පුරවලා ඉවර කරලා උඹලගේ සීට් එක කියන්නං..."

..........................................
නරි විජේ..ඒ කවුරුන් වූවත් ඔහුව හැදින් වූ නාමයයි... කලින් කලට අතට අහුවන මොනවා හෝ කර ජීවත්වන ඔහු වැඩි වශයෙන් කලේ රියදුරු රැකියාවය..එහෙත් ඒ එක් තැනක නොවේ.. අද මෙතන නම් හෙට තවත් තැනකි. ස්ථීර රියදුරු රැකියා ඔහුට රුචි නොවීය.. සෑම විටම ටෙම්පරියක් ගැසීමට පුරුදුව සිටින ලදි. අවස්ථාව ලැබෙන සෑම අවස්ථාවකදීම කුමන හෝ දහං ගැටයක් දමා ගාන කැපීමට උපන්ගෙයි හැකියාවක් සහිත වූ අතරම කිසිම කෙනෙකුගේ සිත නොරිදා කතා කිරීමටත් ඇත්තේ පුදුමාකාර හැකියාවකි. සෑම කෙනෙක් වෙනුවෙන්ම ඔහුට නෑකමක් ඇත.. කිසි විටක කෙනෙකුගේ නම කියා අමතනවා මා දැක නැත... ඔහුට මා මල්ලීය... අපේ තාත්තා ඔහුට අයියා විය.. ඒ ඔහුගේ නෑදෑ කම් තිබෙනා අන්දමයි... නරි විජේගේ හැඩ රුව ගැන කීමට මා එතරම් වෙහෙසිය යුතු නොවේ... ඔබ ප්‍රභාකරන්ව දැක ඇත..ඔව් වෙන ප්‍රභාකරන් කෙනෙක් නොව මීට වසර කිහිපයකට පෙරදී රජයේ හමුදා අතින් අවසන් ගමන් ගිය ත්‍රස්ථවාදී නායකයාය... නරි විජේ ප්‍රභාකරන්ගේ රුවට සමානය.. නැතහොත් ද්‍රවිඩ නළුවකු ලෙස ප්‍රසිද්ධ වී සිටි "විජයකාන්ත්" වැනිය... නමුත් ඒ දෙදෙනාටම නැති කපටි සිනාවක් ඔහු සතුව තිබිණි.


අද දහවල් කුමන හෝ හේතුවක් මත මට නරි විජේ සිහියට නැගිනි... එහෙත් ලියන්නට සිතා නොසිටියෙමි. නමුත් උදේ සිට වැඩ කර වෙහෙස වී ඇති සිතට මඳ විවේකයක් ලබා දෙන්නට සිතා සුපුරුදු බ්ලොග් තීරුව කෙටීමට පටන් ගත් කල මටත් නොදැනිම නරි විජේ එහි ලියවෙමින් පවතී...

පළාත් සභා මැතිවරණයක් ලං වෙමින් තිබුනි. කෙසේ හෝ ඒ වන විට නරි විජේ ලංකාවේ දේශපාලන පක්ෂයක සාමාජිකත්වය පමණක් නොව එහි අනුරාධපුර දිස්ත්‍රික් නායකයා බවටද පත්ව තිබිණි... ඒ අනුව ඉහත සඳහන් වූයේ ඔහු තම පක්ෂය වෙනුවෙන් අපේක්ෂක ලයිස්තු පිර වූ ආකාරයයි... ගමේ ගොඩේ රස්තියාදු ගසමින් සිටි මා මෙන්ම මාගේ මිතුරන් කිහිප දෙනෙක්ම උතුරු මැද පළාත් සභාවේ පළාත් මංත්‍රී සටනට එළඹියේ මෙම සිදුවීමෙන් පසුවය... එතැන් පටන් එම මැතිවරණ සමය ගත වී ගිය ආකාරයත් නරි විජේගේ දේශපාලන භූමිකාවත් පිලිබඳව ඊ ළග ලිපියේ සිට කියවන්නට සූදානම් වන්න...

-මෙයට
හිටපු පළාත් සභා අපේක්ෂක ගරු මාරයාතුමා...

24 October 2011

අපි මෙහෙමයි උදව් කරන්නේ...

මෙන්න බනියා හා මා අතර මේ ළගකදී සිදුවූ සංවාදයක සරල සංක්ෂිප්තයක්...
.................................................


බනීයා- අයියේ මට කියහංකෝ බං මෙච්චර සල්ලි තිබිලත් ඇයි කෙල්ලෝ මං ගැන උනන්දුවක් නැත්තේ..?


මම- උඹට සල්ලි තිබුනා කියලම වැඩක් නැහැ බනියා ඒක ටිකක් පෙන්නහං..කෑලි වැටෙයි ඕසෙට...


බනියා- ඉතිං බං අයියේ කොහොමද එක පාරටම කියන්නේ මං පහු ගිය දවස්වල තාත්තා අළුතින් ගත්ත හයිබ්‍රිඩ් එක ගැන කියලත් කිසිම සුගතියක් නැහැනේ..?


මම- මල්ලියේ කාර් එකක් ගත්තටම මදි..ඒකට පැට්ට්‍රල් ගහන්නත් උඹට ආදායං තියෙනවා කියලා පෙන්නන්නත් ඕන...


බනියා- හරි බං අයියේ ඕකට පෙට්ට්‍රල් ගහන එක මොකක්ද මං ඕන දේකට සල්ලි ගන්නේ තාත්තාගේ සාක්කුවට බැහැලානේ..ඉතිං ඒක ලිව්වැකිද ඕකේ?

මම- පිස්සුද යකෝ..ඒවා ලියනවද.. උඹ ලියහං උඹලට සල්ලි එන විදිය...


බනියා- ඉතිං බං අයියේ සල්ලි එන්නේ ලී මෝලෙන්නේ... මං කොහොමද ඒක ලියන්නේ...


මම- සිම්පල් වැඩක්නේ බං.. උඹ ලීමෝලක ක්‍රියාකාරීත්වය ගැන ලිපියක් දාහං.. ඒ ගමන්ම පොටෝ කෑලි ටිකකුත් දාහං "අපි මෙකෙන් තමා අරක කරන්නේ".."මේකෙන් තමා අපි මේක කරන්නේ" කියලා එතකොට ඕක බලන උන්ට තේරෙයි මේ කියන්නේ උඹලගේම මෝලක් ගැන විත්තිය.. ඕනනං හිමිහිට ඒ අස්සෙන් උඹලගේ ගේ එහෙමත් අහුවෙන්න පොටෝ එකක් දාහං..හැබැයි ඊට කලින් ගේ අහල පහල සුද්ද කරලා ඉඳින්..


බනියා- අම්මේ අයියේ උඹනං දෙයියෙක් මං මේ පාරවත් බලන්න උඹ කිව්ව විදියට දාලා... වැඩේ ගොඩ යයි නේද..?


මම- හරි බනියා ඕනනං බලහං පෝස්ට් එක දාලා පැයක් යන්න කලින් කවුරුම හරි ගෑණු ළමයෙක් උඹ කියන්නේ මොකක්ද කියලා තේරුං ගන්නේ නැද්ද කියලා..:D


බනියා- එහෙනං අයියේ උඹ මේ කල උදව්ව හින්දා මං උඹේ නමත් පෝස්ට් එකේ දානවා ඈ..


මම- හා හා දා ගනින්..මයේ මොකෝ...


..................................................


බනියා නොහොත් වල් හාවා ගැන නොදන්න අයනං ඉන්න විදියක් නැහැ මේ බ්ලොග් අවකාසේ... මං ඔය විහිළු කොලොප්පං කලාට මේ බ්ලොග් අවකාසේ ඉන්න සීනියර්ම පොරක් තමා.. ඒ වගේම හිත හොඳ කොල්ලෙක්...ඕනම කෙනෙකුට අත හිත දෙන මැරුවත් කේන්ති යන්නේ නැති ඩයල් එකක්... නොදන්නවනං විතරක් මෙන්න පාර ගිහින් බලන්න මං බොරු කියනවද කියලා...

23 October 2011

මේකට දාන්න නමක් මගෙ ඔළුවට එන්නේ නැහැ...


ඊමේල් හරහා එන වසංගත ගැන කියන්න ගියොත් ඒකට ලිපි දහයක්වත් ලියන්න වෙනවා.. ඒ තරමටම කරදරයක් තමා ඒක. ඇත්තටම මට ඕක පෙන්නන්න බැරි වැඩක්. සමහර වෙලාවට හිතෙනවා ඇයි මම මුංට මේල් එඩ්රස් එක දුන්නේ කියලත්... සමහර ඔහොම ඊ මේල් එවන අය හුග දෙනෙක්ගේ මේල් දැන් යන්නේ ස්පෑම් ගොඩට..සමහර විට උන්දලා මට වැදගත් පණිවිඩ එහෙමත් එවනවා ඇති.. ඒත් ඒවා මට මග ඇරෙන්නේ අර වගේ වැඩක් නැති ඊ මේල් එක දිගට එවන නිසයි.

සාමාන්‍යයෙන් මං නෙට් එකට ආව ගමන්ම කරන්නේ මේල් චෙක් කරන එක..රෑ 12ට විතර නෙට් එකෙන් අහක් උනාට පස්සේ උදේ අට නවය වෙනකොට අළුත් මේල් තිහක් හතලිහක් විතර මේකට එකතු වෙලා තියෙනවා.. ඉතිං ඒ එකක් නෑර පිළීවෙලකට බලං එද්දී ඔන්න අහු වෙනවා සමහරු මට එවලා තියෙනවා ඔය පින්තූර ටිකක් හරි මං නොදන්න ඉංග්‍රිසියෙන් ලියපු විහිළු කතා එහෙමත්... ඉතිං ඒ විහිළු කතා දැක්කම මට කේන්ති යනවා ඇර වෙන මොනවා වෙන්නද..:D:D:D ඉතිං පහසුම විකල්පය තමා එහෙම මේල් එවන උන්දලව ස්පෑම් හැටියට සලකුණු කරලා තියන එක...

ඔය අස්සේ කිහිප දෙනෙක් ඉන්නවා තෝරා බේරාගෙන වැදගත් යමක් එවන අයත්... ආන්න එහෙම කිහිප දෙනෙක් මං ඉතිරි කරලා තියෙන්නේ ස්පෑම් නොකර... එයින් එ‍ක උන්නැහේ කෙනෙක් තමා අර ඕස්ට්‍රේලියාවට වෙලා කෝච්චි ටයර් වලට හුළං ගහන ජොබ් එකක් කරන වයසක හාදයා.. ඔව් ඔව් අර කට ඇරියොත් අභ්‍යාස කතාවක් කියන්නේ අන්න ඒ ගොයියා තමා... ඉතිං අද උදෙත් ඔය හාදයා එවලා තිබුනා වීඩීයෝවක්.. මං ඉතිං ඕක බලලා අන්තිමට කල්පනා කලේ මේකනං කාට කාටත් බෙදා දෙන්න වටින අන්දමේ එකක් කියලයි. ඒ හින්දා ඕන්න ඒක දැම්මා...බලන්ටකෝ කොහොමද හැකියාව සහ නිර්මාණශීලීත්වය කියලා... හැබැයි ඒ හැම දේකම ගෞරවය අපිට පේන්න ඉන්න නිළීයට විතරක් නෙවෙයි පසුබිම් ගායනය කරන ගායිකාව..සංගීත නිර්මාණ ශිල්පීන් වගේම තිර රචනයේ ඉඳන් චිත්‍රපටය නිර්මාණයට දායක වූ සෑම කෙනෙක් අතටම බෙදී යායුතුයි...




තවත් ඔහොම මට ආව ඕඩියෝ එහෙකුත් තියේ.. ඒකනං මේ මැරවින් උන්නැහේගේ කතාවක්... ඒත් ඒක දැම්මොත් මට සමහරු පස් පඩංගුවේ බයින හින්දා මං නොකර සද්දෙන් ඉන්නං...

‍‍‍‍‍‍‍‍‍‍‍...............................
දැන් මේකේ යටින් ගිය නොකිවු කතාව එහෙම පැහැදිලිද කට්ටියට...?

22 October 2011

එහෙනම් ඉතිං අපෙ අය..නුඹටත් ලියයි කවි පද...

සේයා රුවක් ගත් හින්දා මිතු දමට..
කරගත් විනාසය මිතුරේ බලනු මැන..
එ‍දා එහෙම නොකලානං අද නුඹට..
දොසක් කියන උන් මෙතරම් සිටීවිද..

21 October 2011

අපි දැන් බලන්නේ සම්භාව්‍ය දේවල් හරිද..?




ඊයේ මට වෙච්ච සංගදිය කිව්ව නෙව...
ඒ කිව්වේ දිනේ ටැපලිලා ලබන මාසේ 20 වෙනිදා තියෙන "ස" ප්‍රසංගය මේ මාසේ බලන්න දත කට මැදං හිටිය කතාව...

කොහොම හරි ඔය සංගදිය වෙලා වැඩේ ජෝන් බාස්ට ගෙහුන් මං අනාථ වෙලා හිටියයි කියමුකෝ... මං ඉතිං මගේ ගත්ත නිවාඩුව සුවසේ ගත කරන්න හිතාගෙන කෑම බීම ටිකකුත් ලක ලෑස්ති කොරගෙන බලන්න වෙලාවක් හම්බ නොවීම හින්දා පරක්කු වෙවී තිබුන චිත්තර පටියක් බැළුවා.. ඊටත් පස්සේ කරන්න තිබුන තව වැඩ කිහිපයකුත් කෙරුවා... ඔන්න ඔහොම දවස ගෙවීගෙන යද්දී හවස හතරට විතර එක පාරටම කෝල් එකක් ආවා...

"මොකද කරන්නේ.. කොහේද ඉන්නේ.. වහාම බුකියට වාර්ථා කරනු"

අනේ ඉතිං දඩ බඩ ගාලා වාර්ථා කොලා... මෙන්න එතන දෙන්නෙක් මැසේජ් හරහා හෙන කතාවක්...මාත් ගිහින් පැත්තක ඉඳන් මොකෝ කියලා ඇහැවුවා...

"දැන්ම වර කොඹළ" ආයෙමත් නියෝගයක්...

"ඒ මක්කටද..?" එහෙම ඇහැවුවේ අසරණ මං...

"එන්න කිව්වම එන්නයි තියෙන්නේ ආයේ ප්‍රශ්න අහ අහ ඉන්න නෙවෙයි... ඔතේලෝ තියෙනවා හයයි තිහට ලුම්බිණීයේ.. පරක්කු වෙන්නේ නැතිව වර.." යාන්තං හෝඩුවාවක් ලැබුනා...

මාත් ඒ වෙලාවේ පහුවදාට වැඩට යද්දී බත් එකට වෑංජනයක් හදන්න ලක ලෑස්ති වෙවී හිටියේ.. නිවිති ටික හෝදලා සුද්ද කරලා පරිප්පු ටිකක් හෝදන්නයි සූදානම් වෙලා හිටියේ.. ඒ පාර ඒවා එහෙමම දාලා දඩි බිඩි ගාලා නා ගත්තා... ඔළුව පිහ දාන්නවත් වෙලාව ගත්තේ නැහැ ඇඳ ගත්තා..බයික් එක පාරට දාලා දොර වැහැවුවා පිස්සුවෙන් වගේ කොඹළ බලා ධාවනයේ.. කොහොම හරි හතරයි කාලට ගෙදරින් ආව මං පහයි විසි පහ වෙද්දී බොරැල්ලේ...

ඊට පස්සේ ඉතිං බියිසි මොටෝ එකත් අගු පිලක දාලා අනිත් දෙන්නත් එක්කම රෝද හතරක් උඩ නැගලා ගියා ලුම්බිණී රඟහලට.. ගිහින් ටිකට් එහෙම ගත්තට පස්සේ තව වෙලාවත් තියෙන හින්දා පයින් ඇවිදගෙන ගිහින් අර ඉතාලි රොටී කඩේකින් කෑවා ආන්න ඒ රොටී... එහෙම කොරලා ආපහු ඇවිත් ඔතෙලෝ බැළුවා...


