31 May 2010

පන්සලේ ජීවිතේ.. විලී අයියා...

ඒ වන විට මොහුට වයස පනස් එකක් විය..
නමුත් ඒ තරම් වයස යැයි දන්නා කිසිවකුත් නැත..
නිතරම පාහේ අවුරුදු දහයකින් අඩු කොට වයස කීමට පුරුදු වී සිටි විලී අයියා.. දිනක් වැරදීමකින් මා හට තම හැදුනුම්පත පෙන්වීමෙදී නියම වයස මා දැන ගත් විට කිසිවකුටත් එය නොපවසන ලෙස මා ගෙන් ඉල්ලා සිටි අතර මෙ වයස සැගවීම කුමන අරමුණක් අරභයාදැයි එකල මාහට තේරුම් ගත නුහුණු කරුණක් විය..

අඩි හයක් පමණ උසින් යුතු මොහු උසට සරිලන ශරීරයකට උරුමකම් කිවූ අතර මුහුණ පුරා රැවුල වවා තිබුණේ ඔල්කට් තුමා සිහි ගන්වමිනි.

අවිවාහක අයකු වූ මොහු කොළඹ සිටි සුද්දකුගේ නිවසේ සේවය කල අතර මසකට වරක් අනිවාර්යයෙන්ම ලැඛෙන දින දෙක තුනක නිවාඩුව ගෙවා දැමීම පිණිස පන්සලට ආ අතර..
පන්සලේ සිට සැතැම්ම හතරකින් පමණ දුරින් පිහිටා තිබූ ඔහුගේ විවාහක වැඩි මහළු සොයුරියන් කිහිප දෙනා බැලීමටත් ඉන් එක් දිනක් වෙන් කර ගත් අතර අනිත් සියළුම කාලය පන්සලට වී ගෙවා දැමූ අතර..
මුලදි මුලදී මොහු මා හට ඇණයක් විය. නිකම්ම නිකං ඇණයක් නොව තදින් පොට කා වදින ඉස්කුරුප්පු ඇණයක්ම විය.

පන්සලේ සිටින කාලය තුලදී මෙලෝ වැඩක් නොකරන මොහු තම පැරණි පම්පෝරි වලින් අපගේ දෙසවන් පුරවමින් කාලය කා දමන අතර බැරි වීමකින් හෝ අපගේ යම් ප්‍රශ්න කිරීමක් නිසා ඔහුගේ කතාවට බාධා කිරීමක් වූවහොත් ඉතා තදින් කෝප වන බව ඔහුගේ මුහුණෙන් මතුවන ඉරියවු වලින් ප්‍රකාශ වෙයි.

නාරද හිමියන් හට මෙම පන්සල භාරදී ගිය නන්ද හිමියන් හා ඊට ප්‍රථමව පන්සලේ භාරකාරත්වය දරමින් සිටි නන්ද හිමියන්ගේ වැඩිමහළු පැවිදි සොයුරු සුභූති හිමියන් වැඩ සිටි සමයේ සිට මෙහි ආ ගිය හා ටික කලක් මෙහිම රැඳී සිටි පුද්ගලයකු වූ විලී අයියා.. පළාතේ බොහෝ දායකයින් විසින් හදුනනු ලැබූ අයෙකි.
එම පැරණි අයිතිය මත තවමත් පන්සලට ඇවිදින් යන මොහුගේ පැමිණීම නාරද ඇතුළු සියළුම හිමිවරුන්ට වදයක් වී තිබූ මුත් ඒ බව දැන දැනත් ඔහු මෙහිම ආවෙ යා හැකි අන් තැනක් නොමැති නිසාම වූවද නිතරම පවසන්නේ මෙහි ආවෙ නැතුවාට තමන්ට යන්නට ඔනෑ තරම් තැන් ඇති බවය..

මුලදි මුලදී මොහුගේ පැමිණීම මට ගැටළුවක් නොවූ අතර මොහු එනවාට නාරද හිමියන් අකමැති ඇයිදැයි යන්න වැඩි කලක් නොගොසින් මා හටම අවබෝධ වූයේ දෙතුන් වතාවක්ම එකම කතාවම අසන්නට ලැබුනු පසුවය..

මෙම පන්සලේ ඉතිහාසය ඉතා හොඳින් දන්නා වූ පුද්ගයකු වූ විලී අයියා..
මෙහි මෙන්ම මෙයට යාබඳ පන්සලේද කලක් නැවතී සිටි අතර එම පන්සලේ දහම් පාසලේ ආචාර්යවරයකු ලෙසද සේවය කොට තිබූ අතර එම දහම් පාසලේ පාලනය බලහත්කාරයෙන් මෙන් පවරාගෙන ඒ පවරා ගැනීමට සාධාරණයක් ඉටු කරමින් දහම් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබූ අතර පසුව ප්‍රධානාචාර්ය හිමියන්ද අභිබවා යෑමට ගත් උත්සහයේදී එල්ල වූ විරෝධතා නිසා දහම් පාසලෙන් ඉවත්ව තිබිණී.
එසේ වූවද දැනටද පැමිණි පසු එම පන්සලටද ගොස් පැය කිහිපයක් ගත කර ආපසු ඒම ඔහුගේ පුරුද්දකි.

පාසල් අධ්‍යාපනය අතින් ගත් කල සාමාන්‍ය පෙළත් අසමත් වූ අයකු වූ මුත් ඇවිදින පුස්තකාලයක් වැනි දැනුමක් සහිත වූ මොහු පසු කාලීනව මා විසින් මට ඇවසි පරිදි සකස් කරගෙන පන්සලේ ප්‍රයෝජනය සඳහා යොදා ගත් අතර පන්සලේ දියුණුව සඳහා ඔහුගේ සමහර අදහස් හා යෝජනා ඉමහත් පිටිවහලක් වූ බවද ඔහුහට ගරු කිරීමක් ලෙස මෙහි සටහන් කල යුතුමය..
නිතර පොත පත කියවීමටත්..
කා සමග හෝ කතා කරමින් සිටීමටත් රුචි වූ විලී අයියා..
කිසිදු වෙලාවක පන්සලේ වැඩකට පලකට උදවු නොවූ අතර ඔහුගේ ඇවතුම් පැවතුම් පිළිබඳව නොදැන අප විසින් යම් වෙනසක් වූවහොත් ඒ පිළිබඳව වහා කේන්ති ගනී..

මස් මාළු තබා උම්බලකඩවත් කෑම ඔහු විසින් නොකල අතර වැරදීමකින් හෝ ඔහු ආහාර ගැනීමට පෙර දාන භාජන වල හැන්දක් හෝ මාරු වී වෑංජන ඛෙදා තිඛෙන බව දුටුවහොත් ඒ පිළිබඳව ආඩපාලි කියන්නට පටන් ගනී.
පන්සලේ තිබුනේ තේ සෑදීමට හැන්දක් සහ බත් ඛෙදීමට හැන්දකුත්, වෑංජන ඛෙදීමට හැදි දෙකකුත් පමණි.
මාළු හෝ කරවල වෑංජනය ඛෙදූ හැන්දෙන් එළවළුවක් ඛෙදීමට ගියහොත් ඒ පිළිබඳව උරන වන ඔහු කිසිම විටක හැන්දක් සේදීමට හෝ දාන භාජනයක් සේදීමට ඉදිරිපත්වන අයකු නොවීය..

තේ හදන්නට ගිය විටත් එසේමය..
තේ හදන වෙලාවට එදෙසට එන මොහු ඒ පිළිබඳව උපදෙස් දීමට පටන් ගනී..
ආ.. වතුර ඔහොම ටිකක් නටලා මදි..
නටන්න ගත්තට පස්සේ විනාඩි පහක්වත් නටන්න ඔනෑයයි කියමින් හීටරය උණු වී වතුර ගොද ගොද ගා මෙසය මත ඉහිරෙද්දීත් එය නවතා දැමීමට ඉඩ නොදෙන ඔහු..
තේ කොල පොච්චියකට දමා රත් වූ වතුර දමා විනාඩි දහයක් පමණ තේ කොල තැම්බීමට තැබිය යුතු බවද අණ කරනු ලබයි.
ඉන් පසු තේ වතුර පෙරා ගත් පසු ඔහුගේ කෝප්පයට සීනී හැදි දැමිය යුතු ප්‍රමාණය කියා සිටින අතර මෙසේ ඔහුහට තේ සෑදීම මහා වනයක් විය.

ඊළගට අපහසුම දේ ඔහුගේ කතා අසා සිටීමයි.
ඔහු කතා කිරීමට පටන් ගත් පසු අප විසින් එය සාවධානව අසා සිටිය යුතුය..
නැතහොත් ගෝරි ගොඩකි.
අසා සිටීම ප්‍රශ්නයක් නොවූවත් එකම කතාව පැමිණි සෑම වාරයේදීම කියන්නට පටන් ගත් පසු කෙසේ නම් අසා සිටින්නද..?

විලී අයියේ.. ඔය කතාව කලින් කියලා තියෙනවා.. බැරිම තැන කවුරුන් හෝ කියනු ලැබූවහොත්..ඔහු දෙස රවා බලමින්.. ආ ඒ උනාට තව තියෙනවා කියපු නැති හරියකුත්.. කියමින් පරණ සුපුරුදු කතාවම නැවත පුනරුච්ඡාරණය කරයි..
අවසානයේ අළුත් යමක් එහි නොවූ මුත් අසා සිටීමට අප සියල්ලන්ටම සිදු වෙ..

නාරද හිමියන් හෝ අන් කිසිවෙක් මොහු දමනය කරන්නට ඉදිරිපත් නොවූයේ මොහුගේ පන්සලට ඇති පැරණි සම්බන්ධයත් අවට පන්සල් සමග තිබූ සම්බන්ධයත් නිසාවෙන් මිස අන් යමක් නිසා නොවෙ..

නමුත් දිගින් දිගටම මෙ තත්වය ඉවසීමට මා කැමති නොවූයේ මොහුගේ වැඩ නිසා නිතරම වැඩියෙන්ම තැලෙන්නේ මා නිසා බැවිනි.

පසුව එක් දිනක් නාරද හිමියන් විසින් "අන්න අර යකා හෙට එනවළු" කියමින් එතෙක් වෙලා කතා කරමින් තිබූ උන්වහන්සේ සතුව තිබූ පැරණි ගඩොල් බාග සෙල්ෆෝනය පැත්තකින් තබමින් කියූ අවස්ථාවෙ..
"කවුද අපේ හාමුදුරුවනේ" යැයි මා විසින් විමසා සිටියෙමි.
"අන්න අර විලී කාරයා"..
"මහ ඇනේ ..දැන් ඉතින් දවස් දෙක තුනක් අහගෙන හිටපල්ලාකෝ දේශනාව.."
යි කියනු ලැබූ අවස්ථාවෙ
"ඔන්නං මම මිනිහව ටිකක් මට්ටු කරලා ගන්නම්" යැයි කිවූ විට
"අනේ ඔන මගුලක් කරනවා.. මට කමක් නැහැයි" පවසන ලදින්..
මා හට තරමක සහනයක් විණි.

