කාලෙකට පස්සේ අපේ පරණ බ්ලොගයක් ආයේ පණ ගහලා ඇවිත් තියෙනවා දැක්කා.. ඒත් එක්කම මට මතක් උනා පහු ගිය දවසක මං ලියන්න කියලා හිතං හිටි..ඒත් මට අමතක උන කාරණාවක්..ඉතිං අපේ මිත්තර
මගේ මරණය උන්නැහේටත් පින් දීලාම ඒ කතාවත් ලියලා දාන්ට කියලා කල්පනා කොලා...
මේක සිද්ධ වෙලා වැඩි කාලයක් නැහැ..දැන් සති දෙකක් විතර ඇති...
කස්ටිය දන්නවනේ පහු ගිය ටිකේ මං හිටියේ සංසාරෙයි චක්රාවාටෙයි මන්දාකිණියි ඔය හැම දේ ගැනම කලකිරිලා කියන කාරණේ..ඒකට හේතු උනේ මගේ ජීවිතේ තිබුන නිදහස මට නැති වීම කියන කාරනාව තමා...
මං ඉතිං පහුගිය කාලේම ගත කලේ කුරුල්ලෙක් වගේ නිදහසේ නෙව..ඒත් හදිසියේ හිතිලා පටන් ගත්ත වියාපාරික කටයුතුත් එක්ක මාව නිකං කරකෝලා පොලොවේ ගැහැවුවා වගේ උනා...
ඔන්න දවසක් උදේ 8 ට යනවා වැඩට..පහුවදා උදේ 8 වෙනකල් එතන වැඩ..පහුවදා උදේ 8ට ඕෆ් උන ගමන් ආයේ එහෙමම යනවා මගේ වියාපාරික ස්ථානෙට..එතනට වෙලා වැඩ කරනවා හවස හය පහු වෙනකල්ම..ඊට පස්සේ යනවා මගේ බෝඩිං කාමරේට...ගිහින් නාලා කරලා යන ගමන් ගෙනිච්ච මොනවා හරි ගිලලා ආයෙමත් නෙට් එකට ඇවිල්ලා දවල් දවස තිස්සේ ලියපු මේල් ආයෙම වතාවක් චෙක් කොරලා වැරදි හරි ගස්සලා ඒවා මේල් කරනවා.. ඊට පස්සේ ජාලේ තුල එහෙ මෙහෙ සැරිසරලා රෑ 1 ට 2ට විතර දොයියනවා..ආයෙම උදේ නැගිටලා ලෑස්ති වෙලා වැඩට යනවා..
ඕක නිකං රෝදයක් කැරකෙනවා වගේ වෙලා තිබුනේ...මට එපා වෙලා හිටියේ...
ඒ වැඩ පිළීවෙල ඇතුලේ ආර්ථික තත්වෙනං හොඳටම හොඳයි..ඒත් වියදමත් එහෙමම තමා...පළමු මාසේ ඇතුලත මං පහුගිය කාලේ හෙව්ව ගාන වගේ තුන් ගුණයත් පන්නලා හෙව්වයි කියමුකෝ... ඒ වගේම තමා මගේ වියදමත් තුන්ගුණයකින් වැඩි උනා...මං හොඳට අඩියක් ගහලා ආතල් එකේ ගත කරපු කාලෙත් මගේ වියදම මෙහෙම උනේ නැහැ. හැබැයි ඒ දවස්වල මං හොඳට උයා පිහාගෙන කාලා හරි සංතෝසෙන් හිටියා නෙව..
ඒත් ඒකටත් එක්ක දැන්... උදේට කෑවේ එක තැනකින්..දවල්ට තවත් තැනකින්..රෑට වෙනම පොට් එහෙකින්..තෙල් මිරිස්..මිරිස් තෙල්... රහක් ගුණක් මෙලෝ දෙයක් නැහැ...කොයි වෙලෙත් අප්පිරියාවෙන් වගේ ඉන්න වෙලා තිබුනේ..මං ටිකක් කඩ කෑම වලට ආසා තමයි..ඒත් ඒක තුන් වේලම මාසේ දවස් 30ම කරන්න උනහමනං එපාම වෙලා යනවා..