මල මඟුලයි.. අපි ඔතෙලෝ කිව්වම හිතං හිටියේ පරණ ඇඳුම් ආයිත්තම්..ඒ කිව්වේ අර රෝම..ග්‍රීක රජ ඇඳුම් වගේ නානා ප්‍රකාර සුකුරුත්තං ඇඳුම් ඇඳගෙන රඟ දක්වන නාට්ටියක් කියලනේ... අර පිටේ බෙඩ් ෂීට් වගේ සළු එහෙම පටලවං කරන අන්දමේ.. එතකොට කඩු එහෙමත් තියෙන්න එපෑ.. ඒත් කෝ ඒවා..?

ෂේක්ස්පියර් හරි උන්දැගේ යාළුවෙක් හරි මේක දැක්කනං අර නළුවංගේ රෙදි ගලෝනවා... උන්දලා ඔක්කෝම නිකං පිට කොටුව හරහා ආවා වගේ... කොටින්ම අපේ එක්කෙනෙක් මට කියනවා "ඒ දවස්වල ඉන්දියන් ස්කර්ට්නේ වැනීසියේ අයත් ඇඳලා තියෙන්නේ" කියලා... ඒ විතරක්නං මදෑ... සිරි ලංකා නාවික හමුදාවේ පෙටි ඔෆිසර්ලාගෙන්ද කොහේද උස්සපු යුනිෆෝම් තමා ඒ දවස්වල ඔතෙලෝලා ඇඳලා තියෙන්නේ... එකම එක කඩුවක්නං තිබුනා..ඒත් ඒක කොපුවෙන් එළියටනං ආවේ නැහැ... ඒ වෙනුවට ඇබින්දං පිස්තෝලයක් දෙතුන් පාරක් එහෙට මෙහෙට පෙනුනා... කඩුවෙන් අනින්න කතා කරගෙන හිටියට අන්තිමට එළීයට අඳින්නේ අර හුචක්කු පිස්තෝල කට්ට විතරයි. ඒ ඔක්කොමත් හරි..මෙන්න බොලේ එක පාරක් ගෑස් ලිපක් පත්තු කරනවා මේ ඉස්ටේජ් එක උඩ... පසුතල හා අංග රචනා වැඩ ගැනනං කතා කරලා වැඩක් නැත.. එක වයසක මනුස්සයෙක් හිටියා අර අපේ මැච් බලන්න යන පර්සි අංකල් වගේ.. උන්දෑ කවුද කියන්නවත් අපි කාටවත් පුළුවන් උනේ නැහැ අවසානය වෙනකල්ම... කරුමෙට වගේ මං ඔය නාට්ටියේ සිංහල පරිවර්ථනය එක් දහස් නවසිය අනූ හතරෙදි ව‍ගේ දෙල්ගොඩ මහජන පුස්තකාලෙන් කියෝලා තිබුන හින්දා යන්තං වගේ කතාව මතකයි.. ඒත් ඒ මතකය මදි මේ චරිත හඳුනා ගන්න තරං...

රඟ පෑම් ගැනනං කියන්න කියලා ඒ හැටි දෙයක් නැහැ... ඔතෙලෝට හිටි හාදයනං තරමක් විතර හොඳයි කිව්වැකි... අනිත් උන්දලාගෙන්නං කිව යුතු මට්ටමක දෙයක් නැහැ... එක හාදයෙක් හිටියා උන්දැට දෙබස් කියනකොට හිනා යනවා... අපි මුලින්ම හිතං හිටියේ උන්දෑ මොනවා හරි විකට නළුවෙක්ගේ කෑල්ලකට ඉන්න කෙනෙක් කියලා.. පස්සේ බැලින්නං වැදගත් චරිතයක් තමා අයිති..ඒත් රඟපෑවේ අපේ ෆ්‍රෙඩී සිල්වා වගේ තමා... ඒත් ඉතිං අවුලක් නැහැ අපිටත් හිනා වෙන්නවත් දෙයක් එපෑ...

ඔය ඉතිං නාට්ටිය ගැනනේ..දැන් හැරෙමුකෝ ප්‍රේක්ෂකාගාරය පැත්තට... අනේ ඉතිං අර මනුස්සයෝ අර වගේ රඟ පෑව එක ගැනත් සම්මාන දෙන්න වටිනවා... සූ ගාලා විසි පහක් විතර හිටියා මේක ‍බලන්න. මේ මහ විශාල ජනකාය දැක්කම රඟපාන්න මතක් වෙයියෑ අර උන්දලට...හවසට සල්ලි බෙදාගන්න හැටි මතක් උනාම සරුවාංගේ සීතල වෙලා යනකොට කොහොම රඟන්නද..?

හැබැයි අපරාදේ කියන්න බැහැ අපිනං නාට්ටිය එළටම රස වින්දා... මංනං ඉතිං මේක සම්භාව්‍ය ගනයේ එකක් කියලා යන්තං වගේ තේරුන හින්දා හරි වැදගත් විදියට ඉන්න උත්සහ කලා.. ඒත් හූවක් කියන්නේ හයියෙන් හිනා වෙන්නේ නැතිව හිටියේ බොහෝම අමාරුවෙන්.. මොකද ආයිබෝං කැලෙන් එළියට ගත්තට මගේ පුරුදු අත අරින්න ඇහැකියෑ...

ඒකටත් එක්ක අනිත් දෙන්නා.. එක්කෙනෙක් තමා ඉබ්බා මහත්තයා... මායි ඌයිනේ අර "ස" බලන්න යන්නත් නියමිත වෙලා හිටියේ... අපරාදේ කියන්න බැහැ උන්දැනං මුළු නාට්ටියම එක හුස්මට බැළුවා... ඒකට රහස තමා නාට්ටියට නළු නිළීයන් තෝරාගත් අය ඉබ්බා මහත්තයාට සාධාරණයක් කරලා තිබීම..

ඔය අපේ ඉබ්බා මහත්තයා ඇවිත් හොඳ රුචිකත්වයක් ඇති කෙනෙක්... සාමාන්‍යයෙන් වයස 50ක් විතර වෙච්ච කිලෝ 70ට වැඩි කාන්තා පාර්ෂවයන් ගැන හරි උනන්දු හාදයා.. මේ නාට්ටියේ හිටිය සුකුරුත්තං කුමාරිලා ටිකත් කිලෝග්‍රෑම් 80 බර පන්තියේ හුරුබුහුටි ළමයි ටිකක්..කොහෙන් කැපුවත් කිලෝ පහයි... අනේ ඉතිං ඉබ්බා මහත්තයා ඇස් දෙක උඩ දාගෙන කටින් බලං ඉන්නවා... ඒ අතරේ යන්තමට වගේ කියවෙනවා ඇහෙනවා... ඩෙස්ඩිමෝනා..ඩෙස්ඩිමෝනා...ආ නැහැ නැහැ බියංකා බියංකා.. කියලා... බැළීන්නං උන්දෑ අර නාට්ටියේ හිටිය ගෑණූ පරණ දෙකක් අතරින් හොඳ එක තෝරගන්න බැරිව ලත වෙනවා... පව් දෙයියනේ... ඒ විතරක්නං මදෑ හිටි හැටියේ දත් කූරු කනවා..අත මිට මොලෝනවා.. සීට් එක කන්න හදනවා...

මුලිං මුලිං මේ මොකද කියලා හොයාගන්න අපිට බැරි උනා.. ඒත් ටික වෙලාවක් වේදිකාව දිහාත් ඉබ්බා මහත්තයා දිහාත් බලං හිටියම වැඩේ යන්තං මීටර් උනා... අර ඔතෙලෝ කාරයා ඒකගේ බාරයාව වෙච්ච ඩෙස්ඩිමෝනා කෙලීට ටිකක් ලංවෙලා ආලවන්තකං පානකොට මේකා දත් කූරු කනවා... ඔතේලෝ ගෑනිට බැන්නනං මේකා සීට්එක කන්න හදනවා... අනුන්ගේ පවුල් ප්‍රශ්නවලට මේකා කලබල වෙලා තියෙන හැටියක්... අපි බයේ උන්නේ මේකා කොයි වෙලේ හරි ඉස්ටේජ් එකට පැනලා ඔතෙලෝටත් නෙලයි කියලා.. ඒ තරමට ඇඟට අරගෙනම උන්දැනං නාට්ටිය බැළුවා...

එතකොට අනිත් එක්කෙනා... අපරාදේ කියන්න බැහැ හිටි හැටියේ කන ගාවින් ගොරවනවා වගේ ඇහෙනකොට හැරිලා බැළුවම පේනවා හොඳට පුටුවේ දිගෑදිලා දොයි.. අන්න රසාස්වාදනයේ උපරිම තලය... හිටි හැටියේ නින්ද කැඩෙන අවස්ථාත් තියෙනවා.. ඒ ඉතිං අර ඉබ්බා මහත්තයා පුටු ඇන්දට අත මිට මොලවලා ගහන පාරට ඇති වෙන කම්පනයට.. ආන්න ඒ වෙලාවට ඇස් දෙක ඇරලා ඉබ්බා මහත්තයා දිහා එහෙම බලලා ආයෙමත් කියනවා..මේක හුඟක් දිග වැඩියි නේද කියලා... ඇත්ත නේන්නං.. දිග වැඩියි... කොටින්ම අපිට කන්න කියලා ගෙනත් දුන්න ලොකු චොකලට් බෝල පෙට්ටි තුනෙන් එකයි කාලා ඉවර කරන්න උනේ.. දෙකක් ඉතිරියි.. ඒ තරමට දිගයි නාට්ටිය...

හරි හරි ඒ කතා ඇති... ඕවා ඔයාකාර ලියන්න හොඳ නැහැ. අන්තිමේදී හිතයි මං මේ නාට්ටියයට මඩ ගහනවා කියලා.. මං එහෙම කරන කෙනෙක් නෙවෙයි කියලා මේක කියවන අය හොඳටම දන්නවනේ... මං ඔය මඩ ගහන.. කැලෑ පත්තර ගහන වැඩ වලට නැහැ... බොහෝම සුපිරිසිදු නිර්මල පැවැත්මක් ඇති හාදයා.. ඒ හින්දා ඔය කතා ඇති.

කොහොම උනත් දිනේ වැරදිලා නන්නත්තාර වෙලා මුළු බ්ලොග් අවකාසෙන්ම නැගුන හූ හඩ මැද හිටිය මාව වර වර ළගට කැන්දා කරලා පීසත් කවලා..චොකලටුත් කවලා.. නාට්ටියකුත් පෙන්නපු අනුග්‍රාහක භවතුන්ට මාගේ හද පිරි ස්තූතිය... මෙහෙම සලකනවනං කී දාහක් හූ කිව්වත් මයෙ මොකද..? හුහ්...

පලි-

දින කිහිපයක් යනකල් මා පිළීබඳව ආරංචියක් නොලදහොත් ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇපල් දොඩං පෙයාස් ආදිය රැගෙන මා බැළිමට පැමිණෙන මෙන් ඔබ සැමට කාරුණිකව දන්වා සිටිමි.

20 October 2011

මාරයා "ස" බැළු හැටි...


හත් ඉලව්වයි..පටි රෝල්.. විනාසයි... ඉඳලා ඕන නැහැ.. මං අනාථයි...

මදෑ ඉඳලා ඉඳලා යන්න හැදුවා...කෙල උනා නෙව තාප්පෙටම... මටමයි වෙන්නේ...

.....................................


වික්ටර් රත්නායක මහතැන්ගේ "ස" ප්‍රසංගය කිව්වම කවුද නොදන්නේ... ඒත් දැනට අවුරුදු බර ගානකට කලින්නං මං ඕකක් දැනං උන්නේ නැහැ.. ඒත් අපේ යාළුවෙක් දවසක් අපිට මරු කැසට් එකක් අහන්න දුන්නා..එතකොට මට වයස 11ක් විතර ඇති.. අපි පොඩි උන්..ඒ දවස්වල ඉතිං කැසට් පටි මිසක් කොහේද අද වගේ සීඩී.. ඩීවීඩී.. අයි පොඩ්.. ඔය අයි පොඩ් කිව්වට මාත් තවම ඔයින් එකක් දැකලා නැහැ ඇහැට..ඕකෙන් සිංදු අහන්න පුළුවන් කියලා අහලා තියෙනවා විතරයි.. ඒ ඇර වෙන අට මඟුලක් දන්න එකක්යෑ...

ඉතිං මේ අපේ යාළුවා උගේ අයියට කොහෙන්දෝ හම්බ වෙච්ච කැසට් පීස් එකක් හොරන් අහලා..ඒක අපිටත් අහන්න අවස්ථාව සලස්සලා දුන්නා...ඒකත් මේ කියන තරං පහසුවෙන්නං නෙවෙයි ඌ ඒක උස්සං ඇවිත්... තව කොල්ලෙක්ගේ ගෙදර කට්ටිය නැති වෙනකල් ඉඳලා තවත් එකෙක්ගේ ගෙදරකින් කැසට් යන්තරයක් උස්සං ඇවිල්ලා බොහෝම ජිල්මාට් දාලා තමා ඇහැවුවේ..මොකද මේක ඔෆීෂියල් විදියට අහන්න විදියක් නැති වග අරූ අපට කලියෙන්ම කියලා තිබුනා.. අපිටත් ඉතිං එහෙම කිව්වම කොයි තරංනං කුතුහලයක් ඇති වෙනවද නේද..?

ඉතිං කොහොමින් කොහොම හරි අහන්න ගත්තා.. අප්පද බොල.. ඒ ගැනනං කතා කරලා වැඩක් නැත... මේ කැසට් එකේ තිබුන දේවල් මට මෙතන කියන්න විදියක්නං නැහැ ඕං.. දන්නෝ දනිති.. මේ තමා වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය ගැන කවුරුන් හෝ කණ්ඩායමක් නිර්මාණය කරලා තිබුන අර කුප්‍රසිද්ධ කැසට් පටය... ඒකේ භාෂාව ගැන ඇති ගැටළුව නිසා එයින් එහාට දෙයක් කියන්න විදියක් නැහැ.. ඒත් ඒකේ තියෙන සම්මුඛ සාකච්ඡාවේදී වික්ටර්ගේ ගීත රාශියක් ගැන කියවෙනවා.. මම ඒ දවස්වල වික්ටර් රත්නායකගේ.. අමරදේවගේ සින්දු අහන්න ආසම නැති කාලේ...

දන්නවනේ ඉතිං පොඩි කාලෙදී ඕවා නිකං නින්ද යන සිංදු කියන ගොඩේනේ තිබුනේ.. ඒත් ලව්මත ඔළුවට ගහන්න ගත්තට පස්සේ.. ප්‍රථම බූට් රාජයා වැළඳුවට පස්සේ... පණ දාගෙන කෙල්ලෙකුට ට්‍රයි කරන කාලය ලැබුවට පස්සේ අමරදේව දේවරාජයෙක් උනා මටනං.. අනිත් නිදිමත ගායකයිනුත් කියපු හැම සිංදුවක්ම අකුරක් අකුරක් ගානේ බොක්කට වදින්න ගත්තේ ආන්න ඒ කාලේ තමා.. ඊට පස්සේ එච්චර කාලයක් සද්දෙට අහ අහ හිටිය නන්ස්ටොප්.. බයිලා අතෑරලා උණුහුමට තුරුළුවෙන පූස් පැටියා වගේ මමත් අමරදේව..වික්ටර් රත්නායක..මිල්ටන් මල්ලවආරච්චි... ටී එම්..සුනිල් එදිරිසිංහ..කපුගේව ආදරයෙන් වැළඳගත්තා...

ඒත් මං ඔය කැසට් එක අහන කාලේ මං වික්ටර් ගැන එහෙමට දැනගෙන හිටියේ නැහැ...යන්තං යන්තං තමා... ඔය කියන කැසට් එකේ එකම එක සින්දුවක්වත් නැහැ.. ඒත් එහෙම වෙලත් මට වික්ටර්ගේ සින්දු ගැන පොඩි කුතුහලයක් ඇති උනේ ආන්න එදා තමයි කිව්වොත් මං නිවැරදියි... මොකක්ද මේ "ස" කියන්නේ..මේක අහලා බලන්න ඕන කියන උවමනාව මට ඇති උනේ දැනට වසර විස්සකට විතර එහා කාලෙකදී ඔන්න ඔය විදියටයි...