විලී අයියා පැමිණෙන ලදි..
සුපුරුදු පරිදි වැඩ පිළිවෙල අනුගමනය කරන්නට පටන් ගත් අතර දිනය අවසාන වන විට යම් කිසි අමුත්තක් ඇති බව ඔහු හට තේරුම් යන්නට විය..
ආ මොහොතෙහි ලද තේ කෝප්පය හැරුනු කල ආයේ නම් ඔහු හට තේ දීම මා අතින් නොවිණි.
පසුව තේ සාදන තැනට පැමිණි විලී අයියා සුපුරුදු පරිදි ක්‍රමය කියා දෙන්නට වූ අතර..
ඔහු කියනා දේ නෑසුන පරිදි මා විසින් තේ සාදා හිමිවරුන්ට පිළිගැන්වූ අතර මොකද මට තේ හදන්නට අමතක උනාදැයි විලී අයියා විමසූ අවස්ථාවෙ..
ආ නැහැ නැහැ විලී අයියා බොන ක්‍රමෙ මෙක නෙවෙයිනේ ඔන්න හීටරේ තියෙනවා..
වතුර හොඳට රත් කරගෙන තේ කොළ තම්බලා විලී අයියාම ඔන විදියටම තේ එක හදා ගන්නකෝ..
මම හදන විදිය විලී අයියාගේ විදිය නෙවෙ නෙව කියමින් මාගේ තේ කෝප්පයද රැගෙන ඉන් ඉවත් වූයෙමි.
එසේ පළමු දිනයේ තේ බීම අහිමි වූ විලී අයියා පසු දින තනිවම තේ සාදා ගන්නා අයරු දක්නට ලැබිණි.
නමුත් තේ සෑදු භාජන සොදා තැබීම සිදු නොවී තිබිණි.
එයින් පසු එම භාජන සෝදා තේ වත් කල මා ඔහු තේ සෑදීමට පැමිණෙන විටද ඒවා එසේම තිඛෙන්නට හරින ලදි.

කිසිම දිනකදී තේ සෑදීමට ගන්නා කිසිම උපකරණයක් එවෙලේම සොදා තබන මා අතින් එය සිදු වූයේ මන්දැයි මනාව තේරුම් ගත් විලී අයියා පසුව භාජන සෝදා තැබීමද කරන ලදි.

දහවල් ආහාර ගැනීමෙදී වෙනදා මෙන් ඔහු ආහාර ගෙන අවසන් වන තෙක් බලා සිට භාජන සෝදනවා වෙනුවට පුරුදු පරිදිම ඔහුගේ බත් පත ඛෙදා තබා අන් සියළුම භාජන සෝදා දමන ලදි.

හැඳි මාරු වීම් ගැන පැමිණිලි එතකින් නිම විය..
මෙසේ දිගට හරහාට වැඩ කටයුතු සිද්ධ වන විට ඉඛෙම වාගේ දමනය වූ විලී අයියා එතෙක් පටන් මා හට කිසිම වැඩක් කීමට නොපැමිණි අතර..
පසු කාලීනව මා පැවිදි වූ පසුව මා කීවත් නොකීවත් පන්සලේ සියළුම කටයුතු සොයා බලා සියතින්ම කල අතර..
කිසිදා නොකල ඉවුම් පිහුම් වැඩද හරි අපූරුවට කරන ලදි.
ඔහුගේ දින චරියාවෙ සමහර දේවල් හැමදාමත් එක ලෙසම වූ අතර කිසිම විටක මවිසින් ඒ සම්බන්ධව වචනයකුදු නොකීවෙ ඔහුගේ කරදරයෙන් මිදීම විනා අන් දේවල් වලින් මට කාරි නැති නිසාය..

පසු කාලීනව මා පැවිදි වීමට තීරණය කල බව දැනගත් පසු මා හා ඉතා ලෙන්ගතුව කටයුතු කල ඔහු..එතැන් පටන් මා හට විශාල ශක්තියක් වෙමින් මා හා රැදී සිටි කළන මිතුරකු හා සම විය.

මොහු සම්බන්ධව තවත් කිව යුතු දෑ බොහෝය..ඒවා මතක් වන ආකාරයට ඉදිරියේදී කියවෙනු ඇත.
විශේෂයෙන්ම දෙවියන් පිළිබඳව වූ ඔහුගේ ආකල්ප පිළිබඳවද වෙනම ලිවිය යුතුය.

කෙසේ වෙතත් මා විසින් මෙ ලියනු ලබන අතීත ආවර්ජනා තුල මෙවන් අපූර්ව අන්දමෙ චරිත බොහෝ තිඛෙන අතර පන්සල් ජීවිතය නම් වූ මෙම ලිපි පෙළෙහි පසුව ලිවීමට බලා පොරොත්තුවන යම් යම් සිදු වීම් විස්තර කිරීමෙදී ඒවාට නිතර සම්බන්ධ වන චරිත පිළිබඳව මෙසේ ලියා තැබීම පසුවට පහසුවක් වන නිසාම මෙසේ සටහන් කර සිටිනා අතර.. මෙය කියවන ඔබලා හට හැකිනම් මෙම චරිත පිළිබඳව කෙටියෙන් හෝ මතකයේ තබා ගන්නේ නම් කතාව කියවා ගෙන යෑමෙදී එය තරමක් පහසුවක් වනු ඇත.

.........................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

30 May 2010

පන්සලේ ජීවිතේ... ආගන්තුකයෝ..

තත්වය මෙසේ විය..
පන්සල පවත්වාගෙන යාම සඳහා ලැඛෙනා දෙයට වඩා ඒ වෙනුවෙන් කල යුතු වියහියදම් වැඩි විය.
යම් තරමක හෝ සහනයක් ඇත්තේ දානයකට ගිය විට ලැඛෙන කිරි පැකට්ටුව සීනි කිලෝව පන්සලට එන මුස්ලිම් වෙළෙන්දන්හට තුට්ටු දෙකට දී ලබා ගන්නා මුදල පමණකි.
එම මුදලින්ද වැඩි හරියක්ද ධුම පානය සදහාම වෙන් කල පසු ඉතිරිවන් සොච්චමෙන් අන් සියළු කටයුතු කල යුතුය..

දානය නැති වෙලාවට දානය සපයා ගැනීම..
රාත්‍රී ආහාර වෙල..
බස් ගාස්තු..
ලයිට් බිල..
පන්සලට පැමිණෙන ආධාර පත්‍ර කාරයන්, අසරණයින්ට දීම පිණිස..
දහම් පාසලේ අවශ්‍යතා..
බෙහෙතක් හේතක් ගැනීම සඳහා..
වරින් වර පැමිණෙන ආගන්තුක හිමිවරුනට උපස්ථාන කිරීම..
මෙ ආදී දහසක් කටයුතු කිරීම පහසු නැත..

ඒ මදිවාට ආලවකයෙකුද වරින් වර පන්සලට පැමිණෙයි..
කොළඹ සිකුරිටි ජොබ් එකක් කරනු ලබන කෑගල්ල පළාතේ තරුණයකු මෙහි කලින් හිටි හිමිවරුන්ගේ සම්බන්ධකම් මත තවමත් සතියකට දවසක් දෙකක් මෙහි පැමිණෙයි.
ඒ පැමිණි විට පන්සලෙන්ම කා..නාරද හිමියන්ට ලැඛෙන්නාවූ තුවා, ඇද ඇතිරිලි ආදී යමක් වෙයිද එයද කපටිකමින් ඉල්වා ගන්නා මොහු වැඩට යාම සඳහා බස්ගාස්තුව පවා ඒ හිමියන්ගෙන් බලා පොරොත්තු වෙයි..
මෙ සියල්ලටම ප්‍රති උපකාර ලෙස ඔහු විසින් නාරද හිමියන්හට තණමල්විල කරක් ගසන්නට කියා දී තිබිණි. එයට තදින් ඇබ්බැහි වී සිටි එහිමියන් ඒ සදහා කලමනා ගෙන්වා ගැනීමට සරිලන සේ ඔනෑම දෙයක් ආලවකයාට දීමට හුරු වී සිටියහ.

මෙ සම්බන්ධව කිසිදු උපදෙස් දීමකින් පලක් නොවන නිසා අන් හිමිවරුන් මෙන්ම මාද නිහඩ වත පෑවෙමි.

මෙ ආලවකයා හැරුන කල නිතර පන්සලට පැමිණෙන තවත් කිහිප දෙනෙකුම විය..
චන්ද විමල හිමියන්ගේ පැවිදි සොයුරකුවන විමල සිරි හිමියන්.. මෙන්ම පැවිදි මිතුරකු වූ කුසල හිමි..
ආදි කුඩා හිමිවරුන් කීප පොලක්ම වූ අතර ඔවුන් පැමිණි පසු සතියක් පමණ නැවතී සිට අවට පන්සල් කිහිපයක දානාරාධනා කිහිපයක් ලැබ ඒවාට ගොස් ගැබෙන පිරිකර කාට හෝ විකුණා ලැඛෙන මුදලත් රැගෙන නැවත පිටත් වී යන්නේ සිටිනා දින කිහිපය තුලදී මහා ක්‍රිකට් ගැටුම් කිහිපයකටම තම දායකත්වය ලබාදීමෙන් අනතුරුවය..

මෙයින් 'විමලසිරි' හිමියන් අපූරු කියුම් කියනු ලබන මා සිත් ගත් එක් හිමි නමක් විය.
මාහට වඩා වසරකින් පමණ බාල වූවත් සිරුරින් මෙන්ම දැනුමින්ද පිරිපුන්ව තිබූ හෙතෙම නිතර නොයෙක් කරුණු මා හා සාකච්ඡා කරමින් විශාල ලෙස මගේ දැනුම පෝෂණය කර ගැන්මට මාහට උදවු වූ අතර..
ඉරිදා දිනවලදී දහම් පාසලේ ඉගැන්වීමටද ඉදිරිපත් වූ අයෙකි.

අනිත් පැමිණි සියළුම හිමිවරුන්ගේ වැඩි විශේෂයක් නොවූ අතර ඔවුන් සියළු දෙනාම පාහේ සිවුරු ඇරීමට රිසියෙන් සිටි හා එයින් පසු මුහුණ දිය හැකි ආර්ථීක හා සාමාජයීය ගැටළුවලට බියෙන් එම තීරණය ක්‍රියාත්මක කරලීම දිනෙන් දින කල් තබමින් දැඩි මානසික පීඩනයෙන් කල් යවන්නන් විය..