ඉස්සර වගේ බත් ටිකක් උයලා..පොල් සම්බෝලයක් හදලා කරවල කෑල්ලක් තෙල් දාගෙන කන්න...
අලයි, හාල්මැස්සොයි, තක්කලියි,මාළු මිරිසුයි එකට දාලා හොඳට හොද්දක් හදලා හොඳට කලමනා දාලා බිත්තර ඔම්ලට් එකක් දාලා..රතුළුණූ..අමු මිරිස්..දෙහි ඇඹුල් ටිකක් වැඩි කරලා ගොටු කොල සම්බෝලයක් හදලා..පපඩමකුයි මිරිස් කරල් දෙහෙකුයි බැදලා දමලා අරින්න..අනේ..ඕවා මතක් වෙනකොට පපුව වාවන්නේ නැහැ...
කොටින්ම මේ දවස්වල එළවළු කඩ ගාවින් යද්දී ඒවායේ අර ලස්සනට අහුරලා තියෙන එළවළු ජාති..පලා මිටි..ඒ මදිවට මේ දවස්වල කඩ බක්කිවල නෝකොල් රාබු එහෙම හරි ලස්සනට අහුරලා..මං ටික දවසක ඉඳන් ඔය ජාති දෙක කන්ට මනාපෙන් උන්නේ..ඒත් කොහේද..අපිට ඕන දේවල් හදනවයෑ කඩ කාරයෝ..හැමදාම අල තෙලට..පරිප්පු මිරිසට..බෝංචි තෙලට..මාළු මිරිසට...ඉතිං කඩවල්වල එළවළු දකිද්දී එහෙම ඇඩෙන්නේ නැති ටික විතරයි..කොහොම හිටිය කොල්ලටද මෙහෙම උනේ...?දුක්ඛිතයි...
ඔව්ව ඔය දේවල් හින්දා තමා අවසානෙදි මං තීරණය කලේ මං මට උයාගෙන කාලා ඉන්න ඇහැකි තැනකින් කාමරයක් ගන්න ඕන කියලා..එහෙම හිතලා එක දවසක් උදේ මං බයිසිමොටෝ එකත් අරන් පාරට බැස්සේ..අදනං හරි හමන් තැනක් හොයාගෙන මිස ආපහු නොඑමි කියලා මටම කියාගෙන...
ඉතිං ඔන්න මං දැන් පාරක් පාරක් ගානේ ඇවිදිනවා...හෝටල්..තේ කඩ..සැලුන්..පත්තර ලෑලි..එළෝළු කඩ..ඔය වගේ තැන් වලින් වගේම ත්‍රීවීල් පාක්වල ඉන්න උන්දලගෙනුත් අහ අහ මං වරුවක්ම ගත කොලා..ඒත් තැන් හත අටක් බැළුවත් මගේ ගානටයි..මගේ හිතටයි අල්ලන තැනක් හම්බ වෙන පාටක් නැහැ..ඔහොම ඉද්දී තමා මං මගේ බයිසි මොටෝ එක මේ පැත්තේ තියෙන නිවාස යෝජනා ක්‍රමයක් ඇතුලට හැරෙව්වේ...
ඒ කැරකුනත් පැයක් විතර යනකල් මට කිසි සතුටුදායක මෙව්වා එකක් නැහැ...