ඒත් වික්ටර්ගේ සින්දුවක් මගේ පපුව කඩාගෙන අමාශයටම බැහැලා තැන්පත් උනේ ඊටත් කාලෙකට පස්සේ... එතකොට මට වයස 15ක් 16ක් විතර ඇති... ඒ ඉතිං මල් පත්තර බලන කාලේ... මං පුංචි කාලේම ජනප්‍රිය මල් පත්තර උනේ..අරලිය.. කුමරි.. වගේ ඒවා තමා..ඒත් මං ආසාවෙන් බලන කාලේ නැගලා ගියේ අර්නස්ට් වඩුගේ කල "සුවඳ" සහ බන්ධුල පත්මකුමාරගේ "සඳරේණු" කියන පත්තර දෙක තමා..මාත් ඉතිං හොටු කඳුළු පෙරාගෙන ඕවත් කියෙව්වා... ඔතනින් මංනං වැඩියම ආසා උනේ"සඳරේණු" පත්තරේට..

ඒ දවස්වල සඳරේණූ පත්තරේට අළුත් අළුත් කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ලිව්වා.. ඒ අතරින් සුවිශේෂම කෙනා තමා "මහේෂ් සත්සර මද්දුමආරච්චි"... ඊට අමතරව මතකම හිටිය චරිතේ උනේ ඒකේ "කොමිටල් විජිතය" ලියපු පසු කාලීනව එෆ් එම් සහ රූපවාහිනී නිවේදකයෙක් උන "සංඛ අමර්ජිත් පෙරේරා" ඔය කොමිටල් විජිතය ගැනනං කියලා වැඩක් නැහැ..පුදුමාකාර හැකියාවක් තිබුන කොල්ලෙක් සංඛ කියන්නේ..ඒ තරං හිනා කාලා මැරුන කතාවක් ඒක... මං ඊට කලින් එහෙම හැකියාවක් දැකලා තිබුනේ "චන්ද්‍ර අනගිරත්න" කියන ලේඛකයගෙන් තමා.. දැන් අපේ සඳරුත් ටික ටික ඒ ගානට ලං වෙන්න ලියනවා කියලත් කියන්න ඕන...

ඉතිං ඔය අතරේ තවත් මගේ හිතට අල්ලලා ගිය කතාවක් තිබුනා..ඇත්තටම ඒක ලියපු කෙනා ලේඛකයෙක් කියලා කියන්න බැහැ... මොකද මං වෙන තැනක ඒ නමින් ලිපි දැකලා නැති හින්දා..ඒ කතාවේ ගියේ කොල්ලෙක්ගේ බූට් කතාවක්ම තමයි.. ඒත් ඒ ලිපි පල උනේ මහේෂ් හරහා... සමහර විට එහෙම චරිතයක් ඇත්තටම නොතිබුනාද කියන්නත් මං දන්නේ නැහැ..ඒකත් මහේෂ්ගේම තවත් නිර්මානයක්ද කියලා කියන්නත් දන්නේ නැහැ.. ඒත් හරිම තාත්විකයි... ඒ ලිපිවල ලිය උනේ ඔය මං අ‍ඳෝනා ලිපි ලියන කාලේ වගේ විරහවත් එක්ක දිනෙන් දින ගෙවිලා යන හැටි තමා... ඒ දින සටහන්වල හිමිකාරයා "චානුක උයන්ගොඩ" කියලා කෙනෙක්...

ඔන්න ඔය ලිපිවල එක දවසක් චානුක ලියනවා එයාගේ ගෑණු ළමයගේ සම්බන්ධ කතාවකදී එක්තරා ගීතයක්... ඒ ගීතය "ප්‍රේමකීර්ති අල්විස්" කියන විශ්වකර්මයා අතින් ලිය උන ගීතයක්...ගායනය වික්ටර් රත්නායකගේ.. ඒත් එදා මට ඕක අහන්න හම්බ උනේ නැහැ...පද පෙල විතරයි මට කියවන්න හම්බ උනේ... මේ තියෙන්නේ ඒ පද වැල..

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ ඔබ මගේ

නා ගසක්‌ දළු දමා වසන්තය එලඹිලා
මද පවන් රැලි වැදී සැලෙනවිට කැලඹිලා
මට බලා ඉන්න බෑ ඔබෙ දෙතොල් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

යුඟ ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්නව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැ‍ඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස් තල පොළෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟම දැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ


එකෙන් මත් වෙච්ච පාර මං එදා ඉඳලම ඕක අහන්න හෙව්වා..දැන්නං පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කලාම ඒක මහ කජ්ජක් නොවුනත්..ඒ කාලේ අතේ සතේ නැති දුප්පත් කොළුවෙක් උන මට එහෙමට වියදං කරලා කැසට් පීස් එකක් අරං අහන්න වත්කමක් තිබුනේ නැහැ... පීස් එකක් ගත්තත් කෝ ප්ලේයර් එකක්.. පුරස්න ගොඩයි... ඒත් මං පහු කාලීනව ඕක හොයාගෙන කනට පත්තියං වෙනකල්ම අහන්න තියා ගත්තා..

ඔයාලටත් අහන්න ඕනනං "මෙතනින්" බාගන්න පුළුවන්

ඉතිං මං වික්ටර්ගේ ගීත වලට ආදරය කරන්න ගත්තේ ඇත්තටම ඔය සිදුවීමත් එක්කම තමයි කිව්වොත් නිවැරදියි..මං ඒ දවස්වල සින්දු පොතක් ලිව්වා.. ඒ කිව්වේ ආස කරන ගීත හොය හොයා මගේ අත් අකුරින් පොතක ලිව්වා... ඒකෙත් ඔය ගීතය ඇතුළුව වික්ටර්ගේ ගීත රාශියක්ම ලියවෙලා තියෙනවා... එක පොත පොත් දෙකක් වෙනකල්ම ලිව්වා..අදටත් මං ගාව ඒ ලියාපු පොත් දෙක පරිස්සං ඇතිව තියෙනවා කියමුකෝ... මං ගෙදරින් පිට වෙලා ගිය දවසේ අරං ගිය ඇඳුම් කෑලි දෙක තුනට අමතරව ගෙනිච්ච එකම සහ වටිනම වස්තු දෙක ඔච්චරයි..මං පන්සලෙන් එන දවසේ අරං ආවෙත් ඔය පොත් දෙක තමා... එක්දහස් නවසිය අනූ තුනේ විතර ලියන්න පටන් ගත්ත පොත් දෙක අද 2011 අවසානය දක්වාමත් කොහොම හරි මං ගාව තියෙනවා.. ඔහොම පරණ දේකට කියලා තව තියෙන්නේ මං පොඩි කාලේ ඉඳලා පාවිච්චි කරපු ක්‍රිකට් පිත්තක් විතරයි. ඒකනං පස්සේ කාලෙකදී ගෙදර ගිය වෙලාවක පැත්තක දාලා තියෙනවා දැකලා ආයෙමත් අරං ආවා...

ඉතිං එහෙම ආසාවෙන් ඇහුව ගීත ටික හැබැහින් අහන්න දවසක් එනකල් මං බොහෝම ආසාවෙන් බලා හිටිය විත්තිය කියන්නත් දෙයක්ද... ඒත් ඔය අතරදී වික්ටර් මහතැන් "ස" නවත්තන කතාවක් මේ ළගකදී පත්තරේක දැකලා මට තේරුණා මං පරක්කු උනා කියලා... ඒත් ඒක නවත්තන්න හේතු හැටියට උන්නැහේ දාලා තිබුන කරුණු ටික දැක්කම මං සතුටු උනා.

ඒත් ඒ තීරණය වෙනස් වෙලා හරි මොනම හේතුවක් නිසා හරි නැවත "ස" තියෙන විත්තිය අහන්ට ලැබුනත් හරියටම තැනක් වෙලාවක් හොයාගන්න විදියක් තිබුනේ නැහැ.. ඔන්න ඔහොම කාලේ යද්දී තමා මේ ඊයේ පෙරේදා මට ජීවිතේ අමතක නොවන තවත් දෙයක් ලැබුනේ...

ඒ තමා මේ බ්ලොග් නිසා දැන අඳුරගන්න ලැබුන සුවිශේෂී කෙනෙක් දවසක් කතා කර කර ඉන්නකොට කිව්වේ..
"වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය තියෙනවාළු B.M.I.C.H. එකේ..ටිකට් තියෙනවා කීල්ස් එකේ මං අද හවස දැක්කේ.. ඔයා බලන්න ආසයි නේද..?" කියලා...

අනේ ඉතිං කුමන කතාද..? ඒ කියලා නැවතුනේ නැහැ තව පොඩ්ඩෙන් එදා රෑම ගිහින් ටිකට් අරං දෙන්න තරං අඳාළ කෙනා ලෑස්තිය..බොහෝම අමාරුවෙන් කියලා නවත්ත ගත්තේ... ඒත් පහුවදා ටිකට් දෙකක් අරං තිබුනා මතක ඇතිව. ටිකට් දෙක මටයි තවත් මගේ ජාතියේම ගීත රුචිකත්වයක් තියෙන තවත් අපේ යාළුවෙකුට එක්ක... ඒත් අපිට මේක අහන්න දෙන්න මෙච්චර මහන්සි උනත් එයා ගීත අහනවා අඩු නිසා යන්නේ නැහැ..සින්දු ඇහෙනකොට ඉන්න තැනින් නැඟිටලා දුවන හැටි මං දැකලා තියෙන හින්දම අපි කරදර කලේ නැහැ යන් කියලා..මොකද ඔතන පැය කිහිපයක් තියාගෙන වද දෙන්න හොඳයෑ මෙච්චර දෙයක් අපි වෙනුවෙන් කරලා... (ඇත්ත කතාව ඉතිං එක්ක ගියොත් අපිට සින්දු අහන්න කෙසේ වෙතත් කන්වල ඇඟිළි ගහන්ඉන්න වෙන හින්දා කියලා එහෙම මං ඔන්න කිව්වේ නැහැ හරිද..?)

ඉතිං එයා කිව්ව විදියටත්.. එයාගෙන් ටිකට් දෙක අරගත්ත මගේ අනිත් යාළුවා කිව්ව විදියටත් ප්‍රසංගය තියෙන්න ඕන අද..ඒ කියන්නේ 2011 ඔක්තෝබර් 20 තමා... ඉතිං මං අද නිවාඩුවක් එහෙම දාලා දත කට මැදගෙන හිටියා කියමුකෝ හවස් අතේ කොඹළ යන්න...

ඔය අස්සේ ඉතිං දන්නවනේ මටත් කට පියං ඉන්න බැරි කමටයි තව එකෙක් දෙන්නෙක් අවුස්සලා කුරිරු සතුටක් ලබන අහිංසක ආසාව හින්දත් අර යාළුවා එවලා තිබුන ටිකට්වල පින්තූරයක් බුකියේ එහෙම දාලා තවත් ඉන්න බැරි කමට ගූගල් බස් එකෙත් දැම්මා...

මල කෙලි දාහතයි කියන්නේ එතකොට තමා... බස් එකේ දාපු ටිකට් එකේ පින්තූරේ බලපු මල්ලි කෙනෙක් කියනවා...

"ඈබං මාරයියේ තොගෙ කැලැන්ඩරේ වෙනස් වෙලාද ඕක තියෙන්නේ අදයෑ..නොවැම්බර් විස්සනේ" කියලා...

ඇහ් මං කලබල වෙලා බැළුවා.. කෙලලා තියෙන්නේ තාප්පෙටම... බඩු බනිස්නේ... සීන් කෝන් එක ඇත්ත..ඒක තියෙන්නේ ලබන මාසේ නෙව... කලබල වෙලා දඩිබිඩි ගාලා යාළුවට කොල් කරලා ඇහැවුවා.. ඌත් කලබල වෙලා ටිකට් දෙක බලලා කිව්වා ඇත්ත නේන්නං කතාව... හනේ වෙච්චදෙයක්..විළි ලැජ්ජාවේ සංතෝසේ බැහැ... කොහොම හරි අපේ අනුග්‍රාහක පාර්ශවයටත් මේක කිව්ව කියමුකෝ එයත් හිනා වෙනවා අපිටම... කාට කියන්නද මේ දුක... හොඳ වෙලාවට මං මේක බස් එකේ දැම්මේ.. නැත්තං අද හවස් අතේ තව පොඩ්ඩෙන් අපි ගිහින් B.M.I.C.H. එක වැඳ පුදාගෙන එන්න තමා වෙන්නේ...

ඒත් ඉතිං උඩ දාගෙන අද යනෝ කියලා බුකියේ දාලා..බස් එකේ දාලා උඩ පැනපු මට වෙච්ච දේ තමා දේ... හලේ..හයියෝ... දැන් ඉතිං තොපිත් මට හූ තියපියවු...

16 October 2011

එදා සාලිය මෙදා නාමල් උනානං...

නිකං ඉන්න බැරුවට අහක යන මඟුල් වලට ඔළුව දාලා පරිප්පු කන එක මගේ සාමාන්‍ය ක්‍රමය නිසා මේකත් ලියමු කෙටියෙන් හරි...

වස්තු බීජය උනේ මේ ඊයේ පෙරේදා දැකපු එක්තරා නිව්ස් එකක්...

"නාමල් රාජපක්ෂ හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර උන්නැහේගේ දෝණීයැන්දෑ අතර ආදර හුට පටයක් තිබී එය නාමල්ගේ මෑණියැන්දැ හට දැන ගන්නට ලැබී..එයින් ඇය මහත් සේ කෝපයට පත් වීම හරහා පවුල් දෙක අතර විරසකයක් නිර්මාණය වූ බවත්... ගෝඨාභය මලයාට ඒ ගැන ඇහැ ගහගෙන ඉන්නට අයියගේ බාරියාව උපදෙස් දුන් බවත්.. ඒ අනුව ගෝඨාභය උන්නැහේ ඒ රාජකාරිය කලාත්"..ආදී වශයෙන් තමා නිව්ස් එක තිබුනේ..

හරි ඒක ඇත්තද නැත්තද කියන්න මං දන්නේ නැහැ..ඒත් ඔය නිව්ස් එකත් එක්ක මගේ ඔළුවට ආවේ මෙන්න මෙහෙම දෙයක්...

පහුගිය කාලේ ඔය නිව්ස් එක ගිය අඩවි හරහාම ගිය තව තව පුවත් වලින් කිය උනේ තාත්තයි පුතයි දෙන්නම පබා කෙලීටයි..අනර්කලී නගාටයි හිත වැටිලාය සහ එතනින් එහාටත් ලොකු ලොකු දේවල් වෙනවාය කියලා තමා..ඕවට හෙලුප් එක දෙන්නේ මර්වින් ගොයියය කියල තමා වැඩි දුර කතා බස්වලින් කිය උනේ... එතකොට මං කල්පනා කලේ ඒ වෙලාවල්වලදී තාත්තගේ බාරියාව සහ පුතාගේ මැණීයැන්දෑ කෝප නොවුනද කියලා..

ඇයි වදේ කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙනවට වඩා දෙයක්නේ අර වගේ කෙලියක් උනානං.. ඒත් ඔය කේස් එකේදී ජනාධිපතිගේ බාරියාව කේන්ති අරගෙන දැඟළුවාය හරි..මල්ලිට මුර කොරන්න බාර දුන්නය කියලා හරි කිය උනෙත් නැහැ.. එතකොට ඒ කියන්නේ ඒ ආරංචි බොරුද..? නැත්තං ඔහොම දෙයක් කලාට ඒ ඇත්ති කලබල නොවුනත් මෙහෙම දේවල්වලට කලබල වෙනවද්ද..?

අනිත් දේ තමා අච්චර පබාට සහ අනර්කලීට හේත්තුව දානවනං ඒ වගේ සල්ලාල පුතෙක් මේ තව කෙල්ලෙකුට ලයින් එක දැම්මා කියලා මොකට කලබල වෙනවද..? මේක මට ටිකක් හතර බීරි කතාවක් උනා ඕං...