තවත් එක් සිවුරු හැරි 'අරුණ' නම් වූ පුද්ගලයකුද මෙ අතර වූ අතර ඔහුද පැමිණි පසු සති කිහිපයක්ම රැදී සිට පිටත් වී යන අතර මෙහි රැඳී සිටිනා කාලයේදී යම් තරමකින් හෝ පන්සලේ වැඩ කටයුතු වලට මා හට උදවු උපකාර කරනු ලබයි..
මොහුගේ දිනචර්යාව අපූරු විය..

සෑම දිනම බාධා නොකලහොත් සවස දෙක පමණ වන තෙක් කිසිදු අපහසුවකින් තොරව නිදා ගන්නා මොහු නිතරම පාවිච්චි කලේ පන්සලේ තිබූ කිසිදු ආලෝකයක් නොම වැටෙන්නා වූ කුඩා කාමරයකි.
එහි වූ වැල් ඇදකට වී වකුටු වී නිදා ගන්නා අරුණ අප කිසිවකු විසින් අවදි කරනු ලැබූවහොත් දහවල් දහයට පමණ අවදි කරවා ගත හැකි වූ මුත් ඊට ප්‍රථමයෙන් ඔහුව අවදි කිරීමට ගන්නා උත්සහය කෙබඳු වීදැයි දැන ගැන්මට නම් ඔබත් රාමායණය පොතෙහි සඳහන්වන රාවණ මහ රජුගේ සොයුරු වූ කුම්භකරණ නම් සෙනෙවියා අවදිකරලීම පිණිස ගනු ලබන උත්සහය සඳහන් පරිච්ඡේදය කියවිය යුතුමය..
නමුත් මා දන්නා පරිදි රාවණ රජුගේ සොයුරා අවදි කරලීම අරුණ අවදිකරලීම යන කාර්යයට වඩා පහසුය..

කෙසේ හෝ අවදි කල පසු කෙලින්ම දාන ශාලාව නම් වූ කුඩා කාමරයට යන මොහු එහි තිඛෙන ඔනෑම දෙයක් ගිල දමයි..
කවදාවත් ආහාරය සඳහා මැසිවිලි නොනැගූ මොහු තිඛෙන්නේ කෙසෙල් ගෙඩියක් වූවද එය ගිල දමා වතුර කෝප්පයක් බී අප කවුරුන් හෝ සාදා දෙනු ලබන තේ කෝප්පයක් වූවද එක උගුරට අවසන් කර ඉන් පසු ක්‍රීඩා කිරීමට එළියට බසී.
කිසිවකු හෝ ඒ සඳහා නොඑන්නේ නම් නැවත ගොස් නින්දට වැටෙයි.

නැවත කවුරුන් හෝ අවදි කලත් නැතත් දහවල් දෙක පමණ වන විට අවදිවන අරුණ දවසේ පළමු වතාවට දත් මැද මුහුණ සෝදා දන් ගෙයි ඉතිරිව තිඛෙන ඔනෑම දෙයක් ආහාරයට ගෙන දාන ශාලාවෙ වූ සියළුම භාජන සෝදා පවිත්‍ර කර ආවාස ගෙය අතු පතු ගා දමයි.

ඉන් පසු ඔහු සොයන්නේ දුම් කොළයකි..
දැහැත් වට්ටියක හෝ පන්සලේ කොහේ හෝ මුල්ලකින් දුම් කොළයක් සොයා ගන්නා ඔහු එය සිහින් තීරු වලට ඉරා දල්වන ලද ගිණිකූරක ආධාරයෙන් රත් කර ඉන්පසු සිහින් බීඩියක් ආකාරයට ඔතා එහි එක් කොනක් දල්වා දුම් ඇදීමට පටන් ගනී..

මෙතැන් පටන් මැදියම් රැය වන තෙක්ම මෙම දුම්කොල පන්දම නිතර ඔහුගේ මුව රැදෙයි..
දුම් ඉරීම අතර තුරම ක්‍රීඩා කිරීමට එක්වන මොහු එයට මහත් උනන්දුවක් හා ලැදියාවක් දැක්වූ අයෙකි.

සවස් වූ පසු උදැල්ලක් ගෙන පන්සල් මිදුල උදළු ගෑමත්, අතුපතු ගා පිරිසිදු කිරීමත් කරන අතර කඩෙ යාමටද ඉදිරිපත් වෙයි.
අරුණ පැමිණ සිටිනා බව ආරංචි වූවහොත් අවට පන්සල් වලින්ද සවස් වන විට ඇරයුම් ලැඛෙන්නේ ඔහු ලවා අවශ්‍ය කරන ඔනෑම දෙයක් ගෙන්වා ගැනීමට හැකි නිසාය..
එසේ ගෙන එනු ලබන දෙයින් තමන්ගේ පංගුව ලෙස මද පමණකින් සෑහි නැවත පන්සලට එනු ලබන අතර රාත්‍රී ආහාරය සදහා යමක් ලැබුනද නැතද පාඩුවෙ සිටියි.

අනතුරුව හිමිවරුන් සමග කතා බහෙහි යෙදීමෙන්ද..
රූපවාහිනිය නැරඹීමෙන්ද..
කාලය ගත කර කතා කිරීම පිණිස කිසිවකු නැතිවන තුරු හෝ..
නැරඹීමට කිසිවක් රූපවාහිනියේ නැතිවන තුරුම සිට නින්දට යයි.
මෙ ඔහුගේ දින චර්යාවයි...

මා විසින් මෙහි සඳහන් කල යුතුම අනිත් පුද්ගලයා වන්නේ 'විලී' අයියායි.
සුවිශේෂී චරිතයක් වන මොහු පිළිබඳව ඊළග පරිච්ඡේදය වෙන් කරනු කැමැත්තෙමි.

...........................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

28 May 2010

පන්සලේ ජීවිතේ...පසුබිම...

දවසින් දවස මා පන්සල් දිවියට හුරු වෙමින් පැවතින..
කෙතෙක් අඩු පාඩු මැද වූවද සිතේ සහනයෙන් යුතුව දිවි ගෙවිය හැකි බව මා හට කෙමෙන් අවබෝධ වෙමින් පැවතිණි.
මෙතෙක් කලක් රැයක් දවාලක් නොමැතිව මුදල් පසු පස හඹා යමින් සිටි මා හට මෙය නැවුම් තත්වයක් විය..
ගිහි වාසය තුළ නොපෙනෙනා හෙට පිළිබඳව අපමණ බලාපොරොත්තු තබා නොවිඳිය යුතු දුක් විඳිමින් නොයෙක් අවශ්‍යතා සපුරා ගැනීම පිණිස අනන්ත දුක් ගැහැට විඳිමින් මාද ඇතුළුව බොහෝ දෙනෙක් දුවමින් සිටියදී..
තවත් තැනක හෙටක් පිළිබඳ කිසිදු අරමුණක් නැතිව හෝ ඉටු කර ගැන්මට අපහසු දේ පිළිබඳ ඔනවාට වඩා වෙහෙසෙමින් කටයුතු කිරීමට උත්සහ නොගෙන ලැඛෙනා දෙයක් ලැඛෙනා පරිද්දෙන් භුක්ති විඳිමින් ගෙවනා මෙ දිවිය ඇත්තෙන්ම සැනසිලි දායක විය..

පන්සල තිබුනේ ගම ප්‍රධාන මාර්ගය වෙත යා කරන අතර තුර විශේෂ ස්ථානයක වූවද එම පිහිටීමෙ කිසිදු ඵලයක් නොවූයේ මිනිසුන්ගේ සිත් සතන් තුළ සුවිශේෂී සබැදියාවක් පන්සල සමග නොවූ හෙයිනි.

කලකදී තරමක් තත්වයක තිබූ බවට යම් සලකුණු වෙතත් මෙ වන විට නම් ගම හා පන්සල අතර හොඳ සම්බන්ධතාවයක් නොවීමට මූලික වශයෙන් මෙහි විසූ හිමිවරුන්ගේ ක්‍රියාකලාපය මෙන්ම ඇතැම් නොහික්මුණු දායකයන්ගේද වැඩ කටයුතු හේතු වී තිබුණි..

පන්සල නිකාය වශයෙන් අයත්ව තිබූයේ සියම් නිකායටය..
ඒද..මල්වතු මහා විහාරයටමැ විය..

ගමෙහි විසූ දායකයින් අතරින් අඩක් පමණ දෙනා අඩුකුල යැයි සම්මත කුලයන්ට අයත් වීම ගොවිකුල පමණක් යැයි සම්මත මල්වතු මහා විහාරයට සම්බන්ධ පන්සල හා එක්ව කටයුතු කිරීමට බාධාවක් වූවද ඒ බව නොපෙන්වා සිටීමට දෙපසේම අය උත්සහ දැරූවද උගුරට හොරා ඛෙහෙත් බීම අතිදුෂ්කර ව්‍යායාමයක්ව තිබිණි.

අඩුකුල වලට සම්බන්ධ අය සමග එක්ව කටයුතු කිරීමෙදී ගොවිකුල අයගේ උදවු නොලැබී යාමත් යටි උගුල් ඇදීමත්, මෙන්ම ගොවිකුල සමග කටයුතු කිරීමෙදී අඩු කුල අයගේ කෙනෙහිළිකම්ද අඩුවක් නැති විය..

දෙපස එක් කර කටයුතු කිරීම දැලිපිහියෙන් කිරි කෑමක් විය..
පසු කාලීනව පන්සලේ භාරකාරත්වය දරමින් කටයුතු කල සමයේ මෙම අර්බුධය තුල කටයුතු කිරීමෙන්ම මා හට ඒ පිළිබඳව බොහෝ අත්දැකීම් හිමි විය..

තවත් ගැටළුවක් වූයේ ගොවි කුලයද ප්‍රධාන පරම්පරා දෙකක් අතර ඛෙදී ඒ පරම්පරා දෙක අතර වූ මහන්තත්වය පිළිබඳ ගැටළුවයි.

ඊ ළගට වූයේ දායක සභාව නම් වූ පිළිලයයි..
සභාවෙ නිලධාරීන් පත් කරගනු ලබන මහ සභාවට පමණක් පැමිණ බලයේ පවතින රජයට අයත් පිලට තනතුරු සියල්ල ලබා ගැනීමට වූ සීතල යුද්ධයද..
එසේ තනතුරු ලබා ගත්තවුන් ආයේ පන්සල පැත්ත පළාතේ නොඒමද..

වැරදිලා හෝ ඔවුනට නොදන්වා යම් වැඩකට කවුරුන් හෝ අත ගසනු ලැබූවෙද වහ වහා දුවගෙන ඇවිත් එම වැඩය අකර්මන්‍ය කරලීම පිණිස කිසිදා කල නොහැකි යෝජනා මාලාවන් සැපයීමද මොවුන් අතින් අඩුවක් නැතිව සිදු විණි.

ඒ හැර අන් ප්‍රගතිශීලී යමක් සිදු නොවූවා සේය..

එකල වස් කාලය එළඹ තිබුණි.