ඔහොම ගෙහුන් අන්තිමට ඒ නිවාස යෝජනා කොරමයේ ඇතුලේ ත්‍රීවීල් පාක් එහෙක බුවෙක්ව අල්ලගෙන පොඩි කතාවක් දැම්මා..මෙන්න බොලේ බුවා තමුන්ගේ තුන් සකේ එතනම තියලා මගේ බයිසි මොටෝ එකේ එල්ලුනා..හරි අයියා යං අපි හොයමු කියලා..ඒ අම්මේ බුවාට හයර් එහෙකුත් ආවා..මෑන්ස් එකත් තව පොරකට පංගාර්තු කොරපුවාම මං දැන ගත්තා මේ හොඳම මස්ටමේ අතරමැදියෙක් එහෙමත් නැත්තං තැරැව් කාරයෙක් අර හිංගලෙන් කියන විදියට බ්‍රෝකර් බුවෙක් තමා කියලා...
ඒත් කමක් නැහැ..මගේ වැඩේ හරියට කෙරෙනවනං බ්‍රෝකර් කෙනෙකුට ගානක් ගෙව්වත් මොකෝ කියලා මං දැන් පොරවත් දාගෙන යනවා තැන් දෙක තුනක් බලන්ට..ම්හූ..ඒ ගියාට පොර ඒ හැටි සමර්ථයෙක් නොවන වගනං මට පැහැදිලි උනා.. පොර එක්කං යන තැන්වල බුවාලා පොරව දන්නෙත් නැද්ද මංදා...
මේක හරියන මඟුලක් නෙවේ වගේ හින්දා මං කිව්වා අපි යං මේක අල්ලලා දාලා පස්සේවත් බලමු කියලා..ආන්න ඒ වෙලාවේ මෑන්ස්ට තේරුනා දැන් පොරගේ කාල සීමාව ඉවරයි කියන එක..ඒ ගමන මෑන්ස් ආපහු මගේ ෆෝන් එකත් ඉල්ලගෙන කෝල් එකක් දුන්නා කාටදෝ මංදා...
"අලෝ.. රොනී අංකල්..මං මේ කතා කරන්නේ සුරංජිත්..ඔව් ඔව් පාක් එකේ සුරංජිත් තමා...මේ පොඩි වැඩකට..මේ එක්කෙනෙක් ගෙයක් හරි කාමරයක් හරි හොයනවා..පොඩ්ඩක් හොයලා දෙන්නකෝ මං දැන් එයාව එක්ක එන්නං අහවල් කඩේ ගාවට...මොනවා හරි කරමු.."
ඔන්න ඔහොම කියලා මාව එක්ක ගියා පොට් එහෙකට..
මෙන්න කොහේදෝ කඩයක් අස්සේ ඉඳලා ආවා මෑන්ස් කෙනෙක්..වයස 55ක් 60ක් විතර ඇති..කළුයි..අඩි පහක් විතර උසයි..කඳ ටිකක් මහතයි... ඉපැරණි කුරුළෑ වලවල් ටිකක් එහෙම මුහුනේ තියෙන ටිකක් මාළු මුදලාලි ටයිප් එකේ ලොක්කෙක්..අතේ පොඩි දින පොතක්...අනිත් අතේ අර පරණ කාලේ තඩි ඔරලෝසුවක්...පරණ කාකිපාට දිග කලිසමයි..උඩ සාක්කුවක් තියෙන ටිකක් පරණ වෙච්ච ටී ෂර්ට් එකයි..ගෙවිච්ච හං සෙරෙප්පු කුස්ටමයි දාගෙන... ඇස් ටිකක් ගිලිලා.. කොණ්ඩේ ඩයි කරලා ඒත් ඩයි පාර සේදිලා... කකුල ටිකක් නුහුරට තියලා ඇවිදින ගමන් ඇස් දෙක වට පිට හැම තැනටම යන ගතිය...
"රොනී අංකල්..මේ අයියාට තමා මේ පොට් එකක් හොයන්නේ..මාත් දන්න කියන තැනක් දෙකක් බැළුවා..ඒත් සැටිස් නැහැ..අංකල් පොඩ්ඩක් බලන්නකෝ.." කියලා මාව අර පුද්ගලයට අදුන්නලා දෙන ගමන්
"අයියා මේ අංකල් හොඳ පොට් එකක් හොයලා දෙයි බය වෙන්න දෙයක් නැහැ.." කියලා මටත් කියපි...