හරි ඒකත් පැත්තකින් තියමුකෝ..මං කලින් කිව්වා වගේ මේ හැම දේම පුවත් සහ ආරංචි මිස මං ඇස් දෙකින් දැක්ක දේවල්යෑ...
......................................

දුටු ගැමුණු කියන්නේ ඉස්සර කාලේ ලංකාවේ හිටිය රජ කෙනෙක් නෙව...ඔය රජ්ජුරුවෝ ප්‍රසිද්ධ උනේ රට එක්සේසත් කිරීම සම්බන්ධව තමා...

උතුරු පළාත ඇතුළුව ලංකාවේ වැඩි කොටසක් ද්‍රවිඩ රජෙක් වෙච්ච එළාර (ඔය ද්‍රවිඩ කතාව ගැනත් යම්කිසි මතබේදයක් තියෙනවා.. ඒකට නියම උත්තරයක් මෙන්න මෙතන තියෙනවා) පාලනය කරන අතරේ ඉතිරි සොච්චමත් අපේ එක එක්කෙනා විසින් කොටස් කඩාගෙන පාලනය කර කර හිටි කාලේ දකුණෙන් බිහිවෙලා..සේනා සංවිධානය කරලා උතුරු දෙසට ගිහින් එළාරත් එක්ක සටන් කරලා ඔහුව පරද්දලා මුළු රටම ඔහුගේ පාලනය යටතට අරගෙන ලංකාව එක්සේසත් කරපු රජතුමා තමා දුටුගැමුණු..එහෙමත් නැත්තං දුට්ඨ ගාමීණී අභය කියන්නේ...

ඉතිං මෑත කාලීනව දකුණෙන් ඇවිත් ලංකාවේ ජනාධිපති වෙලා කොහොම කොහොම හරි පහුගිය කාලේ ලංකාවේ තිබුණ අවසානයක් පේන තෙක් මානෙක නොතිබ්බ යුද්ධය අවසන් කරලා..රට එක් සේසත් කරපු හාදයා තමා මහින්ද කියන්නේ...

ඉතිං මේ කාරණාවත් එක්කලා මහින්ද උන්නැහේවත් අපේ හුග දෙනෙක් ඔය දුටු ගැමුණු රජුට සමාන කරලා කතා කරන්ට පටන් ගත්තා...හැබැයි ඒක කිහිප විදියකින් උනා...

සමහරු හද පතුලෙන්ම තියෙන ගෞරවය මතත්... සමහරු මහින්දව අන්දලා තාන්න මාන්න ගන්න අදහසිනුත්.. තවත් සමහරු අපහාස කරන අදහසිනුත්... කියන ආකාර කිහිපයකටම තමා නූතන දුටු ගැමුණු පට්ටම මහින්දට එල්ලුවේ...(තවත් දුටු ගැමුණු කෙනෙක් ඉන්නවා..ඒත් ඒ කාඩ්බෝඩ් පට්ටමක් අපි ඒක අමතක කරමු මේකට අඳාල නැති හින්දා..)

සමහරු දුටු ගැමුනුවයි මහින්දවයි සංසංදනය කරන්නත් ගියා.. මොකද දුටු ගැමුණුට වගේම මහින්දටත් හිටියා කර ගහලා වැඩ කරන්න සහෝදරයින්...යුද්දේ දිනන්න මේ දෙන්නටම සහෝදර සහය වැදගත් උනා...

දුටු ගැමුනුට හිටියා දස මහා යෝධයින් කියලා හොඳ සටන්කාමී සෙට් එකක්.. මහින්දටත් සරත් ෆොන්සේකා ඇතුළු සෙට් එකක් හිටියා... ඔය දසමහ යෝධයින්ගෙන් එක යෝධයෙකුත් යුද්ධෙන් පස්සේ දුටු ගැමුණු රජුව අතෑරලා ගියා කියලා පත පොතේ තියෙනවා... මෙදා වංගියෙත් එහෙමම උනා..හැබැයි දසමහා යෝධයා ගියේ වෙන අතක..මෙදා යෝධයා ගියේ තව අතකට... ඔවා කතා කරන්න ගියොත් අදත් ඇනෝලා මෙතන මාව වනසනවා.. ඒ හින්දා ඒ මදෑ...

ඉතිං ඔන්න ඔය වගේ සංසන්දනය කරලා සමහරු ඔය දුටුගැමුණු මහින්දට සමාන කරලා කතා කලා කියමුකෝ... ඒත් ඉතිං ඔව්වා ඒ හැටි හිතට ගන්න දේවල් නෙවෙයි...

ඒ ඔක්කෝමත් හරි කියමුකෝ මෙදා වංගියේ තවත් සමානකමක් වෙන්ට ගිහින් අපි නොදැනම.. ආන්න එකයි මං මේක ලියන්ට හිතුවේ...

දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ පුත්තරයා වෙච්ච සාලිය කුමාරයත් අපේ ඉතිහාසේ බොහෝම පරසිද්දයි.. ඒ ඉතිං මේ රට කරවපු රජකෙනෙක් හැටියට නෙවෙයි... බොහෝම අවංක ප්‍රේමවන්තයෙක් හැටියට...

තමන්ගේ ආදරය වෙනුවෙන් රජකමත් අතෑරලා ගිය අද කාලේ චිත්තරපටිවල විතරක් දකින්න ලැබෙන වීරයෙක් වගේ කෙනෙක් තමා සාලිය කුමාරයා...

මෙන්න බොලේ මේ පාර අර නාමල් ගැනයි හිරුනිකා ගැනයි ගිය කතාව දැක්කම මට හිතුනෙත් යකෝ මේක "ඉතිහාසය නැවත නැවතත් සිදු වෙමින් පවතී" කියලා කවුද මංදා කියාපු දේ ඇත්තද කියලා...

සාලිය කුමාරයා රජකම අතෑරලා අසෝකමාලා එක්ක ගියා වගේ.. නාමලුත් කොහොමද මහින්දටයි උන්නැහේගේ බිරින්දෑටයි පිටුපාලා අර දැරිවිත් එක්ක ගියොත්..? ආසා හිතෙන වැඩේ.. හැබැයි එහෙම උනානං අතීතය එහෙං පිටිංම අපිට නැවත දැක ගන්න තිබුනා...

සාලිය කුමාරයා රජය හැර දැමීමත් එක්ක ඒ චෑන්ස් එක ගත්තේ සද්ධාතිස්ස කුමාරයා වගේ..මෙදා පාරත් බැසිල් උන්නැහේට ඊ ළග උරුමය යයිද කියලයි මං හිතුවේ..කෝ ඉතිං ඒකට නාමල් යන්ට එපෑ... දැනටනං එහෙම වෙන පාටක් නැහැ..ඒත් ඉතිං ඉස්සරහදී හරි එහෙම උනොත්නං මාත් කියනවා මේනං ඉන්නේ දුටු ගැමුණුම තමා කියලා... අනික බය වෙන්ට දේකුත් නැහැ සද්ධාතිස්ස කුමාරයත් අපරාදේ කියන්ට බැහැ රටට හොඳ රජෙක් උනයි කියලා තමා අතීත කතාව අපිට කියන්නේ... ඒ ඔක්කෝම හරිනං ‍මේකත් වෙයංකෝ...

(තවත් මහින්ද අබේසුන්දර කෙනෙක් හරි උපුල් ජෝසප් ප්‍රනාන්දු කෙනෙක්ව ඔයාලට පේනවා පේනවා වගේද..?)

15 October 2011

වෙනස් අයුරින් ලොව දකින්නෙමි...

මේ පොරවුර්තිය කියලා සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ..ඒත් කියන්ටත් එපෑ.. ඇත්තටම අද මගේ ජීවිතයේ යම් කිසි වෙනසක් උන දවසක් කිව්වොත් මං හරි...

උපන් දවසේ මං ලෝකය දිහා බැළුවේ කොහොමද කියලා හරි හමන් විදියටහ කියන්න බැරි උනත්..යන්තං දැන අඳුරගත්‍ත දවසේ ඉඳලා මං මේ ලොකේ දැක්කේ මගේ ආකාරයට..මට පේන දකින විදියට.. ඒ දකින දේවල් අනුව මං මගේම කියලා මට අයිති දැක්මක් ඇති කර ගත්තා..

ඒ දැක්ම නිවැරදිම නැති වෙන්න පුළුවන් උනත් ඒ තමා මං දකින විදිය..ඒත් නොසිතූ විදියට අද හවස් අතේ මගේ දැක්මේ පැහැදිලි වෙනසක් උනා.. ඇත්තටම මං දැන් ලෝකය දකින්නේ මෙච්චර දවසක් දැක්කට වඩා වෙනස් විදියකට... සමහර විට මං මෙච්චර දවසක් දැකපු හැටි වැරදි ඇති..දැන් මං හරියට ලෝකය දකිනවා වෙන්න ඇති... ඒත් මං එකක් දන්නවා..මගේ මේ දැක්මේ වෙනස ඇති වෙන්න අන්තර්ජාල භාවිතය හුඟාක් බල පෑවා.

අවසානයේදී අන්තර්ජාල භවිතා කරන අතරේම මට තේරුනා මගේ දැක්මේ වෙනසක් විය යුතුයි කියලා..තව තවත් කල් දාලා තේරුමක් නැහැ.ඒ හින්දා මං අවසානයේදී කල්පනා කරලා කරලා මගේ දැක්ම වෙනස් කලා...

ඉතිං අද හවස පහකුත් ගානකට මං මෙතෙක් කලක් ලෝකය දැකපු ආකාරය වෙනස් කරලා ලෝකය දිහා බලන්න පටන් ගත්තා..දැනටනං හිතනෙවා මං කලින් දැක්කට වඩා හොඳට දැන් මං ලෝකය දකිනවා කියලා..ඒත් කවුද දන්නේ හෙට අනිද්දට මට හිතෙයිද කියලා කලින් දැක්කා හොඳයි කියලා..එහෙමත් නැත්තං තව ටික කාලයක් යනකල් ජීවත් වෙලා පහු පහු වෙනකොට හිතෙයිද ඒ ඒ කාලවලදිත් දැක්ම වෙනස් කරලා නිවැරදි දැක්මක් ඇති කර ගන්න...

කොහොම උනත් "සොබා දහමට නොවන අවනත ලෙවේ කිසිවක් නැහැ..."

ඒ කියමන මට නැවත වතාවක් පසක් කරමින් ඇති වූ දැක්මේ අඩු පාඩු හින්දා මං අද හවස ඉඳලා උපැස් යුවලක් පළදින්නට පටන් ගත්තා... දැන් මං ලෝකය දකින්නේ ඒ හරහායි.. ඔන්න මගේ දැක්ම වෙනස් වෙච්ච හැටි...

දුමින්දගේ මරණය...

මේ ඔබ පුල පුලා බලාපොරොත්තුවෙන් සිටි පුවතද..? ඊයේ රාත්‍රිය වන තෙක්ම මාත් මේ පුවත ලැබේවියැයි බලා සිටින ලදි. එහෙත් නින්දට විනාඩි කිහිපයක් තිබියදි මට මොන මොනවාද මංදා සිතුනි..ඒ නිදි විකාරයෙන් විය හැක. එහෙත් අද උදෑසන අවදිවන විට මට මෙම පුවතින් වැඩක් නැත යැයි සිතෙනා විට මට හිතුනේ මං නිදි විකාරයෙන් යැයි කියා සිතූ දේවල් නිදි විකාරම නොවන බවයි... මට දැන් උවමනා නැත..ඌත් ඔහේ හිටියදෙන්...

ලේ රත් වූ විට මරගෙන කන්නට තරම් කේන්තියක් ආවත් සිංහල අපගේ සාමාන්‍ය ක්‍රමය වන්නේ ටික කලකින් ඕනෑම දෙයක් අමතක කර දැමීමයි. මමත් ඒ අතරින් එකෙකි. ඉඳින් මෙසේ සිතීම කෙරෙහි මට මා ගැන පුදුමයක් නැත.
..................................

ඒ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට එරෙහි අවසන් යුද්ධ සමයයි..එහි නිමාව දැකිමට ආසන්නයේ නොව ඒ වන විට යන්තම් මාවිල් ආරුව බේරා ගත් අවදියයි... ඔය අතරේම ජෙනරාල් සරත් ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඔහු මාරාන්තික තුවාල ලබා ප්‍රතිකාර ලබන කාලයයි... මා සිටියේ එවකට පැවිදිවය... ලංකාවේ සෑම ගමක් ගමක් පාසාම..නගරයක් නගරයක් පාසාම පන්සල්වල බෝධී පූජා පැවැත්උනි... මා සිටි පන්සලේ ඊට වඩා වෙනස් යමක් වීමට හැකියාවක් නැත..අපිද මුළු ගමම එකතුව බෝධී පූජා තැබීමු. දිනක් නොව සති ගනනාවක්ම දිනපතාම බොධි පූජා තැබිණී... ජාතියේ පිනට හෝ කුමන හෝ දෙයකට ඔහු සුවපත් වූවා පමණක් නොව අවසනදී පෙරටත් වඩා දරුණු ආකාරයෙන් යුද්ධය ක්‍රියාත්මක වන්නට විය...

පන්සල ආසන්නයේ සිටිනා විශ්‍රාමික ගුරු භවතියකි. "උපතින්ම සිංහලය ජාතිය කොට ගෙන.. බුදු සමය ආගම කොටගෙන යූ ඇන් පීය පක්ෂය කොටගෙන ජනිතව තිබිණි."

පන්සලේ කුමන හෝ කටයුත්තක් සිදු කෙරෙන අවස්ථාවක මා එදෙසට යන විට ඇයත් තවත් කිහිප පොළක්මත් බරපතල ලෙස කතාවක් කරගෙන යන ලදි..මං එනවා ඇය දුටුවේ නැත.

"අනේ ඇත්තමයි මේ යුද්ධේ ඉවර ‍කලොත් මං ඊ ළඟ සැරේ මහින්දට චන්දේ දෙන එක දෙනවා බොරු නෙවෙයි... අනේ උන්දෑ කොරන යුද්දේ.."
.........................................................

යුද්ධයේ අවසාන දින කිහිපයයි... දායක පිරිසත් සමග පන්සලේ වැඩ කටයුතු පිළීබඳව කතා බස් කොට හමාරව එවකට කොතැනත් වාගේ සිදු වෙමින් පැවති යුද්ධය මාතෘකා කොටගෙන කතාව ඇදී යන ලදි. එදා කතාවට සම්බන්ධ කිහිපදෙනාම පාහේ මෙතනත් සිටිනා ලදි.ඒ අතරින් එක් හිටපු සමූපාකාර තොග ගබඩා ලිපිකරු මහතකු පෙර දිනයක අපගේ ගුරු මහත්මිය විසින් දුන් පොරොන්දුව සිහිපත් කරන ලදි...

"දැන් ලොකු ටීචර් මේ පාර මහින්ද මහත්තයට චන්දෙ දෙනවානේ නේද..?"

"කෝ ඉතිං තාම ඉවර කලායෑ.. ඔහොම ගිහින් අන්තිම කටේ තියලා ඉන්දියාව හරි ඇමරිකාව හරි කිව්වා කියලා ඕක නවත්තලා දාන්න පුළුවන්නේ.. මීට කලින් කී පාරක් සිද්ධ වෙච්ච දේවල්ද ඕවා.."

කිසිවකු කිසිවක් නොකියන ලදි....

අවසානයේදී යුද්ධය අවසන් වන ලදි... නමුත් ඇය චන්දය දුන්නේ මහින්දට නොව ඒ වන විට මහින්දගේ ප්‍රතිමල්ලවයා වී සිටි සරත් ෆොන්සේකාටය... මහින්දව හලන ලදි...