වස් වැසීම සදහා භික්ෂුවක් නොවූ හෙයින්ම පන්සලේ තාවකාලික පදිංචියට පැමිණි නාරද හිමියන් වදෙන් පොරෙන් නුවර ගෙන ගොස් උපසම්පදා කොට තිබුණි.
මෙ සඳහා අවට පන්සල් වලින්ද සහය ලද නිසා එම හිමිවරුන් ගුරුවරුන් හැටියට යොදා උපසම්පදාව සිදු කොට නාරද හිමියන් වස් වස්සවා තිබුණද..

වස් ආරාධනාව කල තැනැත්තා මා පළමු වරට දුටුවෙ කඨින පිංකම දවසේය..
එතරම් හොඳින් ඔහු වස් ආරාධනා කල මොහොතේ පොරොන්දු වූ පරිදි සිවු පසයෙන් ඇප උපස්ථාන කොට තිබුණි..
( පන්සල් වත්තේ තිබූ තැඹිළි ගස් තුන හතරත් කොස් ගසත් ඒ අයුරින් බලනා කළ අනේ පිඩු සිටුතුමා වැනිය..)

වස් කාලය යනු කුමක්දැයි ඇත්තෙන්ම ඒ වන විටත් මා එතරම් දැන සිටි යමක් නොවෙ..
කඨින පෙරහැරෙ පිටුපසට වී පොඩි ආතල් එකක් ගනිමින් එහි ගමන් කර තිබුණා හැර ඒ පිළිබඳව මහා දැනුමක් මා සතු නොවිණි.

පන්සලේ වස් කාලය බව මා අහම්ඛෙන් දැන ගත්තේ එක් ඉරිදා සවස්වරුවක උපාසක අම්මලා හතර පස් දෙනෙක් පැමිණ හිටි හැටියේ බෝ මළුව අතුගාන්නට පටන් ගත් විට ඒ පිළිබඳව විමසීම නිසාය..

කෙසේ හෝ එදින සවස හය පමණ වන විට එක් උපාසිකාවක් පැමිණ කල ආරාධනාවක් අනුව නාරද හිමියන් ගොසින් පැය භාගයක පමණ බෝධි පූජාවක් තබා පැමිණි අතර..
එයින් පසු මා විසින් කල විමසීමට අනුව හිමිවරුන් තිදෙනාම වස් කාලයත් එහි ඉතිහාසයත්..
වර්ථමානයේ එම කාලය හා ඒහා සබැඳි වතාවත් හා චාරිත්‍ර විදිත්..
මෙහි එම කටයුතු කෙරෙන ආකාරයත් මා හට පහදා දෙන ලදි.

එයින් පසුවද සති දෙක තුනකට වරක් මෙවන් වූ බෝධි පූජා පැවැත් වූ අතර..
සමහර දිනවලදී උපාසක අම්මලා විසින් රුපියල් පහ දහය සම්මාදන් කර යම් මුදලක් නාරද හිමියන් වෙත දැහැත් වට්ටියක තබා පූජා කරන ලදි..
බොහෝ විට එහි රුපියල් පණහක් හැටක් විණි..

පන්සලට මෙ වන විට ලැඛෙනා ආදායම් පිළිබඳවද යම් සටහනක් කල යුතුවෙයි.

පාරම්පරික වශයෙන් වැදගත් කමක් ඇති මෙම පන්සල මල්වතු පාර්ශවයෙන් ආරම්භ වූ පහතරට සාසන පරම්පරාවක මූලස්ථානය විණි.
මෙයින් විහිද ගියා වූ භික්ෂූන් විසින් ඇති කරනු ලැබූ විශාල පන්සල් රාශියක් විය..
නමුදු එම කිසිදු පන්සලකින් මෙම මූලස්ථාන විහාරය රැක ගැනීම සදහා කිසිදු සහයක් නොවිණි..
යම් උත්සව අවස්ථාවකදී පමණක් පැමිණ මෙ අපේ මූලස්ථාන පන්සල යැයි ආඩම්බරයෙන් පවසා පිටවී යනවා හැර අන් යමක් දක්නට නොලැබුණි.

දැනට මෙම විහාරයෙහි නීත්‍යානූකූල අයිතිය තිබුණේ විදේශගතව සිටි ලොකු හාමුදුරුකෙනෙකුටය..
එම හිමියන්ට අයත්ව මෙම පන්සලට යාබද නගර මධ්‍යයේ තැනූ නව විහාරයක්ද..
කුරුණෑගල සහ වාද්දූවෙ පිහිටි විහාරස්ථානයන් දෙකක්ද..
කොළඹ ඉතා ප්‍රසිද්ධ නගරයක වූ පන්සලක්ද, මෙම පන්සල පිහිටි ප්‍රාදේශීය ලේකම් වසමෙම වූ තවත් පන්සලක්ද ආදී වශයෙන් නිරවුල්ව පන්සල් හයක හිමිකාරත්වය තිබුණි.
ඊට අමතරව මෙම විහාරයට අයත් දායක සීමාවක කෙළවරෙහි බෝධියක් රෝපණය කොට අළුතින් පන්සලක් ආරම්භ කිරීම සදහා උත්සහ ගත් ස්ථානයක්ද තිබිණි.
පන්සල සතු ඉඩම් කිහිපයක්ම අවට තිබුණි..
ඒවායේ මුළු වපසරිය ආසන්න වශයෙන් අක්කර හත අටක් වුණි.
එයින් බොහෝ ඉඩම් මෙ වන විටත් සමහර ගිහියන් විසින් අල්ලාගෙන භුක්ති විඳිමින් තිබූ අතර..ඒවා පන්සල් ඉඩම් බව කියනවා ඇසීමටත් ඔවුන් අකමැති විය..

ඉතිරිව තිබූ ඉඩම් කිසිවක කිසිදු බව බෝගයක් හෝ ආදායම් ලද හැකි මාර්ගයක් නොවිණි.

එක් ඉඩමක පමණක් ගඩොල් පෝරණුවක් දමා ගත් අයෙක් සිටි අතර එයින්ද මෙම පන්සලට කිසිවක් නොලැබිණි.

ඉහත සඳහන් කල ලොකු හාමුදුරුවන් ජෙවීපී කලබල දවස්වලදී ජෙවීපී තර්ජන නිසාම රටින් පිටවී ගොස් තිබූ අතර එම හිමියන් මෙම ගම් වාසීන්ගේද අපමණ පිළිකුළට බඳුන් වී තිබූ අතර කිහිප දෙනෙක් පමණක් එහිමියන්ගේ පැත්තට කථා කරනු අසන්නට දකින්නට ලැබිණි.
එහිමියෝ විදෙස් ගතව වසර දහ තුනක් පමණ ගෙවී ගොස් තිබූ අතර එසේ විදෙස් ගත වන විට මහණ කරනු ලැබූ ගෝල හිමිවරුන් හත් අට දෙනෙකුම මෙම විහාරස්ථානයෙහි මෙන්ම නගරයේ වූ විහාරයෙහිද රඳවා ගොස් තිබූ අතර මෙ වන විට එයින් ගෝල හිමිවරු දෙදෙනකු හැර අන් සියල්ලන්ම සිවුරු හැර ගොස් තිබුණි.

එයින් ඉතිරිව සිටි හිමිවරුන්ගෙන් වැඩිමහල්ලා ආසන්න නගරයේ විහාරස්ථානයෙහි විසූ අතර...
අන් තැනැත්තා කොළඹ පිහිටි විහාරස්ථානයෙහි රැඳී සිටියේය..
එම කොළඔ සිටි හිමියන් විදෙස්ගතව සිටි ලොකු හාමුදුරුවන් සමග අති හිතවත් වූ අතර ආසන්නයෙහි වූ හිමියන් විරසකව සිටින ලදි..
මෙ හේතුව නිසාම කොළඹ රැදී සිටි හිමියන්ට වැඩිමහළු කම පසෙක තිබියදී වැඩි බලයක් හිමිව තිබුණි.

එසේම ආසන්න පන්සලේ සිටි හිමියන් මෙ වන විට කටයුතු කලේ සිවුරු හැරදා යෑමට මං සොයමිනි..
ඒ සඳහා ගත් උත්සහයේදී වංචනික පුද්ගලයකු හරහා විදෙස්ගත වීමට කල උත්සහයකදී ඒ හිමියන් අත තිබූ විශාල මුදලක් අහිමිව ගොස් තිබූ නිසා එම ගිහි වීමෙ කටයුත්ත තරමක් කල්ගත වී තිබිණි.

ළග පාත වූ ඉඩ කඩම්වලින් සුළු වශයෙන් හෝ ලැඛෙන ආදායම පවා එම හිමිවරුන් අතර ඛෙදී ගිය අතර කොළඹ පන්සලෙන් පෞද්ගලික පන්ති හරහා ලැඛෙන විශාල මුදලක් එහි රැදී හුන් හිමියන්ට හිමි විණී.
එයින් කිසිම කොටසක් නොලැබීම නිසා ආසන්න පන්සලේ රැඳී හිටි හිමියන් සිටයේ ඉතාමත් කේන්තියකින් බව ඒ හිමියන් වරින් වර කරනු ලබන කතා වලින් පැහැදිලිව දක්නට ලැබුණි.

කෙසේ හෝ මෙ වන විට පන්සලේ රැඳී සිටි නාරද හිමියන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝඩිංකාරයකු පමණක් විණි.

දානය නැති විට කඩාගෙන බීම නිසාම තැඹිළි විකුණා කීයක් හෝ ලැබීම දුෂ්කරය..
පන්සල් වත්තටම තිබුණේ පොල් ගස් හයකි.
එයිනුදු දෙකක්ම මහ පාරට බරවී තිබූ හෙයින් ඒවායේ ගෙඩියක් විකුණනු තබා ඇහැට දකින්නටවත් කවදාවත් නොහැකි විණි.
තවත් ගස් දෙකක් අහස උසට ගමන් කොට කණාටු වී තිබූ අතර ඉඳ හිට එයින් වැටෙන කුඩා පොල් ගෙඩිය ආහාර පිණිස ගැනීම සඳහා ගන්නවා ඇර අන් යමක් කල නොහැකි විය.
ඉතිරි පොල් ගස් දෙකින් ඉද හිට පොල් විකුණා රුපියල් සීයක් දෙසීයක් ලද හැක..
ඊට අමතරව දානය ගෙන එන උදවිය විසින් ඉඳ හිට විදුලි බිලට කියා දී යන රුපියල් දහය විස්ස එකතු කරන්නේ නම් එයද මාසයකට රුපියල් එකසිය පණහක් පමන විය හැක..

බුදු මැදුරෙ වූ පිං පෙට්ටියේ අගුලක් නොමැත.
ඉද හිට හෝ එයට වැටෙන මාරු කාසි කිහිපය ගන්නට ප්‍රමාද වූව හොත් ඉස්සරහා වත්තේ සිටින කොල්ලන්ගෙන් ඛෙරා ගැනීමට කිසිවකුට හැකිවන්නේ නැත..