ඒ අස්සෙම අංකල් බුවා මගේ අතකින් අල්ලගෙන..
" මොනවද ඕන..ඕන දෙයක් කියන්න..ඕනම තාලෙක ගෙයක්ද කාමරයක්ද..මොනවා උනත් හොයලා දෙන්නං..කිසිම අවුලක් නැහැ..මේ පැත්තේ මං තමා ඔය දේවල් බලා ගන්නේ..මේ වෙන කොට මං ගාව තියෙනවා ගෙවල් දෙසීයකට වැඩිය..මං කියන විදියට තමා ඒවා කුලියට දෙන්නේ.."
හම්මේ පාරට්ටුව..අහං ඉන්න කම්මැලි කොමක්නං නැහැ..
ඒ අස්සෙම මාව එක්ක ආව බුවයි..අංකල් කාරයයි තව කතාවක්..මට තේරුන හැටියට කලින් දෙන්නත් එක්ක කරපු ගණු දෙනුවක් ගැන..අංකල් බනිනවා..
"ඒ ජාතියේ එවුන් එක්ක එන්න එපා බං..බලහං ඌ ගියේ අපි දෙන්නවත් කොටවලා..අනිත්මට අපිට සල්ලිත් නැහැ..යාළු කනුත් නැහැ.."
ඔය කතාව ඒ වෙලාවේ මට හරියටම මීටර් උනේ නැතත් පස්සේ දවසක තමා හරියටම මීටර් උනේ...
ඒත් ඉතිං මගේ වැඩේ කෙරෙනවනං මගේ මොකද..? දැන් ඔන්න මං අංකල් රොනී වත් දාගෙන යනවා මට උයං කන්න ඇහැකි තැනක කාමරයක් ගංට බලන්ට...ඒ යන අතරෙම අංකල් උන්නැහේගේ හැකියාව අඩු නැතිව කියවනවා..
අන්තිමට ඔන්න අපි ගියා තැනක් බලන්ට.. ඒක කාමරයක්..දිග අඩි 8යි පළල අඩි 5යි..මල කෙලියයි..ඊට හොඳා හිරේ යනවා...එලියේ පැත්තක උයන්ට ඇහැකි වගේ..පැත්තකින් නා ගන්ට ෂවර් එහෙකුත් තියේ...අපි ඒ ගෙදරට යනකොටම ආවේ නැද්ද කාන්තා පරාණයක්..වයස 50ක් විතර ඇති..ඒත් දන්නවනේ අර වෙන්ට ලමිස්සියෝ ඉන්නේ ආං එහෙම කෙනෙක්...
"හානීඊඊඊ..රොනීඊඊඊඊ පලාන්ටකෝ අනීඊඊඊ..ඔයා මට මීඊඊ කාවද ගෙනාත් දැම්මීඊඊඊ..ඔයා කවදද එයාව මිහින් යවන්නීඊඊඊ අනීඊඊඊඊ.."
මල විකාර කෝටියයි...බැළින්නං දැනටත් ඒ කාමරේ එකෙක් ඉන්නවා..ඒත් අරුන්දැට මෑන්ස්ව එපා වෙලා..ඒ බුවාව ගෙනත් බාර දීලා තියෙන්නෙත් අපේ කතානායකතුමාම තමා..ඒත් දැන් පොරව එළවන්ට නෝටිස් දීලා..ඒත් බුවා යන්නේ නැති පාටක්... ඒ පාර අපේ අංකල් රොනී..අර වෙන්ට ලමිස්සිව හොඳට නළවලා ගත්තා...