ඊ ළගට පැමිණි පළාත්පාලන මැතිවරණයකදී ඇයගේ දියණියක් මැතිවරණ අපේක්ෂිකාවක් විය... සරත් ෆොන්සේකා එවර සිටියේ යූ ඇන් පීය සමගද.. නැතිනම් ජවිපේ සමඟද යන්න මට දැන් මතක නැත. මට දැනෙන්නේ ඔහුව එම දෙපිරිසම විසින් හලා ඇති බව පමණි.කෙසේ හෝ ඉහත කී ගුරු මාතාවට වූවද දැන් ජනරාල් ෆොන්සේකාගෙන් වැඩක් නැත. ඇය ගේ දියණිය චන්දය ඉල්ලුවේ එක්සත් ජාතික පක්ෂයෙන් මිස වෙන පක්ෂයකින් නොවේ... අදටත් ඇයත් ඇගේ පවුලේ උදවියත් උග්‍ර යූ ඇන් පී සාමාජිකයින් මිස ෆොන්සේකාගේ නමින් ඇති කුමන හෝ පක්ෂයක සාමාජිකයින් නොවේ..පැහැදිලි ලෙසම හෙට රනිල් හෝ සජිත් විසින් නායකත්වය දරන පක්ෂයට එරෙහිව වෙන කුමන හෝ පක්ෂයකින් සරත් ෆොන්සේකා චන්දයට ඉල්ලුවත් ඔවුන් සිටින්නේ යූ ඇන් පීය සමඟ මිස ෆොන්සේකා සමඟ නොවන වග නම් අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් දිනක් ඇය කියා සිටියේ යුද්ධය දිනුවොත් මහින්දට දෙන චන්දය වගය...

මේ ලංකාවේ තත්වයයි...
......................................
දුමින්දට චෝදනා රැසකි.ඒ අතර කුඩු ජාවාරම..ස්ත්‍රී දූෂණ පිළීබඳව නිතර කියවේ..එවැනි දේ අසන්නට ලැබෙනා හෙයින් මා මෙතෙක් සියැසින් දැක නැති..කතා බස් කොට නැති ඔහුගේ මරණය මා හට කුරිරු සතුටක් ලබා දෙන්නට තිබිණී. මෙයට වසර ගණනාවකට ඉහතදී ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වූ අවස්ථාවේදී මාත් රතිඤ්ඤා පත්තු කොට ඇත. ඒ මා විසින් ගෙන ආ ඒවා නොවේ..මගේ පියා ගෙනවිත් දුන් ඒවාය.ප්‍රේමදාස ජනපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා රට දුෂ්කරව පැවති බවත් සෑම තැනම අවනීතිය රජ කරන බවත් එවකට සෑම මාධ්‍යයකින්ම පුන පුනා කියනා ලදි. මා රතිඤ්ඥා පත්තු කලේ ඒ කරුණු නිසා නොවේ.. විජය කුමාරණතුංගව ඝාතනය කල දිනයේ මගේ පියාගේ දෑසින් ගලා හැළුනු කඳුළු සිහි කරමිනි..එම මරණයන් දෙක අතර වැඩි කාල පරතරයක් නොතිබූ හෙයින් පොඩි එකකු වූ මට ඒම සිද්ධි දෙක එකිනෙක යාකර සතුටු වීමට හැකියාවක් තිබිණී..තාත්තාව අඩවපු එකා ඉවරයි.. ඒ මා එදා දුටු ආකාරයය..මන්ද ඒ දිනවල රටම විශ්වාස කලේ ජවිපේ හරහා කුලියට ගත් දෙදෙනකු හරහා විජයව මරවන ලද්දේද ප්‍රේමදාසය යන්නයි.. අද වන විට එම මතය ඇත්තේ කුමන තැනකදැයි කිසිවකුට එක එල්ලේ කිව හැකිද..?

භාරත ලක්ෂ්මන් කුමන ආකාරයක වූවත් දැන් ඔහුගේ නුගුණ ගැයෙන්නේ නැත. එහෙත් දුමින්ද අද දවසේ දුෂ්ඨයාය... ඒහෙත් හෙට දවස ගැන කිව හැක්කේ කුමක්ද...? වීරයා මැරෙන්නට ඒ හැටි වේලාවක් යන්නේ නැත. එසේම දුෂ්ඨයින් වීරයින් කෙරෙන්නටද ගත වන්නේ එයටම සමාන කාලයකි. අපට අද පෙනෙන්නේ දුමින්දත්..භාරතත්..මර්වින් සිල්වාත් පමණි.. ඔය කියන තිදෙනාවම මා ඇසුරු කොට නැත. මා ඔවුන් පිළීබඳව ආසා ඇත.. ඒ අතර හොඳත් ඇත...නරකත් ඇත... දෙකින් කොයික වැඩිද කියා තීරණය කරන්නට බැරි තරමටම දෙපැත්තටම සමාන වන ලෙස කරුණු අසා ඇතිවා මිස ඒ එකක්වත් මා ප්‍රත්‍යක්ෂ ලෙස නොදනිමි. එහෙත් මා දුමින්දගේ මරණය අපේක්ෂා කලා නොවේද..? වරද ඇත්තේ දුමින්දගේද..ඔහුට කිරි පොවා වැඩූ මිනිසුන්ගේද..?

ගෝටාභය..මහින්දට දස අතින් ඇඟිළී දිගූ වී ඇත. පුවත් අඩවි සෑහෙන කරුණු කියයි... මා වික්ෂිප්තව බලා හිඳිමි. මහින්ද පිළීබඳව බලාපොරොත්තු අත් හැරීමට මා සූදානම් නැත..මන්ද යත් ඒ මගේ අවසන් බලාපොරොත්තුව බැවිනි. ඉහත කී ගුරුවරිය සේම මාද අන්තවාදී විය හැක..එහෙත් එය එසේමය. ඇයට එයට හේතු තිබිය හැක..මටද හේතු තිබේ... ඒවා ලියන්නට මේ ලිපිය යොදා ගැනීම අපහසු බැවින් ඒ පිළිබඳවත් ඉදිරියේදී ලියන්නට අදහස් කරමි. නමුත් ඇත්ත වශයෙන්ම මා සිටින්නේද යම් තරමක කල කිරීමකිනි.

ඇයි දුමින්දට තවමත් සලකන්නේ..? එහෙත් කාලය විසින් ඔය ගැටළු වලට කුමන ආකාරයේ විසඳුම් දේවිදැයි මා නොදනිමි.එය කාලයටත්..මහින්දටත් තබා මා බලා සිටිමි... මා හදිසි වූවාට වැඩක් නැත..චෝදනා ආවේ මහින්දට පමණක් නොවේ...

ප්‍රේමදාසට චෝදනා රැසකි... ලලිත්..කොබ්බෑකඩුව..විජේවීර...ආදීන්ගේ මරණයන් පමණක් නොව තව විශාල ලයිස්තුවක් ඔහුගේ නමට ඉදිරියෙන් එවකට ලිය වී තිබිණි.ඒ අතර සොත්ති උපාලිලා හුරතල් කිරීමත් තිබිණී.

ජේ ආර්ටත් තිබිණි... ඒ ගෝනවල සුනිල්ගෙන් මෙම කාඩ දේශපාලන ප්‍රවාහයට අත්පොත් තැබීයැයි කියන පළමු චෝදනාවත් සමඟින්ය... එපමණක් නොව යාපනය පුස්තකාලයට ගිනි තැබීම වැනි චෝදනාත් ඔහුට ඇත..

චන්ද්‍රිකාටත් ඇත... එම ලයිස්තුව දෙවැනි වෙතොත් ඒ ප්‍රේමදාසට පමණි...

රනිල්ට බටලන්ද වදකාගාරය හා සබැඳි චෝදනා රැසකි..එම චෝදනාවලට අනුව ඔහු අමු තිරිසනෙකි.කොල්ලන්ට වද දීම බලා තෘප්තිමත් වන විකෘති ආශා ඇත්තෙකි. වදකාගාරයට ගෙන ආ තරුණයින්ට ලිංගික පීඩා කර ඔවුන් මරා දැමූ විකෘති කාම පිපාසාවක් ඇත්තෙකි...ඒ පමණක් නොව පක්ෂයේ හිටපු මහ ලේකම් වරයාට වස දීමක් ගැනද ඔහුගේ නම ඈඳී තිබිණී...

සජිත්ට ඇත්තේ නිධන් හොරකම් පිළීබඳ හා ඇතුන් මරා දළ කැපීම වැනි චෝදනාය...

තව තවත් මෙම ලයිස්තුව දිගු කරන්නට ඇවසි නැත..
මේ අතීතයයි... අද මහින්දට සේම එදා ඔවුන්ටද ඇති පදමට චෝදනා තිබිණී... මහින්දට එරෙහිව සිතන්නට යන විට ඒ පිළීබඳවත් මා සිතිය යුතුව ඇත. උනුත් කලානං මූටත් කරන්න බැරිද නොව... කාලාන්තරයක් තිස්සේ ආ දේවල් එක රැයකින් වෙනස් කිරීම පහසුද යන්නයි...

දුමින්දව දේශපාලනයට ගෙනාවේ මහින්ද නොවේ... මර්වින් සිටියේ මහින්ද ලග පමණක් නොවේ... හෙට ආණ්ඩුව පෙරලන්නට සහය දෙනවානම් ඔය කිය දෙදෙනාම නැවතත් ආපසු තමා ලගට ගැනීමට රනිල් දෙවතාවක් සිතයි කියා සිතන්නටද බැරිය... වරක් ඔහු මේ සඳහා ලං කරගත්තේ අද බොහෝ විවේචනවලට අසුවී ඇති එස් බී දිසානායක හා මහින්ද විජේසේකර වැනි අයයි...

ඉස්සරම මට මතක තිබුනේ පනින්නට දක්ෂයා රොනී බවයි..එහෙත් අද..නොපැන්න එකෙක් හොයන්නට සෑහෙන මතකයක් තිබිය යුතුය... තව අවුරුදු දෙකකින් පසුව දුමින්ද ගැන අසනා එකෙකුට කුමන අන්දමේ දේවල් අසන්නට වේදැයි මා නොදනිමි.

මොන දේ වූවද රටේ නීතිය ගැන අළුතින් සිතා වැඩ කරන්නටත්... දැනට යන රටාව බිඳ දැමීමටත් මේ සුදුසුම කාලයක්ය යන බව මට සිතෙයි. දුමින්දගේ මරණය ගැන සිතනවාට වඩා එය යහපත්ය.. භාරතගේ මරණය උඩින්වත් දෙපැත්තේම සිටිනා චණ්ඩින් එළීයට ඇද දමා පක්ෂ ටික සුද්ධ කර ගැනීමටත්... ටවුන්වල කප්පං කාරයින්..තගාලා දේශපාලනයට එන මාවත් අහුරා දැමීමත් වැදගත්ය...

ජෙයරාජ්..දමු දසනායක වැන්නවුන් බිහි උනේ එක්සත් ජාතික පක්ෂයේ මැර දේශපාලනයට එරෙහිව මෙන්ම පාලිත රංගේ බන්ඩාර හා ඕලිත ප්‍රේමරත්නලාත් බිහි වූයේ එම හිඩැස හරහාය... අද ඒ හිඩැසින් රිංගා ආ සරණලා..මර්වින්ලා..දුමින්දලා පමණක් අල්ලාගෙන කෑ ගැසීම විහිළුවක් පමණකි.

භීෂණය ඇති කලේ යූ ඇන්පීයයැයි කියා අත හෝදා ගැනීමට පොදු පෙරමුණටවත්... පෙරමුණේ උන් මිනී මරනවායැයි කියමින් කෑ ගසමින් අතීතයේ එයට මුල් ගල් තැබූ යූ ඇන්පියටවත් ගැල වී යාමට ඉඩ තැබිය යුතු නොවේ... කල යුත්තේ භාරතගේ මිනියට උඩින් හෝ මේ සමාජයේ ඇති කර ඇති වැරදි ක්‍රමවේදය වෙනස් කරලීමට පාරක් කැපීමයි..එහෙත් එය කල හැක්කේ කාටද..?

මහින්දට හා රනිල්ට එය හැකිය..එහෙත් තනිවම නොහැක... මන්ද යත් මෙතෙක් කලක් යන උන් පත් කර යැව්වේ ඔබ අපිම වන හෙයිනි... මේ ලයිස්තුවෙන් ටිකට් එක නොදුන හොත් අනිත් පැත්තෙන් ටිකට් එක රැගෙන ඉල්ලා හෝ උන් පාර්ලිමේන්තු ආවේ ඔබේ අපේ මනාපයෙනි. එහෙයින් සෑම දෙනාම ලයිස්තුවේ මොකා හිටියත් කතිරය ගසන්නට පෙර ‍එක පාරක් හිතනවා නම් එය යහපත්ය..

අපේ උන් නොසිතනවා නොවේ..එහෙත් ඒ වෙලාවට හිතෙන්නේ මුන්ගේ චණ්ඩිකම් නොව..තමාගේ දැන හැදුනුම්කම් හා නීතියට පිටින් වැඩක් කර ගැනීමට ඒ ඒ එකාලගෙන් තමාට ලැබිය හැකි සහය ගැනය... එහෙම කර කර මහ උන්ට බනින එක දැන් පුරුද්දට ගිහින් ඇත. මහ උනුත් පොඩි වාසියක් නිසා සල්ලි වියදම් කරන ඕනම හිපාටුවෙක් ලයිස්තුවට දමා එවයි.. මේ ක්‍රමය වෙනස් කරන්නේ කවදදා..කවුරුන්ද..?

කණගාටුයි එහෙම එකෙක් තාම ඉපදිලා නැත.ඉපදේදැයි සිතන්නටත් බැරිය. ඉන්නා එකෙක්වත් එහෙම සකස් කර ගන්නට හැකිවේදැයි නොදනිමි..එහෙත් උත්සහ දැරීම නම් යහපත්ය... අරූ එපා කියා මූටද..මූ එපා කියා අරූටද දෙන ක්‍රමය තුල එවැන්නක් සිහිනයක් පමණකි. විරෝධතා දක්වන්නට හැර මටත් මෙය කල හැකි ක්‍රමයක් නොපෙනෙයි. බොහෝ මධ්‍යස්ථ ලෙස ලියනවා යැයි කියන හැම එකාටමත් ඇත්තේ ඔය ගැටළුවමය..අපි කොහොමද කරන්නේ..?

මොකා හරි ඒ ගැන හිතලා ලියනවා නම් හොඳය...නැත්තං වෙනදා කලා වගේම ඊ ළග චන්දයත් මහින්දට දෙන්නං වාලේ දීමට මටත්..රනිල්ට දෙන්නං වාලේ දෙන අයට එසේ කිරීමටත් හැකිය.

මා දකිනා අන්දමට අවසානයේ වීමට හැකියාව ඇත්තේත එයම පමණී. දුමින්ද හෝ භාරත ලාංකීය දේශපාලනය වෙනස් කරනු ඇතැයි සිතනවා නම් එය සිහිනයක් පමණකි..මන්ද යත් දෙතුන් පැත්තම එයට වග කිව යුත්තන්ගෙන් පිරී ඇතිවාක් මිස සුදනන් සිටින තැනක් දැනට නැත...
............................................

මේ දිනවල සෑම අතම පුවත්ය..එසේම ඒවාට ඇත්තේද පුදුම ඉල්ලුමකි..මා මෙහි මුලින් යොදා ඇති ප්‍රවෘත්තිය වෙනුවෙන්ම පුවත් බලන්නන් එමට‍ය... එහෙත් ඒ අතර සුවිශේෂ ලිපි කිහිපයක් මගේ අවධානය දිනා ගන්නට සමත් විය..ලියන්න හිතුනොත් ඊ ළගට ඒක ලියන්නට සිතමි...

සාලිය අශෝකමාලා...ජීවමාන කරවන්නට තිබූ අවස්ථාවක් අපෙන් ගිලිහී ගොස් ඇත.

11 October 2011

මෙන්න මෙහෙමයි තරහා වෙන්නේ...