මෙ ආදී වශයෙන් බලනා කල රුපියල් පන්සීයක් තරම ආදායමක් මාසිකව ලද නොහැකි මෙහි විහාරාධිපති කම යනු කටු ඔටුන්නක් විනා අන්යමක් නොවන බව කිව මනාද..?

....................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ..
"

26 May 2010

වෙසගෙහි වැළපෙනා දුගියා මම වෙමිය..

දෙදහස් පන්සිය පනස් තුන් වසක්
ගෙවී ගොසින් එළඹෙන මොහොතේ..
ඔබේ දයාබර කුළුණු ගුණෙන් යුත්
බණ පදයක සුව නෑගෙන සේ..
තවත් ඉතින් කල් යවන්න සිදු විය
කල පවු වැඩි විය සසර මගේ..

සාර සංඛ කප් කෙලක් කල් පුරා
පෙරුම් පුරා බුදු වූ දවසේ..
රගත් රතී හා තණ්හා සපැමිණ
ඔබ මුව අභිමුව රැගුවා සේ..
තවත් බොහෝ දෙන අදටත් රගතිය
නිවන් පුරට අප යන අතරේ..

නිවන් දකින්නට කළ පින් මඳ විය
තවත් කලක් ඇවසිය සසරේ..
එතෙක් කලක් තව ඉවසා ඉන්නට
කෙලෙසින් හැකි වෙවිද සමිඳේ..
ඉන්න නොහැකි වූ ඔබ පය පාමුළ
කරුමක්කරු මම වෙමි නිබඳේ..

ඔබ නොමැති ලොව මට එපා..

සිත හැදූ සුරගනයි ඔබ..
නෙත නිවූ දෙවගනයි ඹබ..
දිවි මගේ සරතැස නිවා..
පෙර නුවූ සැනසුම් දෙවා..
මහද අරණෙහි නවාතැන් ගත්..
අහිංසක මුදු මුවැත්තිය ඔබ..

ලොවෙන් අපමණ ලැබුණු ගැරහුම්..
දමා පසෙකට නැගී සිටි ඔබ..
මහා පවුරක් ලෙසින් මා වට..
දමා නොගොසින් රැදී සිටි ඔබ..
අදත් මතකය දවා හළු කොට..
නැවත උපදින කිරිල්ලිය ඔබ..

කදුළු උල්පත මගේ නිවා..
සිතේ සහනය දුන් සදා..
සදාකාලික වෙදනාවක්..
ඇයිද දුන්නේ යළි මවා..

දුකින් පිරි දිවි මග පුරා..
ඔඛෙ සැමරුම් ඉදිවෙලා..
නැවත කිසිදා හමු නොවෙ නම්..
ඔබ නොමැති ලොව මට එපා..

24 May 2010

පන්සලේ ජීවිතේ... සැදෑ අඳුර ලොව ගලන වෙලාවට...

හවස තේ පානයෙන් පසුව නැවත වතාවක් සියළුම දෙනා එකතුවී මිදුල අතු ගාන්න පටන් ගන්නවා..
ඒ අතර තුර නොයෙකුත් කතාබහ ඇදිලා යනවා..
ඒ අතරින් අපේ හාමුදුරුවරුන්ගේ පිරිවෙන් කාලයට අදාල නොයෙකුත් සිදුවීම් ගලාගෙන යනවා අසන්නට මා බොහෝමත්ම කැමති උනා...

පරිවෙනාධිපති හිමිවරුන්ගේ නොයෙකුත් දහංගැට මැද අසීරුවෙන් ඉගෙන ගනිමින් ඔවුන් මෙතෙක් කල් ආ ගමන් මග අසා සිටීමට ඉතා රසවත් කතා ගොන්නක් බව කිව යුතුයි..

මෙ සියළුම දෙනා තම තමන්ගේ ගුරු හාමුදුරුවරුන් අතින් අතෑරුන අය..නොයෙකුත් හේතූන් නිසා..

ඒ බිඳීම් සියල්ල යටින් නොකියා ගලා ගිය නොයෙකුත් සිදුවීම් තිබුනා..කෙසේ හෝ අද වන විට මෙ සියළුම දෙනා නිදහසේ දිවි ගෙවනවා.
චන්ද විමල හිමියන්ගේ ගුරු හාමුදුරුවන් පිළබඳ කියවෙන කතා ඉතා රසවත්..
විමල නම් වූ එම හාමුදුරුවන්ගේ සිහිනය වී තිබුනේ උන්වහන්සේගේ නමින් ගෝලයින් සීයයක් මහණ කිරීම පමනයි..
ඒ නිසාම කොහේ ගියත් අතට අහුවෙන ඔනම දරුවෙක් මහණ කරනු ලබන විමල හාමුදුරුවන් ඔහුගේ විමල නාමය සහිතව එම ගෝලයින්ට නම් තැබීම තුළින් අසීමිත සතුටක් ලද බව චන්දවිමල හිමියන් අතින් කියඋනා..

චන්දවිමල
විමලානන්ද
සිරි විමල
විමල සිරි මෙ ආකාර නම් රාශියකින් යුත් උන්වහන්සේගේ ගෝලයින් සෑහෙන ප්‍රමාණයක් පසුකාලීනව මට මුණ ගැසෙන්නටත් ලැබුනා..

ගෝලයින් හදා නම් තබා කොහේ හෝ පිරිවෙනකට දමනවා විනා විමල හාමුදුරුවන් අතින් කවදාවත්ම ඒ ගෝලයින්ගේ අනාගතය වෙනුවෙන් හරවත් යමක් සිදුවී තිබුනේම නැහැ.

මෙවැනි කතාබස් රාශියක් මැද සවස්වරුව ගෙවී යනවා...

වස් කාලයක් වූවද සැන්දෑ සමයේ දායකයින් පැමිණෙන බවක් දක්නට ලැබුනෙත් නැහැ.
නිතර යන එන දායක දෙපලක් මෙ අතර සිටි බවත් සඳහන් කරන්න කැමතියි.
එම දායක මහත්වරුන් පිළිබඳව වෙනමම පරිච්ඡේදයක් වෙන්විය යුතුම නිසා ඔවුන් පිළිබඳව පසුවට සඳහන් තබන්නට අදහස් කරමි.

බොහෝවිට මා මෙහි එන තෙක්ම පැවති ක්‍රමය වූයේ දහවල් ගෙන ආ දානයේ ඉතිරි වූ දෑ නරක් වීමට පෙර තිඛෙන හැටියට ඛෙදා හදා ගෙන වේලපහම භුක්ති විඳ තරමක් රෑ වන විට නෙස්ටමෝල්ට් හෝ කිරි කෝප්පයක් සාදා ගෙන
දහවල් ඉතිරි වූ කැවිලි හෝ විස්කෝතු සමග ආහාරයට ගැනීමයි.

ආවාසය පිටුපස කුස්සියක් වූවද එහි ඉවුම් පිහුම් කිරීම සඳහා හැකියාව ඇති කිසිවකු නොවූ බැවින්ම අපේ හිමිවරුන් පුරුදු වී තිබුණේ මා පෙර සඳහන් කල ආකාරයට රාත්‍රී වෙල පිරිමසා ගැනීමට වූ අතර එම ක්‍රමය සතියක් වැනි කාලයක් ඇතුළත මවිසින් වෙනස් කරන්නට යෙදුණි.

මුලින්ම කළ යුත්ත වූයේ කුස්සිය සකස් කර ගැනීමයි.
තැනින් තැන තෙමී ජරාවාස වී තිබූ එය වසා තැබීම සඳහා දොරක්වත් නොතිබූ අතර ලිප් ගල් කිහිපයක් තබා බිම සකස් කළ ලිපකින්ද, හිරමනා කොටයකින්ද, තරමක හැළියක් සහ එක් වළඳක්ද, පොල් කටු හැඳී දෙකකින්ද සමන්විත මුළුතැන් ගෙයි උපකරණ සහිතව තිබූ මෙහි එක් කොනක බිම සිය ගඩොල් පහක් පමණ වට කොට බැද තිබූ අඩි එකහමාරේ එක හමාරේ පමණ වූ ටැංකියක් වැනි තැනකට කරාමයක් යොදා තිබිණි.
දාන ශාලාව සඳහා වතුර ලබා ගත්තේද, තේ සකස් කිරීම සඳහා වතුර ලබා ගත්තේද මෙයින්ය..
වැසි දිනවල තේ ටිකක් බීමට අපමණ දුකක් විඳිය යුතු වූයේ මෙම කුස්සියට ඒමට තිබුණේ ආවාසය පිටුපස අගුව යටින් වීම නිසාය.
එහාට මෙහාට වතුර අදිමින් තේ සෑදීම අම්බ වහකි.(තේරුනාද මන්දා..නමුත් ඒ සඳහා ගැලපෙනම වචනය එයයි.)

කුස්සිය පුරා වූ දහ ජරාව ඉවත්කොට බිම සෝදා නැවත සුදුසු ලෙස ලිප් ගල් සකස් කර තිබූ ලිප වෙනුවට කුඩා ලිප් දෙකක්ම බැඳීම මවිසින් කරන්නට යෙදුණු අතර මෙ සඳහා අන් අයගේ කිසිදු සහයක් නොලැබූනු අතර මාද එම කටයුතු සඳහා යොදා ගත්තේ දහවල් කෑමෙන් පසු හිමිවරුන් නින්දට යන පැය කිහිපය වූයේ බාධා කිරීම් සහ වැඩි අවවාද අනුසාසනා නිසා මට අවශ්‍ය පරිද්දෙන් වැඩෙ නිම කර ගැනීමට නොහැකි වන නිසාය යන්න කිව යුතුය.

මෙ වන විට ඒ පිළිබඳව තරමක අත්දැකීම් මා වෙත වූයේ ආවාසය ඇතුළත ශුද්ධ පවිත්‍ර කිරීමට යාමෙදී විටින් විට එල්ල වූ බාධාවන්ය.
එපා කියනවාට වඩා ඕක මෙහෙම කලා නම් හොඳයි, අරක අරෙහෙම කරන්න ආදී වශයෙන් වූ අනුශාසනා නිසා කරන්නට ගිය වැඩය පසෙක තබා වෙනත් දෑ කරන්නට සිදුවීම නිසාය.

කොහොමටත් කුඩා කල සිටම වැඩක් කිරීමට පෙර ඒ වැඩය නිම වීමෙන් පසු මෙවැනි අන්දමෙන් තිබිය යුතුයැයි මූලික සැකැස්මක් සිත තුළ තබා ගෙන වැඩ කිරීමට පුරුදු වී සිටි මා හට සිතූ අන්දමින් පිළිවෙලකට වැඩක් කරන්නට නොදෙන විට කිසිවක් නොකර සිටීමට සිත් වූ වාර අනන්ත වූවද..