"බය වෙන්ට එපා මිසිස්....... මං එයාව මේ මාසේම යවනවා..ඔව් ඔව්..දන්නවනේ මේ රොනී ගැන..ඒ ගැන බය වෙන්ට එපා..එයාව යවලා මෙයාව අපි නවත්තමු..මේ ඉන්නේ මගේ පුතෙක් වෙන කෙනෙක්.."
ඇහ්..මල සේකයි මහ රජ කිව්වළු... මෙන්න මං නොදන්න මගේ අංකල් කෙනෙක්ද කොහේද..?
"ආනීඊඊඊ ඇත්තද රොනීඊඊඊඊ...ඒත් පලන්ටකෝ අනීඊඊඊ මේ ඉන්න මනුස්සයා හරි නොටීඊඊඊ"
මල ඇඩියාවේ ඉවරයක් නැහැ...අංකල් රොනීත් අරින්නේ නැහැ..උන්දෑ නරි නාවලා පව්ඩර් දාන්ට හොඳ දස්සයා කියලා මට තේරුනා විනාඩි දෙක තුනක් යද්දිම... කොහොම හරි කතාවේ හැටියට දැන් ඉන්න බෝඩිං කාරයා අර වෙන්ට ලමිස්සිට ලයින් එක දානවළු..වෙන්ට ලමිස්සි ඒකට හරි අකමැතීඊඊඊළු..
"හා හා මිසිස්............ මේ අපේ පුතා හරි වැදගත් කෙනෙක්..නියම ජෙන්ටල්මන් කෙනෙක්..අපි මෙයාව නවත්තමු කිසි අවුලක් නැහැ ඕන දේකට මං වග කියනවා.."
"අනීඊඊඊ රොනීඊඊඊඊ මෙයානං හොඳයි වගේ තමා අනීඊඊඊ ඒත් මේ ඉන්න වදකාරයා යවන්ටකෝ අනීඊඊඊඊ.."
කතාව ඇදිලා යනවා ඉවරයක් නැහැ..යාන්තං ඔහොම ගිහින් ගිහින් අන්තිමටම මගෙන් ඇහැව්වා මොකද කියන්නේ මෙතව හොඳද කියලා..යන්තං ඇති උන් දෙන්නට මාව මතක් උනා..?
ලැබිච්ච පළවෙනි අවසරෙන්ම මං මෙතන මට ඉඩ කඩ මදි කියලා ටක් ගාලා කියලා දැම්මා...හනෙ අම්මේ...
කොහොම හරි එතනින් එළියට පැනගත්තයි කියමුකෝ.. උන්දෑ තව දෙපොලකට විතර මාව අරන් යද්දී මට උන්දැත් එක්ක ගෙවල් හොයන එකත් ඇති උනා... පොරගේ බොරුවල ඉවරයක් නැහැ...යන යන තැනට මාව අදුන්වලා දෙන්නේ මේ උපන් දවසේ ඉඳන් මාව දන්නවා වගේ..මං නොදන්න මගේ හොඳ ගතිගුණත් පොර දන්නවා කියමුකෝ..හික්...මං හිතන්නේ මෑන් තමා මට ඔය තරං හොඳ කිව්ව බුවෙක් ජීවිතේටම හම්බ උනේ..
උන්දෑ කියන විදියට මං තරං නිර්මල චරිතයක් ඇති..විනීත ගති පැවතුම් ඇති...සුන්දර සුකුමාල..අවංක වැදගත් බුවෙක් තුන් ලෝකෙටම නැද්ද කොහේද..මේකා බොරු විදිනවා යන යන තැන..මටම පුදුමයි..මෙච්චර හොඳ ගතිගුණ මං ගාව මෙච්චර දවසක් තිබුනා කිව්වම...අම්මපා අපේ නෑදෑයෙකුටවත් මේ මනුස්සයා වගේ හිතන්ට බැරි හැටි..