අද පෝය ඩේ... ඒ කියන්නේ හොලි ඩේ... හොලි ඩේ කියන්නේ නිවාඩු දවස්වලට නේද..ඒත් මට ඒක එහෙම නෙවෙයි මං අදත් වැඩ..අද විතරක් නෙවෙයි දැන් දවස් දෙකක ඉඳන්ම මං වැඩ පොලේ.. අදත් එක්ක තුන් වැනි දවස මේ යන්නේ... සමහර විට හෙටත් අදින්න වෙයි කියලා හිතෙනවා.. මගේ රාජකාරි සඟයා උන්නැහේගේ දෝණියැන්දා බලන්න රත්නපුරේ ගෙහුන්... එහෙම වෙලාවට ඉතිං මං දිගටම රාජකාරියේ..ඒත් ඉතිං මේකත් නරක නැහැ..මොකද කන්ද නගිනවා වගේම පල්ලමත් අහුවෙනවානේ.. මමං මේකට හරියන්න දවස් දෙක තුනක් නිවාඩු ගන්නවා පස්සේ... හැබැයි මං මේ මාසේ කලින්ම දවස් දෙකක් නිවාඩු දැම්මා පහුගිය සතියේ.. ඒ ඉතිං පොඩි පින්කමකට සහභාගී වෙන්න යන්න තමා... ඒත් හෙටත් ඉන්න උනොත් මට ආයෙමත් දවස් දෙකක් විතර නිවාඩුවක් ගතෑකි... එහෙම නිවාඩු අල්ලලා තමා මට රස්තියාදු පාරවල් දාන්න යන්න සෙට් කරගන්නේ...

හරි ඉතිං අද පෝය දවසේ අපි කරන්න ඕන පින් අතේ වැඩනේ... ඉතිං මාත් අද උදේම හිතාගත්තා අද දවස සන්සුන් මනසින් ගත කරන්ට ඕනය කියලා.. ඒත් මොන.. උදේ පාන්දරම ජීමේල් එකවුන්ට් එකට ගියාම ඒකට ඇවිත් තිබුනා පණිවිඩ කිහිපයක්..එයින් එකක් අර අපේ තිස්ස අයියාගේ ඊයේ දාපු ලිපියට වැටුන කොමෙන්ටුවක්... ඒක දාලා තිබුනේත් අපේ තවත් බ්ලොග් කාරිනියක් වන බින්දි සහෝදරිය විසින්..ඒක කියෙව්වමයි මට තේරුනේ ඊයේ මං ඒ ලිපිය කියෙව්වට මට මග ඇරිච්ච දෙයකුත් තියේ කියලා... ඒ ගමන ගිහින් ආපහු බැළුවා..ඇත්තනේ මෙන්න තියෙනවා යටින් තවත් පාරවල් දෙකක් වෙනත් තැන් දෙහෙකට යන්ට..කොහේද ඉතින් කලින් වතාවේ ඔවා පෙනුනේ නැහැනේ..වෙන වෙන තොරණ්වල අසිරිය බැළුවා මිස...

ගිහින් බැළුවම මට සංසාරේ කලකිරුනා... හපොයි මේ යෝධයා මොකටද මේ වහන්තරාව මෙතන එල්ලුවේ කියලා... සමහර විට දැන් හැදෙන සමහර සින්දුවල තරම අපට හිතා ගන්න කොල වැඩක් වෙන්න ඇති..මොකද ඔය හාදයා කිව්වොත් කියන්නේ හතර බීරි කතාවක්..දවසක් විතර කල්පනා කලාම තමා උන්දෑ කිව්වේ මොකක්ද කියලා තේරුම් ගන්න ඇහැකි... කොහොම ගෙවල් දොරවල්වල මිනිස්සු ජීවත් වෙනවද මංදා... සමහර විට උන්දෑ ලංකාවට ආවම කියලා යන කතාවල තේරුම අහ ගන්න උන්දැගේ මායියා ඊ ළග වතාවේ උන්දෑ ගෙදර එනකල් ඉන්නවා ඇති.. එහෙව් අටමගල් කියන හාදයා.. ආස්සරේ කොරලම බලන්න ඕන පුතයගේ තරම...මං හිතන්නේ මේකත් එහෙම එකක් වෙන්න ඇති...

ඇත්තටම ඒක ඇහුවාම මට මේ ලගදී සිද්ධ වෙච්ච අප්‍රසන්න සිදුවීමක් සිහියට නැගුනා...

ඒකත් මේ ගීතයක් සම්බන්ධ සිදුවීමක්...

මේ ළගදී මං බස් රේඩියෝවේ කතා බහකට එකතු වෙච්ච විත්තිය කිහිප දෙනෙක් ඇරුනම අනිත් අය දන්නවනේ... ආන්න ඒ වැඩ සටහන විකාශය වෙන්න තිබුන දවසේ දවල් මට ඊමේල් පණීවිඩයක් සහ මූණු පොතටත් පණිවිඩයක් වශයෙන් පණිවිඩ දෙකක්ම ඇවිත් තිබුණා කෙනෙක්ගෙන්...

මල්ලී හදිසියකට කතා කරන්න ඕන ඒ හින්දා දුරකථන අංකය එවන්න කියලා.. ඒ කියන කෙනාගේ දුරකථන අංකයත් සමඟින්ම එවලා තිබුනා... මාත් ඉතිං මොනවා හරි විපත්තියක් කරදරයක්ද කියලා දන්නේ නැති හින්දා වැඩිය කාටවත් නොදෙනවා උනත් මගේ දුරකථන අංකය සඳහන් කරලා පණීවිඩයක් යවලා මගේ සුපුරුදු වැඩ රාජකාරිවල නිරත වෙලා හිටියා...ඒත් පැයක් දෙකක් යනකලුත් කිසිම හා හූවක් නැහැ... ඔය අතරේ මං වෙන යාළුවෙක් එක්ක කතා බහ කරමින් ඉන්න වෙලාවේ මට මතක් උනා යකෝ අර හදිසියක් කිව්ව කෙනාට මගේ අංකේ ලැබිලා නැතිවද..කියලා.. ඒ පාර මං කෝකටත් කියලා ගත්තා බලන්න ඇමතුමක්.. මිනිහෙක් හදිසියක් කරදරයක් කියලා කියන්නේ හදිසියකට කරදරයකටනේ..එහෙම නැතිව වෙන වෙන වල්පල් වලට නෙවෙයිනේ...

අනේ ඉතිං මං මේ හදිසියක් කියලා හිතාගෙන කතා කලාට ඇත්තටම එහෙමට හදිසියක් නෙවෙයි...
මං එදා හවස බස් රේඩියෝ වැඩ සටහනට යන හින්දා ඒ කතා කල කෙනාගේ වැඩක් කරවගන්න තමා කතාකරලා තියෙන්නේ... මොකක්ද මංදා ඒ කෙනාගේ පුතෙක් හදපු සිංදුවක් ගැනයි කතාව කිව්වේ... මට තේරුන විදියටනං බුද්ධිමය දේපල පනත ගැන ගැටළුවක්ද කොහේද... ඇත්තටම මං එතනින් එහාට විස්තර අහගෙන හිටියෙත් කිසිම උවමනාවකින් නෙවෙයි.. මොකද ඇත්තටම හිතේ අප්‍රසන්න ගතියක් ඇති වීම නිසා.. හදිසියක් කියලා කිව්ව හින්දා දුන්නා මිසක් නැත්තං මං දුරකථන අංකය වැරදිලාවත් දෙන්නේ නැහැ..ඒත් හදිසියක් කියලා මේ වගේ දෙයක් කතා කරන කොට මං කතා කල මෝඩකං කියලා හිතාගෙන කොහොම හරි ඇමතුම අවසන් වෙනකල් අහගෙන හිටියා... ඔය අස්සේ එයාගේ පුතෙක් කරපු මොකක්ද මංදා ගීතයක් ගැන කියලා මගෙන් ඇහැවුවා ඔයා අහලා තියෙනවා නේද මල්ලි කියලා.. අනේ ගත් කටටම මං ඇත්ත කිව්වා...

....................මං ඔය අළුත් සින්දු අහන්නේම නැහැ...

වෙන මොනවා කියන්නද..? ඇත්තටම අහම්බයකින් ඔය කොහේ හරි යද්දී ඇහුනොත් ඇර මංනං වැරදිලාවත් දැන් හැදෙන සින්දු අහන්නේ නැහැ... ඇත්තටම අහන්න දේකුත් ඒවායේ නැති තරං..ඉඳ හිට හොඳ ගීතයක් දෙකක් එළියට ආවොත් ටික දවසකින් කොහේදි හරි යන්තං හරි අහුනොත් ඒක හිතට ඇල්ලුවොත් හොයාගෙන අහනවා ඇර... අළුතින් බිහිවෙන ගීතවල මටනං තියෙන්නේ පුදුම කන්දොස්කිරියාවක්... මේක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් තත්වයක්.. හැමෝගෙම රසවින්දනය එක වගේ නැහැනේ... ඔය මගේ රස වින්දනය... ඒත් මං හිතන්නේ නොකිව්වට හුග දෙනෙකුට ඔය වෙනස දැනෙනවා... මටනං තදින්ම දැනෙනවා... ඒ හින්දා ඇත්තටම මංනං අළුත් ගීත අහන්නේම නැති තරං...වැරදීමකින් හරි හොඳ ගීතයක් බිහි උනොත් ඒක අපිව සොයාගෙන එනවා.. එහෙම නැතිව ගීත පස්සේ ගිහින් අහන්න දෙයක් අදනං නැහැ...

මං සාමාන්‍යයෙන් ගෙදර ඉන්න දවසට දවසම සින්දු අහ අහ ඉන්න මනුස්සයෙක්... ඒ අතරේ වැඩිපුරහ ඉන්නේ වික්ටර් රත්නායකයන් සහ සෝමතිලක ජයමහ කියන දෙපල.. එයින් අමතරව අමරදේව මාස්ටර්..සනත් නන්දසිරි..සුනිල් එදිරිසිංහ..අමරසිරි පීරිස්..එඩ්වඩ් ජයකොඩි.. මිල්ටන් දෙපළ.. සුජාතා අත්තනායක... ෆ්‍රෙඩී සිල්වා.. කලාවතී... හරුන් ලන්ත්‍රා... දයාරත්න රණතුංග.. ෆිලික්ස් ඇන්ටන්... ජෝතිපාල.. ලක්ෂ්මන් විජේසේකර... ප්‍රියා සූරිය සේන.. මර්වින් පෙරේරා.. රෝහණ සිරිවර්ධන.. වසන්තා සන්දනායක..නන්දා මාලනී..එම් එස් ප්‍රනාන්දු.. ඔය කියන පිරිස තමයි අතරින් පතර මාව වික්ටර් සහ සෝමතිලක ජය මහ කියන දෙපලගෙන් අහකට අරගෙන ගීතයකින් දෙසවන් පුරවන්නේ...

එයිට අමතරව ඉඳ හිට නන්ස්ටොප් උනත් මං නොඅහනවා නෙවෙයි... ජොලි සීයාගේ ගීතයක් උනත් අහන වෙලාවල් තියේ.. හින්දි රීමික්ස් දෙකතුනකුත් මගේ ලයිස්තුවේ තියෙනවා... තේරුමක් නොදනිතත් යන්තං අහන් ඉන්න ඇහැකි ඉංග්‍රිසී ගීත කිහිපයකුත් තියෙනවා කියහංකෝ... (UB 40 ලගේ සහ අර ලයනල් රිචී උන්නැහේ එහෙම තමා.. ආ තව අර බොබ් කොළුවත් ඉන්නවා..ඊට අමතරව අර ලස්සනට ගිටාර් වාදනයක් එක්ක යන හොටෙල් කැලිෆෝනියා සින්දුවත් ඇතුළුව..) ඒ ඉංග්‍රිසි ගීත කිහිපයට භාෂාව ඒ හැටිම හරස් වෙන්නේ නැහැ කනට ගහන්නේ නැති ගීත... නැත්තං ඉතිං මං අහයියෑ...

ඉතිං ඔහොම ගීත අහන මට හදිසියකට කියලා කතා කරලා ඒ අයගේ ගීතවල අයිතියක් රැක දෙන්න හරි.. ඒ වගේ කියලා ඒ හරහා නැති ප්‍රසිද්ධියක් දෙන්න හරි මාව කඩේ යවන්න හදනවා කියලා තේරුනාම මට යක්ෂාවේස නොවී තියෙයිද..? බොහොම අමාරුවෙන් ඉවසලා කතාව ඉවර කරලා දැම්මා... ඉතිං මං ඔය කතාව එවෙලේ කතා කර කර හිටිය යහළුවාට කිව්ව ගමන් මගෙන් ඇහැවුවේ

"අනේ ඒ අයගෙනුත් හොරකම් කරන අය ඉන්නවද කියලා" ඒ වචන ටිකට හිනා ගිහින් මං ටිකක් කූල් උනේ නැත්තං එවෙලේ තමා මේ මේ පෝස්ට් එක ලියවෙන්න තිබුනේ...

ඒක එහෙම එතනින් නවත්තලා ඉන්න කියලා හිතාගෙන හිටියට මෙන්න නැවතත් මගේ මූණු පොතේ පණිවිඩ අතරටත් අර කෙනා පණිවඩ එවනවා පරණ පුවත්පත් වාර්ථාවක්ද මොකක්ද දාලා.. හොඳ වෙලාවට ඒකේ අකුරක් නෑර ඉංග්‍රිසියෙන් තිබුනේ.. ඒ හින්දා හොඳට ගියා... ඒ වෙලාවේ මං තීරණය කරපු විදියටම අදාල කෙනාව මුණු පොතෙන් ඉවත් කරලා දැම්මා. මොකද මට තව දුරටත් මිතුරු මිතුරියන්ගේ ගොඩේ එහෙම කෙනෙක් තියා ගන්න උවමනාවක් නැති හින්දා...

...................................
දැන් තේරෙනවා නේද මං කොච්චර පහසුවෙන් මිනිස්සු තරහා කරගන්න දක්ෂද කියලා..? ඔන්න යකාගේ තරම.. ඇත්තටම හදිසියක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා තේරුම් ගන්න මිනිස්සුන්ට බැරි ඇයි කියලා මං කල්පනා කලා ඔය සිදුවීමෙන් පස්සේ... මිනිහෙකුට ලෙඩක් දුකක් කරදරයක් විපතක් කිව්වනං මං ඇර වෙන කෙනෙක් මේ වෙලාවේ ඒකට පිහිටක් උපකාරයක් කරන්න නැහැ වගේ තේරුනානං මේ මොහොතේම කර කර ඉන්න රස්සාව දාලා හරි රටේ අනිත් කෙරවලට ගිහින් හරි කෙනෙකුට උදව් කරන්න මං දෙපාරක් හිතන එකෙක් නෙවෙයි.. ඒත් මෙහෙම හදිසියක් කියලා කියන්න බැරි දෙයක් හදිසියක් කියලා ඉස්සරහට දැම්මම ඇත්තම හදිසියකදී මොකක්ද මිනිස්සු ඒකට පාවිච්චි කරන වචනේ..?

ඉතිං ඔය කතාව මට ආයෙමත් මතක් උනේ මේ තිස්ස අයියා දාපු අමුතු පන්නේ සින්දුව ඇහැවුව වෙලාවේ තමා... ඇත්තටම මං ඉන්න විදියෙන් මට හොද සින්දු මග ඇරෙන්නත් පුළුවන්..ඒත් ලේ කෝප කරගන්නවට වඩා මේ හැමදාම අහන ගීත ටික අහගෙන පාඩුවේ ඉන්න එක හොඳයි කියලා මට නැවත නැවතත් හිතෙන්නේ මෙහෙම වෙලාවට තමයි...

හරි ඔන්න මගේ හිතේ කේන්තිය ඉවරයි... ලොකු බරක් මං බිමින් තිබ්බා... තවත් කෙනෙකුට මේක හොය හොයා හිටිය ප්‍රශ්නයකට පිළීතුරක් වෙයි කියලත් මං දන්නවා.. උත්තරේ දැන ගත්තම ඇති..ආයේ ආයේ කතා කරන්න මට ඕන නැත...

10 October 2011

ජීවිතේ ගීතයක්..ඒ වගේම හීනයක්...

හරි ඔන්න අදත් දවසම පිස්සු ‍කෙල කෙල ඉඳලා අන්තිමේදී හිතුනා ලියන්න ඕන කියලා... ඒත් මොනවා ලියනවාද කියලා තාම අදහසක් නැහැ.. ඒ කියන්නේ ඔළුව හිස්.