පිනට කකා සිටීම මහා බරක් කොට සැලකූ මා පන්සලෙන් කන එකදු බත් වෙලකටවත් ණය වීමට කැමති නොවීමි.
විශේෂයෙන්ම සාංඝිකය කෑම අපාගත වන අකුසලයක් බව මා අදද අදහනු ලබන්නකි.
එබැවින්ම කන බොන සෑම බත් මිටකටම සරිලන සේ සංඝයා වහන්සේලාටත්,විහාරස්ථානයටත් සේවය කිරීම මවිසින් කල යුතුබව මා තදින් සිහි තබා සිටියෙමි.

එනිසා සැමදාම පාහේ මා විසින් කුමන හෝ කටයුත්තක් කිරීමට පුරුදු වීමි.

කෙසේ හෝ කුස්සිය හා එහි වූ උපකරණ ශුද්ධ පවිත්‍ර කර අවසන..
වත්ත පුරා වැටී තිබූ දර පොල් කොළ හනසු ආදිය එකතු කර පසෙක වූ මඩුව තුළ අසුරන විට කරන්නට සූදානම් වන්නේ කුමක්ද යන්න ඔවුනට අවබෝධ වී තිබිණි.

පළමු පියවර වූයේ මෙතෙක් දවස් සීතල වූ හා නරක් වෙමින් පැවතුණ දහවල දානයෙන් ඉතිරි වී තිබූ දෙවල් ගිල දමමින් සිටි හිමිවරුනට එම ආහාර නරක් වීමට ප්‍රථම රත් කොට තබා ආහාරයට ගැනීමට සැලසීමයි.
තිබූ එකම වළද කිහිප වර සෝදමින් තිඛෙන සියළුම දෑ එකින් එක රත් කොට කුඩා භාජනවල අසුරා තබා දානය ගෙන ආ භාජන අස්පස් කොට සෝදා තබා රාත්‍රි ආහාරය තරමක් රස්නයකින් යුතුව පිළිගැන්වූ අතර..

සමහර දිනවල අපේ තාත්තා විසින් පුරුදු කර තිබූ ක්‍රමයකට ආහාර මිශ්‍ර කර සාදනු ලබන තෙම්පරාදු බතක් සකස් කර දෙන ලදි..

ඒ සඳහා අවශ්‍ය පොල්තෙල් නොමිලයේම වාගේ වරින්වර දානය ගෙන එනු ලබන අය විසින් ගෙනදී තිබූ නිසා තෙල් පිළිබඳව ගැටළුවක් නොවිණි.
ගැටළුව වූයේ බිත්තර සපයා ගැනීමය..

නමුත් මෙ වන විට සෑම දිනකම තුන්වරක් පමණ දුම්වැටි ගෙන ඒම සඳහා ළගපාත කඩයකට යෑමට මා හට සිදු වී තිබිණි. (මා දුම් පානය කරන්නකු නොවෙ..)

එවන් අවස්ථාවල වැඩිපුර මුදලක් ඉතිරි වූ විට එම මුදලින් බිත්තරයක් දෙකක් ගෙන විත් බත් තෙම්පරාදුව සඳහා යොදා ගතිමි.

කුස්සියේ වූ හැළිය මෙ සඳහා යොදා ගතිමි.

හැළිය සෝදා ලිප තබා රත්වීගෙන එන විට එයට පොල් තෙල් ටිකක් දමා රත් වූ විට වියළි මිරිස් කරල් දෙකක් කැබලිවලට කඩා දමා අබ ඇට කිහිපයක්ද එක්කර එයටම රතුළුණු ගෙඩියක් සුදුළුණු ගෙඩියක් සිහින්ව කපා දමා (මෙම දේවල්ද බිත්තර සපයා ගත් ආකාරයටම වරින් වර ගෙන ආ ඒවාය..) පන්සල් වත්තේ තිබූ කරපිංචා ගසෙන් කඩා ගත් කරපිංචා කොළ මිටක්ද, කොහේ හෝ වැවී තිබූ ගසකින් කඩා ගත් කොච්චි කරල් කිහිපයක්ද දමා එය බැදී ගෙන එන විටම එයටම බිත්තර දෙකක් පමණ කඩා එකතු කර බිත්තර යන්තම් බැෙඳන විට හැන්දෙන් කලවම් කිරීමට පටන් ගත් විට බිත්තර ලෙහී කලින් දැමූ කලමනා සමග මැනවින් මුසු වී සුවඳ හමන්නට පටන් ගනී..

මෙහිදී මුහුණ පාන ලොකුම ගැටළුව මෙම සුවඳ හැමීමයි. අවට පරිසරයට මෙම සුවඳ මුසු වීමට ඉඩ තැබීම භයංකරය..
පන්සලේ කොයි දේත් හොරෙන් කළ යුතු විය.

කෙසේ හෝ සුවඳ හමන විටම හැළිය කුමකින් හෝ තදින් වසා දමා මද වෙලාවකින් විවෘත කර සෑදී ඇති බිත්තර මිශ්‍රණයට දහවල ඉතිරි වී තිබූ හොදි මාළුපිණි එකක් බැගින් එකතු කරනු ලබන අතර එසේ එක් කිරීමට පෙර හැන්දක ආධාරයෙන් එම වෑංජනවල තිඛෙන ගොරකා කුරුඳු පොතු ආදිය ඉවත් කිරීමද කළ යුතුය.

එකතු කළ ව්‍යාංජන සියල්ල හොදින් මිශ්‍ර කර හොදින් රත් වූ විට ඉතිරිව තිබූ බත් සියල්ල එම මිශ්‍රණයටම එකතුකර කැට පොඩිවන අන්දමින් හැන්දකින් හොඳින් කලවම් කර බතද හොදින් රත් වූ පසු භාජනය ලිපෙන් බා ගත යුතුය.

මෙසේ සකස් කර ගත් තෙම්පරාදු බත පුදුමාකාර සුවඳකින් හා රසයකින් යුක්තය.

සියළුම හිමිවරුන් බොහෝ ආසාවෙන් මෙයට හුරු වූ අතර හැකි සෑම වෙලාවකදීම මෙය සෑදීම සඳහා අවැසි කලමනා ගෙන ඒම සඳහා කීයක් හෝ මුදලක් යොදවන ලදි.

රෑට නෙස්ටමෝල්ට් බී විස්කෝතු කා බාගෙට කුසගිනි නිවා ගැනීම නවතා දමා.. පිටි පැකට්ටුව මුදල් කර එයින් මිලදී ගත් කලමනා වලින් සුදු කැකුළු බත්, පොල් සම්බෝල, පරිප්පු වෑංජන, සමහර විටක කරවල කෑල්ලක් තෙලට දමා සකස් කර ගෙන ආදී වශයෙන් රෑ කෑම වෙල සකස් වීමට පටන් ගති.

එතැන් පටන් ක්‍රම ක්‍රමයෙන් පිළුණු බත් සම්ප්‍රදාය වෙනස් කර දෙයියනේ කියා උණු බත් කටක් කෑමට සියල්ලන්ටම හැකි විණි.

.............................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

22 May 2010

ලග්න පල... ජාතක රත්නාකරයෙන්...

ඉතින් අද ටිකක් වෙනසකට යන්න හිතුනා...
පහුගිය දවස්වල ජුංගේ කතා කියලා..
ඊට පස්සේ පන්සල් ජීවිතේ ගැනත් කියන්න පටන් ගත්තනේ...

අද ඉතින් ඒ ඔක්කෝම නවත්තලා දාලා මට හිතුනා කවි කිහිපයක් උපුටා දක්වන්න..

මෙ කවි ඔක්කෝම ජාතකරත්නාකරය කියන කවි පොතේ කවි.
ඇත්තටම මෙ ජාතක රත්නාකරය කියන්නේ වයි.ඒ. හරමානිස් අප්පුහාමි නැමැති දෛවඥතුමන් විසින් බොහෝ පැරණි ජෝතිෂ්‍ය ග්‍රන්ත ගුරු කොටැගෙන නිමැවූ මහගු පුස්තකයක් බව කිව යුතුය..

මා හට ජෝතිෂ්‍යය පිළිබඳ ඇල්මක් ඇතිකරවාලීමෙ පළමු ගෞරවය මෙම පොතට අත්විය යුතු බැව්ද කියන්නේ මහත් වූ කැමැත්තකිනි.

මා පන්සලේ ජීවිතය ආරම්භ කොට මාසයක් පමණ කලකට පසු පන්සලේ පරණ කුණු ගොඩවල් ඉවත් කර ශුද්ධ පවිත්‍ර කිරීමට යෑමෙදී කාමරයක මුල්ලේ තිබී අසු වූ පැරණි පත්තර ගොඩක් තුළ සැගවී තිබී මා අතට පත් මෙය එසේ නොවී නම් තව නොබෝ කලෙකින්ම එම පත්තර ගොඩට වී තිබූ ආකාරයටම වේයන්ගේ ගොදුරක් බවට පත් වී යාමට ඉඩ තිබිණි.

කෙසේ නමුත් මාහට මෙ ජීවිතයේ ලැබුණා වූ උසස් වාසනාවක් සේ සලකනු ලබන ජොතිෂ්‍යය පිළිබඳ දැනුම මා හට මූලිකවම ලබා දීමට මුල් වූයේ මෙම අනගි පුස්තකය බවත් එය ලියූ කතුවරයාහට මෙන්ම එය එසේ නොසැලකිල්ලෙන් විසිකර දමා මා හට ලැඛෙන්නට සැලැස්සූ මා නොදන්නා පුද්ගලයාටත් දහස්වර පින් දෙමින් මෙම කවි කිහිපය මෙහි සටහන් කරනු කැමැත්තෙමි.

6.අදියර
ලග්න රාශිඵල

මෙස ලග්නයෙහි උපනුන්ගේ ඵල

ගතත් දුබල වෙති,කුරිරු ගතිය ඇති,
නෑයන් හට වයිරිව ඉඳිතී..
සිතත් උඩගුවෙති,තැන තැන ඇවිදිති,
වාදෙට නිතරම පිරිය වෙතී..
ඇතත් දනය ඉති,තිරයක් නම් නැති,
තේජස නම් බොහො කොටම ඇතී..
පිතත් අදික වෙති,ඇග ගිනියම් වෙති,
මෙස රැසෙහි උපනුන්ගෙ ගතී..

වෘෂභ

ගුරුන්ට බැතිවෙති,මුදු බස් තෙපලති,
දුටුවන් සැමටම පිරිය ඇතී..
දනෙන්ද යුතුවෙති,ලොහොබි කමුත් ඇති,
කාමුක වෙති ඇවිදුමෙහි රුතී..
දරුන්ද මඳවෙති,සිවුපා බෝ වෙති,
සන්සුන් නුවණැති ගතිය වෙතී..
ලියන්ට ගැති වෙති,ගුණෙන් අධික වෙති,
ගවරැස උපනුන් හට කියතී..