උන් ඔක්කෝම මාව දන්නේ අළුගුත්තේරු කතා කියන..හිතුවක්කාර..දඩබ්බර..කිව්වා නාහන...මහ එපා කරපු නොසංඩාලයෙක් හැටියට..මට ටික වෙලාවකට හිතුනා මට දැනට ඉන්න නෑදෑයෝ එක්කෝම අස් කරලා..මේ අංකල් රොනීව මගේ එකම නෑදෑයා කොරගන්ටත් ඒ තරං හොඳ කිව්වා නෙව මං ගැන...
අන්තිමේදී මං දමලා ගහලා එන්ට හදනකොට උන්දෑ මාව ගෙනිච්චා තව එකම එක තැනක් බලමු කියලා...
යාන්තං ඇති..එතනනං මං කාලයක් තිස්සේ හෙව්ව විදියේ තැනක්...
ඒකේ ලොකු නිදන කාමරයක් බාත්රූම් එකකුත් සමගම..ඒ විතරක් නෙවෙයි චූටි කුස්සියක් තියේ මගේ උයන පිහන වැඩවලට කියාපුම විදියට... තව පුංචි කාමරයකුත් තියේ..ඒක හොඳයි මගේ ලට්ට ලොට්ට ගොඩ ගහලා තියන්ට..හොඳම දේ ඒක නෙවෙයි..මෙන්න ඒකෙම ඉස්සරහ පැත්තේ ඒකටම අල්ලලා තව කඩ කාමරයක් තියේ..කලින් කමියුනිකේෂන් එකක් කරපු තැනක්..ඉස්සරහට වීදුරු දාලා දොරවල් දාලා..කළු පාටින් ටින්ටඩ් කරලා... ඒ මදිවට ෆෑන් එහෙකුත් දාලා ඒසීත් කරලා...ඒසී එකත් ඕනනං රෙපෙයාර් කොරලා දෙන්නං කියපි..ගාණත් අවුලක් නැහැ..මාසෙකට 5000යි..ඒත් එක පාර මාස 6ක ගාන ඉල්ලනවා..ඒ පාර මං ගේ අයිති කෙනත් එක්ක කතා බස් කරගත්තා...මගේ තත්වේ ගැනත් කියලා..මට කරන්න දරන්න පුළුවන් ගණනත් ගැන කියලා 3 මාසෙක මුදලින් වැඩේ ගොඩ දාගත්තා..
අනික් දේ තමා ඒ වෙලාවේ මට හිතුනේ..නවතින්න විතරක් නෙවෙයි මගේ වියාපාරෙත් සාමාන්‍ය මට්ටමෙන් කරගෙන යන්න එතන හොඳටම හොදයි කියන එක..මං ඒ වෙලාවෙම තීරණය කලා ඒ හැම දේම අස් කරගෙන මෙතනට ගේනවා කියලා...එහෙම හිතලා ඒ වැඩේ ස්ථීර කර ගත්තා..දැන් ඔන්න මට සංතෝසයි...
ඒ කතා බස් ඉවර කරලා අපි දෙන්නා ආයෙමත් ආවා පාරට...දැන් අපේ ගණු දෙනුව...
සාමාන්‍යයෙන් ඔය වගේ ගනුදෙනුවකදී බ්‍රෝකර් ගාස්තුව එක මාසෙක කුලියට සමානයි කියන දේ ඔය ගෙවල්..කාමර හොයන අය දැනගෙන හිටියොත් හොඳයි..ඒ අනුව මේකෙත් ගාස්තුව 5000යි... ඒත් තාම ගණු දෙනුව අහවර නැහැ...
පාරට ඇවිල්ලා අපි දෙන්නා කතා කලා...ඇත්තටම කතා කලේ මං තමා...
"අංකල් මෙහෙමයි වැඩේ..මෙතනට මං කැමතියි..ඒත් මං ඉන්න තත්වේ අනුව මට ඔයාට 5ක් ගෙවන්න බැහැ..මං 3ක් දෙන්නං...මොකද කියන්නේ..?"