ඒත් ලියන්න කියලා ගත්තාම මොනවා හරි ලියන්නම ඕන නැත්තං නිකං මොකක්ද මොකක්ද වගේ...

ඔන්න හරි දැන් මතක් උනා ලියන්න ඕන මොකක්ද කියලා... මං ඔය කිව්වේ ලියන්න හිතුනම ලියන්නම ඕන කියලා..නැත්තං මොකක්ද මොකක්ද වගේ කියලා අන්න එතනින් පටන් ගමු.

ලියන එක ඇබ්බැහියක් වෙලා තියෙන මං මේ ළගදී කියපු දෙයක් සමහර අය දන්නවා ඇති.. ඒ තමා මං අර බස් රේඩියෝවේ කතා බහ කරපු වැඩ සටහන..එතනදී මං කිව්වා මං මේ බ්ලොග් එක 500න් නවත්තන්න හිතං ඉන්න විත්තිය... ඔව් ඒක ඇත්ත... මං හිතන්නේ අමාරුවෙන් උනත් මං ඒක කරන්න ඕන කියලයි. ඒත් ඇයි ඒ..?

ඒකට හේතු කිහිපයක්ම තියෙනවා... එයින් එකක් තමා මං කිසිම දෙයක් කිසිම විදියකින් දීර්ඝ කාලයක් කරගෙන යන්නේ නැති එකෙක් වීම. මං මගේ ඇතුලේ තියෙන ඒ ගතියට හරිම කැමතියි.. හැබැයි මෙයිට අවුරුදු දහයකට විතර ඉස්සෙල්ලා කාලෙකදී මං මගේ තියෙන ඒ ගතියට අකමැති වෙලා හිටිය කාලයකුත් තිබුනා... මට ඒ දවස්වල කිසිම දෙයක් දිග කලක් කරන්න බැහැ... ඒක ගැන අපේ ගෙවල්වල උදවිය..මං දන්න කියන අය මට බොහෝම දොස් තිබ්බා.. ඒ අය විතරක් නෙවෙයි මමත් සමහර වෙලාවට හිතුවා ඇයි මං මෙහෙම වෙන්නේ කියලා...

ඒත් එදාට වඩා අද මං දන්නවා ඒ ගතිය තමා මාව ශක්තිමත් කරලා තියෙන්නේ කියලා... හුගාක් දෙනා බය වෙන හෙට දවස ගැන මං ඒ හැටි බය නොවෙන හේතුව ඒකයි... සමහරු හුගාක් බය මරණය කියන එකට මං ආදරය කරන්නේ ඒකයි... හුග දෙනෙක් ජීවිතය ගැන හිතන්න කල්පනා කරන්නේ නැතිව ජීවත් වෙන විදිය ගැන හිතද්දී මං ජීවත් වෙන්නේ ඇයි කියලා හිතන්නේ ඒකයි...

මට හෙට ගැන ඒ හැටි බය වෙන්න දෙයක් නැහැ..ශාරීරික දුර්වලතාවයක් අසනීපයක් ඇර වෙන ලොකු බලාපොරොත්තු රාශියක් මගේ ලෝකේ නැහැ... පැත්ත වැටිලා තද බල අසනීපයක් වෙනවා කියලා හරියටම දැනුන අන්තිම තත්පරේදී එකතු කරලා ලග තියන් ඉන්න සහ නිතර නිතර අළුත් කරමින් තියා ගන්න මගේ පෙති එකතුව එක පාරින්ම ගිලලා දාන්න ඕන කියන තීරණය අදටත් ඒ විදියටම තියාගෙන ඉන්න තරං මට හයියක් තියෙනවා... මරණය කියන දේත් තවත් එක වෙනස් වීමක් විතරක්ම වෙයි මට.. එච්චරයි ඕක ගැන ඒ හැටි බය වෙන්න ඕන නැහැ.මෙච්චර කාලයක් මේ ලොකේ මිනිස්සු අනිවාර්යයෙන්ම මුහුණ දුන්න දේට ඇයි මං විතරක් බය වෙන්නේ... ඒකත් මං දකින්නේ තවත් එක වෙනස් වීමක් ලෙස පමණයි...මෙච්චර කාලයක්ම වෙනස් වීම් වලින් නරකක් නොවුන එකේ ආයේ ඕකෙන් විතරක් නරකක් වෙන්න හැටියක් නැහැනේ...

මට තාමත් තියෙන්නේ ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නය විතරයි... හැම එකාම උපදිනවා.. අනිත් උන් කියන කියන හැටියට හැඩ ගැහෙනවා... අනිත් උන් වගේම එක්තරා ගමනක යනවා.. ඒත් ඇයි ඒ යන්නේ කියන එක ගැන දන්න අයවත් හිතන අයවත් හරි අඩුයි.. ඒ අයට තියෙන්නේ අම්මලා තාත්තලා පෙන්නලා දීපු පාරේ නොනවත්වා යන්න... සමහරු ඔය අස්සේ ආගම් දහම් අනුව හේතු හොයන අවස්ථා දකිතත් මට මෙච්චර කාලෙකට හම්බ උන කිසිම කෙනෙකුට ඒකට උත්තර හොයලා දෙන්න බැරි වෙලා තියෙනවා... සමහරු මෙතනට බුදු දහම ගෙනල්ලා හේතු දක්වයි.. ඒත් දැන් ඉන්න හුග දෙනෙක් මට ඒක අවබෝධ කරවලා දෙන්න තරං හැකියාවක් තියෙන අය නෙවෙයි. සමහර විට මං තාම ඒක අවබෝධ කරගන්න සුදානම් නැද්ද කියලානං දන්නේ නැහැ.. ඒත් තාමත් මට බැහැ... ඒකට හේතුව බණ කිව්වට ඇත්තටම තමන්ට ඒ ගැන අවබෝධය හරියටම නැත්තං එයා කොහොමද මට ඒක ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරවන්නේ..? දැනට තියෙන පොත පත හා ඒවායේ ඇතුලත් කරුණු හරහා ලබා ගත්ත දැනුම හරහා පර්යේෂණ කරමින් ඉන්න අයට නිෂ්ඨාවක් නොදැක තව කෙනෙකුට ඒ දේ කියා දෙන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ...මාර්ගය එකක් අවබෝධය එකක්... ඕක විවාදාත්මක කාරණාවක්..ඒක අපි පැත්තකින් තියමු.

මං කිව්වනේ මගේ ජීවිතේ යන්නේ වෙනස්වීම් එක්ක කියලා.. ඇත්තටම එදා නොදැකපු වටිනාකමක් මං ඒ තුලින් දකිනවා අද.. ඒ වෙන කිසිම දෙයක් නෙවෙයි මට බොහෝම ඉක්මනට අත අරින්න පුළුවන් කමක් තිබීම... කිහිපයක් දේවල් වලදී පමණක් අත ඇරීම කල් ගියත් එක්තරා තැනකදී මං ඒක අතඅරිනවා ආයේ ඒ ගැන කල්පනාවක් නැතිවම... මේ ලිපියට කලින් ලිවුව කවි පන්තිය අවසානෙදී මං කල්පනා කලේ ඇත්තටම තවමත් මගේ හිතේ ඒ කෙනාට ඉඩ තියෙනවද කියලා.. කවියක් හැටියට ඒක ලියලා ඉවර උනාට පස්සේ තමා මං තේරුම් ගත්තේ කවියකට හේතු පාඨයක් වීම හැර එයින් එහාට මගේ හිතේ එහෙම ඉඩක් නැති විත්තිය... ඒ තමා සාමාන්‍ය මගේ ස්වරූපය...

දන්න අය දන්නවා මං පහු ගිය කාලේ සෑහෙන කාලයක් කැප කලා නැති වෙච්ච ආදරයක් වෙනුවෙන් අඩන්න දොඩන්න.. සමහර විට කෙනෙකුට ඒ හරහා හිතෙන්න පුළුවන් මං ආදරය වෙනුවෙන් හැමදාටම දුක් වෙන මිනිහෙක් කියලා... ඇත්තටම අන්තිම සම්බන්ධතාවය වෙනුවෙන් මං දුක් වෙච්ච කාල සීමාව ටිකක් වැඩි උනත් ඔය මගේ පළමු වැන්නිය නෙවෙයි... මගේ මතකය නිවැරදි නම් ඔය 23 වැන්නිය හෝ 24 වැන්නිය... කලින් විස්සකට වඩා අත ඇරිය මට මොන හේතුවකට හරි මේ පාර ටිකක් වැඩි කාලයක් ඒ වෙනුවෙන් ගත උනා.. ඒත් අවසානයේදී මං අත ඇරියා... දැන් ඒක ඉවරයි.

මං මේ ටික කිව්වේ අත හැරීම ගැන මං සතුටු වෙනවා සහ අතඅරින්න බැහැ වගේ කියන ඒවා අත ඇරියා කියලා අවසානෙදි තේරුම් ගත්තාම හිතට දැනෙන නිදහස විඳින්න මං කැමතියි කියන්නයි. කිසිම දේකට ඕනවට වඩා ඇලිලා ඉන්න එක මහ දුකක්... මං ඒ දුකෙන් ඈතට දුවන්න ඕන...

බ්ලොග් එකත් එයින් එකක්... දැන් මට මේක ඇබ්බැහියක් වෙලා... ඒ හින්දා මං හිතන්නේ මං මේකෙන් ඈත් වෙන එක හොඳයි කියලයි. නැත්තං මේකත් තවත් එක බැඳීමක් විතරක් වෙයි... මෙච්චර දේවල් අත අරින්න පුළුවන් උන මට බ්ලොග් එකක් නිසා මගේ වෙනස් වීම නැති කර ගන්න ඕන නැහැ. ඇත්තටම මේක මට නොවටිනවා නෙවෙයි..ඒත් අත අරින්න බැරි තරමේ දෙයක් බවට පත් කර ගන්න තරම් වටිනවා කියන්නත් බැහැ...

ඔය තමා එක හේතුවක්...තවත් තියේ..

ඒ තමා පොතක් ලියන්න තියෙන කැමැත්ත... මට යන්තං කියවන්න පුළුවන් උන කාලේ ඉඳලම මං හුඟාක් කියෙව්වා... නැති වෙච්ච මහප්පගේ අල්මාරිවල තිබුන පොත්... ලොකු අම්මා ඉස්කොලේ පුස්තකාලෙන් ගේන පොත්.. මහප්පලගේ දුවලා ගෙනල්ලා දෙන පොත්... ටිකක් ඈතින් තිබුන මාමා කෙනෙක්ගේ ගෙදර තිබුන පත්තර චිත්‍රකතා පත්තර... ඊට පස්සේ ඉස්කොලේ පුස්තකාලවල පොත්... එක පාරක් මං පුස්තකාල තුනකට බැදිලා හැමදාම පොත් තුනක් ගෙනත් පහුවදාට ඒ තුනම කියවලා ගිහින් දීලා තව පොත් තුනක් ගෙනාව කාලයක් තිබුනා...

මං ඉස්කෝලේ ගියා ඇර බාහිර පන්තිවලට ගිහින් තියෙන්නේ ජීවිතේටම මාස ගානක් විතරයි.. ඒ නිසා මට කියවන්න ඕන තරම් කාලය තිබුනා..හයේ පන්තියෙන් වගේ පස්සේ මං කවදාවත් ගෙදර වැඩ කරං ගිය ළමයෙක් නෙවෙයි..ඒ වගේම ගෙදර වැඩ පොත් බලන වෙලාවට කොහොම හරි ගැලවිලා ඉන්න පුළුවන් කමකුත් තිබුනා... ඒ හරහා හැම තත්පරයම මට කියවන්න පුළුවන් උනා... අද මට ඒ පොත් ඇතුලේ තිබුනේ මොනවද කියලා මතකයක් නැතත්.. ඒවායේ නම්වත් හරියටම මතක නැතත් මං හිතන්නේ මට අවුරුදු 14ක් විතර වෙනකොට මමං ඒ වෙනකොට නිකුත් වෙලා තිබුන රුසියානු පරිවර්ථන පොත් සියල්ලම පාහේ කියවලා තිබුනා යුද්ධය හා සාමය පොත් කට්ටලය ඇර.. ඒක කියෙව්වේ මං ත්‍රීවීල් එක හයර් කරන කාලේ.. ඒ ඇර මට පොතක් අතෑරුනානං එහෙමත් එකක් තමයි... එහෙම එක පොතක් පස්සේ එළවලා එළවලා මේ ඊයේ පෙරේදා අල්ලගත්තා...
සයිමන් නවගත්තේගමගේ පොත් කියවන්න ගත්ත කාලේ මං ඒවායේ තිබුන සමහර දේවල් ගැන මේ ලොකේ දෙයක් දන්නේ නැහැ.. තනිකරම කුණුහරප වගේ.. ඒත් කියෙව්වා... අවසානෙදී අවුරුදු 17න් පසුව මගේ කියවීම සීමා උනා... ඒත් එක හීනයක් ඇතිව.. ඒ තමා මං පොතක් ලියන්න ඕන කියන එක...

පොත් කියවන හුග දෙනෙකුට මේ හීනය තියෙනවා කියලා මං දන්නවා.. ඒ වගේම හීනය තිබුනට ලියන්නේ එයින් බොහෝම අඩු පිරිසක් විතරයි කියන දේත් පේන්න තියෙන දෙයක්.. ඇත්තටම ලියන්න ඕන කියලා හිතුනට මොකක් ලියනවද කියලා මට තේරුමක් තිබුනේ නැහැ.. කොටින්ම ලියන්නේ කොහොමද කියලවත් මට තේරුමක් තිබුනේ නැහැ... වතාවක් දෙකක් එහෙම ලියන්න උත්සහ කලත් එක පාරක් මා අතින් ලිය උනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වගේ එකක්..ඒ කිසිම දෙයක් ඒ හැටි දුර ගිය ඒවා නෙවෙයි..ඒත් පස්සෙන් පහු කාලෙක මේ බ්ලොග් එක ලියන්න ගත්තට පස්සේ තමා මට යන්තම් තේරුනේ මං දැකලා තියෙන්නේ මට ලොකු වැඩි හීනයක් කියන එක.. ලියන එක ලේසි නැහැ...

ඒත් කාලයත් එක්ක මං ඔහේ මොනවා හරි ලියන්න පෙළඹුනා.. පෑනකින් කඩදහියක ලියනවා වගේ නෙවෙයි මෙතනදී මට ලොකු පහසුවක් තියෙනවා තාක්ෂණික අතින් ලැබුන ඒ පහසුවත් එක්ක මං අදටත් ඔහේ ලියනවා.. ඒත් දැන් මට තේරෙනවා මං ඒ ඔහේ ලියන එක අඩු කරලා ලියන දේ පිළීවෙලක් කලොත් හොඳයි කියලා... ඒත් මේක මේ විදියට ලියන තාක් කල් මට මං ලියන එකේ අඩුපාඩු හදා ගන්න වෙන්නේ නැහැ... අක්ෂර වින්‍යාසය..ව්‍යාකරණ නීති රීති වගේ දේවල් ගැන මගේ අවධානය එන්න එන්නම දුර්වල වෙනවා.. ඒ මේ නිදහස් ලිවීම හරහා... ඒ විතරක් නෙවෙයි හිතට එන දේ අමු අමුවෙම ලියලා දැම්මම ගොඩාක් දිග කතාවකට ගන්න පුළුවන් කතා වස්තු නිකංම එළියට විසිවෙලා අමු අමුවට මැරිලා යනවා.. කිසිම දෙයක් හිතේ පැහැවන්න ඇරලා පදම් කරලා කලාවකට අනුව එළියට එන්න කාලයක් නැහැ... ඒක හරියට සකස් නොකරපු කුඹුරක වී ඉහිනවා වගේ දෙයක්... පැලවීමේ ප්‍රතිශතය සීයයට එකකටත් අඩුයි..