මිථුන

සිරිමති දනවති,බෝග සැපත් වෙති,
නෑ සබඳුන් හට ඇල්ම වෙතී..
ගුණවති නැණවති,දීමෙහි තුටු වෙති,
සුදනන් හට නිති පිරිය වෙතී..
සෙනෙහැති දූ පුත් මිතුරන් බොහො වෙති,
රාජ සෙවනෙ වාසය කරතී..
ලොව තතු දැනුමැති,කාමෙහි ලොල් වෙති,
මිථුන රැසෙහි උපනුන්ගෙ ගතී..

කටක

විස්තර සළු පිළි අබරණ තුටු වෙති,
මදුරාහරයට නිති ලොල් වේ..
බස් ඇත සුමිහිරි කපට නුවණ වෙති,
දහම අනුව පැවතීමත් වේ..
සත්දන ඇසුරෙහි වාසය වෙයි නිති,
මානෙට කටයුතු කෙරුමත් වේ..
බස් බොරු නැත කිසි නල රැස උපනුන්,
දිය කෙළියට නිතරම තුටුවේ..

සිංහ

පඩුවන් ගතවෙය,වා පිත් අදිකය,
වැහැරුණ උදරය මසට රුතී..
දරුවන් මද වෙය,කාමුක ගති වෙය,
පරහට වද හිරිහැර කරතී..
සතුරන් දිනනුය,රජුන් වසග වෙය,
පරදෙස වාසෙට තුටු සිතැතී..
විකුමෙන් පතලය,කිරියට සූරය,
සිහ රැස උපනුන් හට කියතී..

කන්‍යා

සතර දනිති නෙක,තියුණු නුවණ වෙති,
උදාර ගුණයෙන් නිති දිලෙතී..
විතර නොවන දන,ඉසුරු සැපත් ඇත,
කටයුත්තෙහි සැම දස්ස වෙතී..
නිතර රුසිරු නව,යොවුන් විලාසිත,
අගනුන් පහසට ලොබ කරතී..
ඉතිරි රැසෙහි උපනුන්ට මෙගුණ සහ,
රැවටිලි මායම් ඇත කියතී..

තුලා

පැහැපත් මුහුණැත,බබලන නෙත් ඇත,
මුකයෙහි කඩතොළු දතුත් වෙතී..
බියපත් ගති වෙත,සන්සුන් ඉඳුරැත,
යහපත් පණ්ඩිත බවද ඇතී..
ගුණවත් ලිය ඇත,ඉසුරුත් බොහො වෙත,
වෙළඳාමෙන් දන රැස් කරතී..
උපනු තුලා රැස,පිණටත් පිරියැත,
කුලයට පහණක් බඳු කියතී..

වෘශ්චික

කුරිරු ඇසුත් වෙති,නුවනත් මඳ වෙති,
චපල ගතිය නිතරම පාතී..
තරහ අදික වෙති,බොරුබස් පවසති,
සුදනන්හට වයිරය කරතී..
උඩගු ගතිය වෙති,අනුන්ට ගරහති,
බව බොග දන සම්පත්ද වෙතී..
ආයුස බොහො වෙති,කලහෙට රුති වෙති,
නුහුසු රැසෙහි උපනුන්ගෙ ගතී..

ධනු

සුන්දර සිරියා,මුහුණින් යුතු වෙති,
දුටු දන මන පිනවන රුවැතී..
ගම්බිර නැණ නුවණින් වෙති පූජිත,
නීති සතර මැනවින් දනිතී..
නන් දැරු රට තොට,ඉසුරුමතුන් වෙති,
රාජ සේවයෙන් කල් ගෙවතී..
වංසෙට නායකයින් වෙති පරසිදු,
උපනුන් දනුරැස පිණැති වෙතී..

මකර

කතුන්ට ලොල් වෙති,දීන වචන වෙති,
කපටි කමින් නිති කල් ගෙවතී..
තමන්ගෙ වැඩයෙහි උත්සහවත් වෙති,
අනුන්ගෙ වැඩයට අලස වෙතී..
වදන් චතුර වෙති,ලොහොබි ගතිය ඇති,
නීච වැඩෙහි නිතරම යෙදෙතී..
දරුන්ද බොහො වෙති,පාපෙට බර වෙති,
උපනුන් මුව රැස පල කියතී..

කුම්භ

දුටුවන් පිණවන සොඳුරු කයක් වෙති,
උඩගු ගතිය නිති රජ කරතී..
පරඹුන් වෙත නිති ඇල්ම කෙරෙති සිත,
අන්සතු වස්තුව කොල්ල කතී..
අගතැන් පැමිණෙති,කපටි කමින් ලොවැ,
බැගෑ වචන නිතරම කියතී..
මිතුරන් බොහො වෙති,දන සම්පත් ඇති,
කුඹුරැස උපනුන් පලය වෙතී..

මීන

කාමෙහි වැඩියෙන් ඇල්මක් නොකරති,
මද වසයෙන් අහරද බුදිතී..
පේමය වෙති නිති හිත මිතුරන් වෙත,
රන් රිදි මිණි මුතු වස්තු ඇතී..
ඥානෙන් යුතුවම කටයුතු ගෙන යති,
කීර්තියද තෙද බලද ඇතී..
මීනෙහි උපනුන් දුබල කයින් යුති,
වංක කමත් එලෙසටම ඇතී..

හම්මෙ..ඔන්න ඉවරයි..
මෙම පොතෙහි වන කවි 2512 න් කවි දොළසක් පමණක් උපුටා දැක්වීම මෙතරම් අමාරු නම්..
මෙය රචනා කළ තැනැත්තා මොන තරම් මහන්සියක් ගත්තෑදැයි මට මෙ දැන් සිතුනි.

මෙම කවි සියල්ලම කියවා තේරුම් ගැනීමට පමණක් මා හට වසර දෙකක් පමණ ගත වූ බව නම් කිවයුතුමය..

හා.. හොඳයි.. දැන් එහෙනම් තම තමන්ගේ ලග්නත් එක්ක මෙ කවි ටික ගලපාගෙන බලන්නකෝ..
අහල පහල ඉන්න නැදෑ මිත්තරයින්ගේ ඒවටත් ආදේශ කොරලා බැලූවට කමක් නෑ ඔං..

20 May 2010

පන්සල් ජීවිතේ...දහවල ගෙවී යයි...

පන්සල තුළ ජීවිතය ආරම්භ හැටි කියමින් සිටි මා පෙර ලිපිය අවසන් කරනු ලැබූවෙ උදෑසන කාලය ගතවන සාමාන්‍ය ආකාරය පිළිබඳව සටහන් තැබීමෙන් අනතුරුවය...
මීළගට කළ යුතුව ඇත්තේ දිවා කල ගෙවූ සැටි පිළිබඳ විස්තර කරලීමය..

නමුත් ඊට ප්‍රථමයෙන් තවත් වදනක් මෙයට එක්කල යුතුයැයි මා හට හැගී යයි...

ඇත්තෙන්ම මා මෙම කතාව කියන්නට පටන් ගත්තත් එක දිගටම එකම කථාව කියාගෙන යාමේදී එය මා හට වෙහෙසකර වන බව කිව මනාය.

කොහොමටත් ජීවිතයේ විවිධත්වය සැමදා ප්‍රිය කරන මා හට එකම කතාවක් එක දිගට කියමින් ඒ තුළ සිරවී සිටිය නොහැක.
එසේ කළ හැකි නම් මා මුළින්ම කරනුයේ පෙර මා විසින් ලියූ ජුංඅලගේ කතාන්දර තව තවත් කියා සිටීමය..
ජුංගේ කතා එපමණට ඇත..

පන්සල් දිවිය පිළිබඳ කිමට පෙර තව කිව යුතු කතා කොතෙක් ඇත්ද..?
ඒත් ඒ සියල්ලම වූවද එක දිගට ලියාගෙන යාමට මාහට හැකියාවක් නැත..
ඉඳින්... මෙම කතා පෙළටද එම සාධාරණයම ඉටුවිය යුතුය..

මෙය කියවන ඔබ සියළුදෙනාම එක දිගට මෙම ලිපි පෙළ කියවීමට කැමති බව අමුතුවෙන් කිව යුතු නොවුනද..

එක දිගට එම කතාව කීමට මා හට අපහසු බව කරුණාවෙන් සැලකුව මැනවි..

අනික් කාරණාව වන්නේ මෙ වන විට මෙම බ්ලොගය මාගේ ජීවිතයේ වැදගත් කොටසක් වී අවසන්ය..
එම නිසා මෙම බ්ලොග් කෙරුවාව අපහසුවෙන් කර ගෙන යාමට මාහට නොහැකිය..
සැමදා සැහැල්ලූවෙන් ජීවත් වන මාහට පොරොන්දු යනු මහා බරකි.
යම් අයකුට යම් පොරොන්දුවක් දුනි නම් එය දිවි දෙවැනි කොට ඉටු කළ යුතු බව මාගේ හැගීමයි..
එනිසාම සරලව සැහැල්ලූවෙන් කිසිම අයකුට පොරොන්දු දීම මා විසින් කරනු නොලබන්නේ බොහෝ කලක සිටමය..

දුන් පොරොන්දු ඉටු නොකර තව තවත් අළුතින් පොරොන්දු දීම මහා වදයකි...

කිසිවකු හට යම් පොරොන්දුවක් වූ පසු ඔහුට හෝ ඇයට වඩා ඒ පිළිබඳව සිහියේ තබා ගන්නා මා කෙදිනක හෝ එය ඉටු කරලීමට සමත්වන විට ඒ පොරොන්දුව ගත් තැනැත්තාහටත් එය අමතක වී තිබීම කිහිප විටක්ම මා අත්දුටු කාරණයකි.

පොරොන්දු යනු මහා ණයකි.

එබැවින් මෙම ලිපි මාලාව එක දිගටම ලියනවා යැයි මා කිසිවකුට පොරොන්දු වීමට නොකැමැත්තෙමි.
විශේෂයෙන්ම මා ලියනුයේ එදි නෙදා සිදුවන සිදුවීම් සමග මගේ සිත අතීතයට දිවයෑමෙදී මතකයට නැගෙන සිදුවීම්ය..
මගේ පැරණි ලිපි හරියාකාරව කියවා ඇති අයට නම් ඒ පිළිබඳව අවබෝධයක් ඇතැයි සිතමි.
එබැවින් තරිඳුට මෙන් මා හට දිගින් දිගටම මෙය පවත්වාගෙන යා හැකිදැයි මා නොදනිමි.
ඔහු අතරමග කතාව නවතා දැමූවත් නැවත කෙදිනක හෝ එය අරඹනු ඇත..
එතෙක් ඉවසිල්ලෙන් බලා සිටිනවා ඇර කුමක් කරමුද..?
මා පිළිබඳව සහ මෙම කතාව පිළිබඳවත් එලෙසම ඉවසා වදාරන මෙන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි..