ඔන්න ඒ පාර මෑන්ස් කියනවා මේක මේ අද වෙන කෙනෙකුට කතා කරන්න හිටිය තැනක්ය..ඒත් ඔයාට හින්දය මෙහෙම හරි කලේ කියලා..වැල් බයිලා කෝටියයි...ඔහොම ටිකක් කතා කරලා අවසානේ මං 4ක් දෙන්න පොරොන්දු උනා...හරි ගේම ෆිනිෂ්...
ඒ ගානට පොරොන්දු උනාට පස්සේ මෑන් කියනවා..
"පුතා ඔයා අර ඔයාව මට අදුන්නලා දීපු සුරංජිත් ඇහැවුවොත් කියන්න මේ පොට් එකේ ගාන මාසෙට 3000 යි කියලා..එහෙම කියලා ඔයා මට දෙන්න පොරොන්දු උනෙත් 3 ක් කියලා කියන්න..දන්නේ නැද්ද..මං මහන්සි වෙලා ඒකට බාගයක්ම දෙන්න බැහැනේ..නේද පුතා.."
"ආ හරි හරි මගෙන් ඇහැවුවොත් මං එහෙම කියන්නං..මං සල්ලි දුන්නට පස්සේ ඒවා ඔයාලා කොහොම බෙදා ගත්තත් මට මොකද.."
ඔන්න ඔහොම කියලා එදා කතාව ඉවර කලා..ඊට පස්සේ මං අර ගෙවල් අයිතිකාරයට වෙන දවසක සල්ලි බඳින්න ගියා..ඒ ගිය දවසේ තමා අංකල් රොනීටත් මුදල් දෙන්න තිබුනේ..මං ඉතිං ආයේ දීපු වචනේ හැටියට අර ගනු දෙනුව ඉවර වෙලා පාරට ඇවිත් රුපියල් හාරදහක් උන්දැගේ අතේ තියන්න හදනකොට මෙන්න මෑන් කියනවා..
"පුතා අර සුරංජිත්ව ඔයාට හම්බ උනාද..?"
"නැහැ අංකල් මට හම්බ උනේ නැහැ.."
"එහෙනං පුතා එයාව හම්බ උනොත් එයාට කියන්න මට ඔයා දුන්නේ 2000 යි කියලා..හොඳද පුතා..කමක් නැහැනේ..නේද..?"
කොහොමද ගේම...මුලින් අර යකාට 1500ක් දෙන්න හිත හදා ගත්ත බුවා..දැන් ඒකත් වැඩියි කියලා 1000ක් දෙන්නයි කල්පනාව...මටත් තිබුනා ආ එහෙනං මාත් අඩු කරන්නං කියලා තව දාහක්වත් අඩු කරලාම දෙන්න..ඒත් මං ඒ වෙනකොට උන්දැට දෙන්න හිටිය 4000 ගැන මගේ හිතේ ආසාව අත ඇරලා හිටියේ..ආයේ මොකටද ඕකෙන් ගණන් අඩු කරන්නේ..මං හාර දාහම උන්දෑ අතේ තියන ගමන් හිනා වෙලා..
"හරි අංකල් මං එහෙම කියන්නං" කියලා එන්න ආවා...
මං ඒ එන අතර මගදී අර අනිත් යෝධයා මග රැකගෙන උන්නා මාව අල්ලගන්න බලාගෙන..මං උන්දැටත් අර කිව්ව විදියටම දෙදහක් දුන්න කතාව කියලා එන්න ආවා... මොකටද ඒ දෙන්නව අවුල් කරවන්නේ... ඒ වෙලාවේ තමා මට හොඳටම තේරුනේ අර මුලින්ම දෙන්නා කතා උන කොටවන කතාව මොකක්ද කියලා...
ඔන් අපේ රොනී අංකල්ගේ ක්‍රියාන්විතය.. මොනවා උනත් ආස්සරේ කරන්ට වටින මනුස්සයා...