දැන් මට ඕන මේ දේවල් ටික හදා ගන්න... දැන් මාස ගානක ඉඳන් මගේ නොවන කතා කිපයක් මගේ ඔළුව ඇතුලේ කැරගෙනවා... මට දැන් ඒ ටික පිළීවෙලක් කරන්න ඕන..මගේ ඊ ළග උත්සහය හරියන්න හරි වරදින්න හරි ඒ දේ කරලා බලන එක... ඒක කරන්නනං මං ඔළුව ඇතුලේ තියෙන දේ පදම් කරන්න පටන් ගන්න ඕන..මේ බ්ලොග් එක ලියන තාක් කල් මට ඒක කරන්න වෙන්නේ නැහැ... ඉස්සර තිබුනේ නැති තරං වේගයකින් ලියන්නත්.. බය නැතිව ලියාගෙන යන්නත් මේ බ්ලොග් එක හරහා මට සෑහෙන පුහුණුවක් ලැබුනා..දැන් මං ඒක හරි විදියට සකස් කර ගන්න ඕන කාලේ.. ඒ හින්දාත් මං මේක නවත්තන්න ඕන...

සමහර විට මං පොතක් තියා කවියක්වත් නොලියා ඉන්නත් ඉඩ තියේ ඒ මගේ හැටි... ඒත් පොඩි උත්සහයක් දැරුවට කමක් නැහැනේ... මොකද ඔය පොත් ලියන හීනේ වගේම තමා තවත් තිබුන හීනයක් උනේ දඟ පන්දු යවන්නෙක් වෙන්න.. බොරු කියන්නේ මොකටද කොල්ලෝ හුගාක් දකින හීනේ..ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරන්න..මගේ කැමැත්ත තිබුනේ මුරලිගේ තැනට.. හිනාත් යනවා නේද..? ඒත් ඒක ඇත්තම කතාවක්... අදටත් ලෙදර් බෝලයක ගානට සරිලන තරමක් බර තියෙන ඕනෑම දෙයක් අතට අහු උන ගමන් ලගම තියෙන පොලව මත ඒක දඟ කවන්න මං පුරුදු වෙනවා.. කොටින්ම කිව්වොත් මේ ඉස්සරහා තියෙන ෆැෂන් වැලේ ලොකු ගෙඩි එකක්වත් ඉදෙන්න තියන්නේ නැත්තෙත් ඒ පුරුද්ද හින්දයි.. ඉස්සර ගෙදර තිබුන ජම්බෝල ගහේ ගැට ටික ඉවර කරන්නෙත් ඒකටම තමා.. ඒත් ඒක හීනයක් විතරයි... කොයි තරං දඟ කවන්න පුරුදු උනත් ඒක ඉස්සරහට ගෙනියන්න තියෙන මාර්ගයේ යන්න මට අවස්ථාවක් තිබුනෙත් නැහැ.. මං ඒ හැටි ඒ වෙනුවෙන් කැප උනෙත් නැහැ... දැන්නං මට ලෙදර් බෝලයක් සල්ලි වලට අරගෙන පුහුණු වෙන්න පුළුවන් නේද කියලා මතක් උනෙත් මේක ලියනකොටයි.. ඉස්සර කොහෙන්ද ඕවට සල්ලි වියදම් කරන්නේ... මං චිත්‍ර අඳින්න ආස උනත් චිත්‍ර විෂයක් හැටියට තොර නොගත්තේ ඒවාට ඕන උපකරණ ගන්න සල්ලි හොයාගන්න බැරි විත්තිය දන්න හින්දයි.. අන්තිමේදී මෙලෝ හසරක් තේරෙන්නේ නැති සංගීතයක් කරලා සාමාන්‍යපෙල සහතිකයට එකතු උන එකම එෆ් අකුර එකතු උනෙත් ඒ කරපු දෙයින්ම තමා... ඕවා පරණ කතා..දැන් මොකටද..?

හරි කොහොම උනත් මං මේ බ්ලොග් එක 500 වැනි පෝස්‍ට් එකෙන් පස්සේ නවත්තනවා.. ඒත් මාස තුනකට එකක් හැටියට පෝස්ට් එකක් වැටෙවී..මොකද සින්ඩිවල තව ටික කාලයක් මේක තියෙන එක හොඳයි කියලා මට හිතෙන හින්දා... සමහර විට අත ඇරලා දැම්මට පස්සේ එහෙමවත් නොලියන්නත් ඉඩ තියේ... ඒ තමා මං.. කවදාවත් කිසිම දෙයක් එක විදියකට කරන්න බැරි උන මං...ඉස්සරහටත් එහෙමම වෙන්න කැමති මං.. එහෙමම ඉදලා මැරිලා යන්න කැමති මං...

ඔන්න අන්තිමේදී මං මොනවා හරි ලිව්වා..අගක් මුලක් නැති උනත්..එකකට එකක් විරුද්ද අදහස් තිබුනා උනත් ඔය තමා ලිය උන ටික...හා දැන් ඇති...

07 October 2011

සුන් බුන්...

වියැළී ගොසින් පදවැල්වල සිහිල් සුව..
අමතක මතකයක ගිලිහී පද විසිර..
සුව නැති සිහිනයක් දකිනා අතර මග..
තවමත් සිතක හැටි නොදනිමි මා සබඳ..

දුටු මුත් දිනක යනෙනා මග අතරතුර..
නොදුටූ ලෙසින් පා තබනා අයුරු දැක..
නොනැඟුන නමුත් දුක් කඳුළක් මා නෙතඟ..
සැනෙකින් හදෙහි ගිනි දළු මතු විනි එසඳ..

කලකින් නමුත් සිහියට එන විට වරෙක..
තවමත් සිතෙහි කොනකින් නුඹ ඇත සැඟව..
හැරදා ගියත් පෙර දිනයක නුඹ එලෙස..
මගෙ හදවතෙහි නුඹ නමිනුත් ඉඩක් ඇත..

මෙන්න එහෙනං රාහු...

ආයේ මට අමුතුවෙන් කියන්ට දෙයක් ඉතිරි කරලා නැහැ..කලින් මං දාපු ලිපිවලදී හුඟ දෙනෙක් රාහු ගැන විස්තර කියලා තිබුනා...ඇත්තටම ලේසියෙන් කෙනෙකුට අමතක නොවෙන යාළුවෙක් තමා රාහු කියන්නේ... ඒ තරමට අපූරු හාදයා...

මේ රාහුගේ රඟ කොහොමද කියලා හිතා ගන්න පහසු වෙන්න පොත පතේ මෙයාට දීලා තියෙනවා රූපයක්.. ඒ රූපේ හැටියට රාහු කියන්නේ බොහෝම දිග කකුල් තියෙන උස හාදයෙක්... ඒත් අපූරු වැඩේ තමා උන්දැට මේ අපිට වගේ මිනිස් හිසක් එහෙම නැහැ..තියෙන්නේ නාග හිසක්... මෙතනින් පෙන්නුම් කරන්නේ රාහු ඇවිල්ලා ඇවිදින්නම උපන්න ගොයියෙක් කියලයි.. කකුල් දෙක දිගට දිගේ විතරක්නං බැරියෑ.. අස්සයෙක් උඩ නග්ගලා තමා රාහුව තියලා තියෙන්නේ... අස්සයට බ්රේක් තියෙනවා කියලයෑ...

ඒ ඔක්කෝමත් හරි මනුස්ස ඔළුවක් නැති කමින් පෙන්නන්නේ රාහුට කිසිම සිහි කල්පනාවක් නැති විත්තියයි... ඒ හැටි දුර දිග නොහිතන.. කන බොන දේක රහක් ගුණක් ගැන දැනුමක් නැති.. කිසිම දෙයක් නිවී හැනහිල්ලේ කල්පනා නොකර මහ ගුස්ප චරිතයක්...

ඉතිං අපි මේ රාහු ලැබුන කෙනෙක්ගෙනුත් ඔය ටිකම තමා වැඩියෙන් දකින්නේ...

යන්නේ එන්නේ කොහේද කියලා දන්නෙත් නැතිව ගමන් බිමන් යන.. යන එන ගමන්වලින් ඒ හැටි පලයක් නැති..එක තැනක ඉන්න හිත් දෙන්නේ නැති.. වැඩිහිටියෙක්..ගුනවතෙක්.. දැනුමැත්තෙක් කියන කිසිම දෙයක් අහන්න සූදානම් නැති... ඕන දේකට වාද විවාද කරහින් ඉන්න.. තේරුමක් නැතිව කේන්ති ගන්න.. රණ්ඩු සරුවල් වලට යන.. ආගම් දහම් වලට බැන බැන ඉන්න... පන්සලක් පල්ලියක් හතර මායිමට ගෙනියන්න අමාරු... ගති ලක්ෂණ තමා එහෙම රාහු මහ දසාවක් ලැබුන අයගෙන් ප්‍රකට වෙන්නේ...

ඒ වගේම තමා රාහු තරං අධ්‍යාපනයට හරස් කපන තව එකෙක් නැති තරං.. මොකද සෙ‍නසුරත් අධ්‍යාපනයට බාධා කලාට ඔය ගුප්ත සාස්තර..එතනින් ගියහම සාහිත්‍යයට බර දේවල්වලට.. පුරා විද්‍යාව.. ප්‍රාචීන භාෂා සාස්ත්‍ර වගේ දේවල්වලට පොඩි සප් එකක් දෙනව මං හුග වෙලාවකට දකිනවා.. එතනින් ගියහම සිකුරත් ඔය අධ්‍යාපනේට ගේම දෙන ජාතියේ හාදයෙක්.. මොනවා එහෙම කිව්වම ටිකක් අවුල් ගියා වගේ නේද..? ඔව් කවුද හිතන්නේ සිකුරුගේ නරක තියේ කියලා.. ඔව් ඇත්තටම සිකුරුත් බොහෝම වෙලාවට අධ්‍යාපනේට පොඩි ගේමක් දෙනවා.. හිතලා බලන්නකෝ යසට ඉගෙන ගෙන යන එහෙකුට මගුල් විසේ ඉහට ගැහුවම මොකද වෙන්නේ කියලා.. ආන්න ඒ විදියටම තමා නිසංසලේ ඉගෙන ගන්න ළමයෙකුට විනෝදාත්මක දේට යොමු වීම වැඩි උන ගමන් එතනත් වෙන්නේ අධ්‍යාපනයට හරස් කැපෙන එකම තමයි.. ඒත් මං කිය කිය හිටියේ සිකුරු උනත් කලා කටයුතු වලට නිර්මාණශීලී විෂයන්ට ලොකු තල්ලුවක් දෙනවා..ඒත් රාහු..ම්හූ.. ලේසියෙන් දෙයක් දෙන්නේ නැහැ...

හැබැයි දැන් හිතන්න එපා රාහු නොදෙනවමයි කියලා... රාහු දෙන වෙලාවල් තියේ..ඒ දෙනකොට දෙන්නෙත් කානුවට දාලා පෙරලගෙන හොම්බට ඇන ඇන තමා... මදි නොකියන්නම දෙනවා.. හැබැයි රජෝ කොච්චර දුන්නත් ඒක නිකං ණයට ගත්තා වගේ වැඩක්..ඒ කියන්නේ රාහු මහ දසාවේ මුලදි මැදදි දෙන දේවල් දසාවේ අගදී හෝදගෙන පිහගෙනම යනවා... එහෙමත් කෙනෙක් තමා රාහුගෙන් ලැබුන දෙයක් පරිස්සං කර ගන්නේ... ඔය උත්පත්තියේදී රාහු උච්ච වෙලා එහෙම හිටියොත් රාහුගේ පොඩි හොඳක් දෙන අවස්ථා තියේ.. ඒ වගේම තමා උපතේදී රාහු නව වැන්නේ හරි එහෙමත් නැත්තං එකොලොස්වැන්නෙහි හරි තරමක් හොදින් හිටියනං ආන්න ඒ අයට රාහු මහ දසාව ගුණදායකයි.. එතකොට ගෙවල් ඉඩං යාන වාහන දීලා බොහෝම සතුටින් ‍ඉන්ට සලස්සනවා.. ඒ වගේම වන්දනා ගමන්..විදේශ සංචාර.. එහෙමත් දෙනවා වගේම දේසපාලනය කොරන කෙනෙක් එහෙමනං එක පාරට ප්‍රසිද්ධ කරවලා මැති ඇමති තනතුරු හිටං අරං දෙන්ට මේ රාහුට හයිය හත්තිය තියේ..හැබැයි මතකනේ..දුන්නා වගේම ගන්නවා කියලා.. එහෙම දිනලා තනතුරු නම්බු නාම ගත්ත අය දසාව අවසානේදී නිකංම නිකං බලු කුක්කෝ වගේ පීචං වෙලා පැරදිලා ගෙදර යන්නේ ආයේ ප්‍රසිද්ධ සමාජෙට එන්නවත් තැන නැති කරගෙන...

එතකොට රාහු ගැන පොඩි පැහැදිලි අදහසක් කට්ටියට එන්න ඇතිනේ..? රාහු කියන්නේ වද දෙන කරදර දෙන..ලෙඩ දෙන.. වාත අමාරු හදවන.. ඇවිද්දවන හාදයා... එක තැනකට වෙලා ඉන්න වෙනවනං එහෙම වෙන්නේ අතක් පයක් කඩලා බෙහෙත් කරවන්න තමා.. එහෙම නැත්තං බඩට කන්න ටික නැතිව ආතක් පාතක් නැතිව ඇවිද්දවනවා...

ඒ වගේම දෙන්න ගත්තොත්.. හදිසි ධන ලාභ.. ඒ කිව්වේ ඔය ස්වීප් ටිකට් එහෙම ගොඩදාලා දෙනවා.. විශේෂයෙන්ම සූදුවට හොඳම හාදයා තමා රාහු.. රාහු බලවත් අයට අස්ප රේස් එහෙම හොඳට අල්ලලා යනවා.. හොඳ බූරු කප්පිත්තෝ වෙන හුග දෙනෙක්ගේ රාහු බලවත් වෙලා තියෙන හැටිත් මං දැකලා තියේ...

රාහුගේ තවත් අපූරු හැකියාවක් තමා මිනිස්සු හදිසි කසාඳ වලට පටලෝන එක... මේ ජීවිතේට නොබඳින උන්දලවත් අවුරුදු හතලිස් පණස් ගණන්වලදී හිටං කසාද බන්දන්න මෙයාට පුදුම හැකියාවක් තියේ.. සමහර ඉගෙන ගන්න ළමයි හිටං රාහුගේ සිකුරු අතුරු දසාවක් ලබලා ටික දවසකින්ම ඉගෙන ගන්න එක නවත්තලා දාලා කසාද බදින අවස්ථා කිහිපයක්ම මං අත්දැකලා තියේ.. ඕක රාහුගේ සිකුරු අතුරු දසාව වගේම සිකුරුගේ රාහු අතුරු දසාවෙදිත් තදින් දකින්න ඇහැකි දෙයක්.. හැබැයි ප්‍රධානම කාරණාව තමා එහෙම කෙරෙන විවාහයන් ඒ හැටිම සාර්ථක නැති වෙන එක... ඒත් කොහොම හරි පටලෝලනං දෙනවා...

ඊ ළගට නරකම දේ තමා ඔය රාහු මහ දසාවේ සෙනසුරු අතුරු දසාව... ගෙදරින් පන්නලා නවතින්නේ නැහැ..සමහර වෙලාවට රටෙනුත් පන්නලා දානවා... උපන් තැන ඉන්න එක ලේසි නැහැ.. ඔය බෝඩිං වෙලා එහෙම ඉන්න අයටනං මේක ඒ හැටි අවුලක් නැහැ... එහෙම නැතිව ගේ ඇතුලටම වෙලා හිටිය ළමයි හුග දෙනෙක් ගෙවල් වලින් පාරට අඩිය තියන්නේ ඔන්න ඔය කාල වලදී තමා..රාහුගේ සෙනසුරුත් එකයි..සෙනසුරුගේ රාහුත් එකයි.. දෙන්නම මිනිහෙකුට දෙන්න තියෙන උපරිම වද දෙනවා...

මොලේ කල්පනා කරලා වැඩ කරනවනං රාහුගෙනුත් වැඩ ගතෑකි... ටිකක් කල්පනා කරලා බලන්ටකෝ...