........................................................................................................

වෙලාව දහවල් එකොළහේ පැයට ආසන්නය...
මෙතෙක් ක්‍රිඩා කරමින් සිටි සියළු දෙනා එම කටයුත්තත නවතා දමා යුහුසුළුව ඇගපත සෝධා ගෙන පිළිවෙලක් වීමට පටන් ගන්නා මොහොතයි මෙ...

උදෑසන අවදි වූ වෙලෙහි යන්තම් මුව දොවා තේ පානය කිරීමෙන් දවස අරඹන අපේ තරුණ හාමුදුරුවරු කිහිපදෙනා පිළිවෙළකට දත් මැද මුහුණ කට සෝධා ස්නානය කිරීම් රැවුල් කැපීම්, ආදිය කරනු ලබන්නේ දැන්ය.

බොහෝ වෙලාවට එක නමකට හෝ දෙනමකට හෝ සමහර අවස්ථාවලදී තුන් නමටම හෝ පිටස්තර පන්සල් වලින් සාංඝික දානමය පින්කම් වලට ඇරයුම් ලැඛෙන බැවින් ඒ සඳහා යෑම සඳහා දහවල් එකොළහ හමාර පමණ වන විට සූදානම්ව සිටිය යුතුය.

දහවල් පන්සලට පේරුදානය ගෙන එන්නේ නම් ඊට පෙර දින සවස දානය බාරවී ඇති දායක නිවසේ කවුරුන් හෝ පැමිණ පන්සලේ තිඛෙන දානය ගෙන එනු ලබන විශාල බත් බාස්කට් එකත් කෑලි හතරකින් සැදුම් ලත් ව්‍යාංජන දමනු ලබන බාස්කට් එකත් රැගෙන යනු ලබයි.

මෙවැනි බඳුන් කට්ටල දෙකක් පන්සල සතුව තිබුණි.
මාරුවෙන් මාරුවට මෙම බඳුන් දායක නිවෙස්වලට ගෙන යාම සඳහා දෙනු ලබයි.

විය යුතු වතාවත් හරියාකාරයෙන් සිදු වන්නේ නම් මෙම භාජන රැගෙන යාමට පැමිණෙන අය විසින් නිස පරිදි සකස් කරනු ලැබූ දැහැත් වට්ටියක් ගිලන්පසට ඇවැසි දේද සමග ගෙන ආ යුතුය..
ඒ සඳහා දැහැත්(බුලත්), පුවක්, හුණු දුම්කොළ, සහ සීනි, තේකොළ, ගිනි පෙට්ටි, පොල්තෙල්,හදුන් කූරූ, ආදියද ඇතුළත් විය යුතුය.. සමහර විදුලි බලය නැති පෙදෙස්වල නම් ඉටිපන්දම් සහ භූමිතෙල්ද මෙම ලයිස්තුවට ඇතුළත් වෙයි.
විදුලි බලය තිඛෙන පෙදෙස්වල නම් විදුලි බිල සඳහා කීයක් හෝ මුදලක්ද දැහැත් වට්ටිය පසෙක තබනු ලබයි.

විය යුතු ආකාරය කෙසේ වෙතත් ඉදහිට සමහර දායකයකු අතින් මිස මෙම කටයුත්ත හරියාකාරව ඉටු වනු දැකිය නොහැකිය.
බොහෝ විට තේකොළ පණහක් සමග සීනි දෙසිය පණහක් කඩදාසි කැබැල්ලක ඔතාගෙන විත් එය දාන ශාලාවෙ මෙසය මත තබා දාන බාස්කට් රැගෙන යන අතර සමහරුන් විසින් එයද ඉටු කරනු නොලබයි.
ඒ අතරම ඉතා පිළිවෙළින් මෙම වතාවත් ඉටු කරනු ලබන දැයක මහත්වරුන් තිදෙනෙක් පමණක් මම මෙහිදී දුටිමි.

සමහර විටක මෙම වතාවත් ඉටු නොවනුයේ මිනිසුන්ගේ දුප්පත් කම නිසා විය හැකි බව සිතිය හැකි මුත් මා අර කළින් කී පිළිවෙලකට මෙම වතාවත් කරනු ලැබූ තිදෙනාගෙන් දෙදෙනෙකුම ඉතා දිළිඳු තත්වයේ පසු වන්නන් වීම නිසා එම තර්කයද බැහැර කරලීමට සිදු වෙයි.
බොහෝ විට මෙයට හේතුව උවමනාවක් නොමැති වීම සහ කළ පුරුද්දක් දැක පුරුද්දක් නොමැති වීමත් යන කාරණා බව පසුකාලීනව මා තේරුම් ගතිමි.

කෙසේ හෝ පෙර දින දාන භාජන රැගෙන ගොස් ඇත්නම් අනිවාර්යයෙන්ම දහවල දානය පන්සලට ලැඛෙන බව ස්ථීරය.
නොඑසේනම් දානය පිළිබඳව බලාපොරොත්තු අතහැර ගැන්මට සිදු වෙයි.
නමුත් සමහර විට පන්සලේ දාන භාජන ගෙන නොගියද නිවෙස්වල තිඛෙන කුමන හෝ භාජනයන් වල අසුරාගෙන හදිසියේ ගෙන එනු ලබන දානද අතරින් පතර විය.
එවැනි දාන තරමක් භයානක අත්දැකීම්වලට හේතුවෙ.
ඊට හේතුව වන්නේ...
පෙර දින දාන භාජන ගෙන නොයෑම නිසා පසු දින දානය නොලැඛෙ යැයි සිතා සමහර විට පන්සලේ සිටිනා සියළුම භික්ෂූන් වහන්සේලා පිටත පන්සල්වල දානයට වැඩම කරනු ලැබීමයි.
එවැනි විටක පන්සලේ සිටුනුයේ මා පමණකි.

හිටි හැටියේ හොර අල්ලන්න මෙන් ගෙන එනු ලබන එවන් දානයක් පිළි ගැනීම පන්සලේ භික්ෂූන්වහන්සේලා නොසිටියහොත්.. ගෝරි ගොඩකි.

හ්ම්..අපි මහන්සි වෙලා දානේ අරන් එනවා..මුන්දැලට බැහැ පන්සලේ ඉන්න..
මොකද අපි දානේ වරද්දන අයද..?
ආයේ නම් අපි දෙන්නේ නැහැ මෙ පන්සලට දානේ..

මෙ තරමක් හොඳ ආකාරයයි..
මීට වඩා නොසරුප් ලෙස හැසිරෙන අය ඔනෑ තරම් මම දැක ඇත්තෙමි.
ඇත්තටම මිනිසුන්ගේ ගති ස්වභාවයන් පිළිබඳව හොඳින් අත්දැකීමට නම් පන්සලකම ජීවත් වී බැලිය යුතුය.

මාස කීපයකට වරක් මතක් වූ විට පමණක් දානය ගෙන එනු ලබන මෙවැනි බොහෝ අය තමන්ට වෙන් කර ඇති දාන සීට්ටුව වෙන අයකුට දීමටද සතුටු නොවෙ..
එසේ දාන සීට්ටුව අන් අයකු සතුවීම තමාට කළ මහත් වූ මදිපුංචි කමක් සේ ඔවුහූ සලකති.

නමුත් භාරගෙන ඇති දානය නිසි පරිදි දීමද ඔවුන් අතින් සිදු නොවෙ..
අවසන් ප්‍රතිඵලය හාමුදුරුවරු පමණක් නොව පන්සලේ සිටින ඇබිත්ත කොල්ලාගේ පටන් බලූකුක්කා පටන් කුසගින්නේ සිටීමයි.. බුද්ධ පූජාව ගැන කුමන කතාද..?

මෙසේ දහවල් වන විට යම් සැලැස්මකට අනුව පිරිස සූදානම් වෙති.
කලින් දින දාන බාස්කට් රැගෙන ගොස් ඇත්නම් එක් නමක් පන්සලේ රැදී සිටීම අනිවාර්යය වෙ.
ඒ දානය පිළිගැනීමටය...

අන් හිමිවරුන් පිරිසිදු වී සිවුරු පොරවා තමන්වහන්සේලා වැඩමවීම සඳහා වාහන පැමිණෙන තෙක් බලා සිටින අතර..මා දාන ශාලාව පිරිසිදු කර බුද්ධ පූජා භාජන කට්ටලය පිරිසුදු කර සූදානමෙන් සිටිමි.

දානය ගෙන එනු ලබන සැදැහැවතුන් පැමිණි පසුව එම දාන භාජන පිළිවෙළකට තබා ඉතා පරිස්සමට බුද්ධ පූජාව ඛෙදා එම පැමිණි අය අතට දී බුදු මැදුර කරා යවන අතර ඔවුන් එහි ගොස් බුද්ධ පූජාව තැන්පත් කර,තමන් විසින්ම පන්සිල් සමාදන් වී බුද්ධ පූජාව පවත්වා නැවත දාන ශාලාවට පැමිණෙන අතර තුරදී සියළුම භාජන අස් පස් කර පිළිවෙළකට තබා බිමට පැදුරු එළා පන්සලේ රැඳී සිටින හිමි නමට පින් දීම සඳහා ඇරයුම් කර මා පසෙකට වී බලා සිටිමි.

ඉච්ඡිතං..පච්ඡීතං තුහියං..
පන්සලේ රැදී හුන් හිමි නම ලහි ලහියේ පින් වාක්‍යය කියනු ලබයි..

තුන්ලෝකාග්‍රවූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා...ප්‍රථම කොටම සුවිශුද්ධ වූ ලෙස බුද්ධ පූජාව.. පවත්වා..
ඉක්බිති.. තත්පරයට වචන හැටෙ වෙගයෙන් හිමි නම පින් දෙයි...

ඇත්තෙන්ම මෙම වතාවත් කරනු ලබමින් සිටි කාලය තුල මා හට මෙම කටයුතු මෙයට වඩා කොතරම් හොඳින් කලහැකිදැයි දහස්වර සිතී ඇත.
මහන්සි වී ගෙන ආ දානයෙහි අග්‍රභාගය ඛෙදා ඔවුන්ටම බුද්ධ පූජාව පූජාකරගන්නට ඉඩ නොහැර බුදු ගෙයි හෝ දාන ශාලාව තුළදීම හෝ පිරිස පන්සිල් සමාදන් කර ගාථා කීපයක් කියා බුද්ධ පූජාව පවත්වා පින්දීම කළ හැකි නම්..

කෙසේ හෝ එක්ස්ප්‍රස් ආකාරයෙන් පින් වාක්‍යය කියා නිමවා පැමිණි පිරිස ඉක්මනින් තම තමන්ගේ ගෙවල් වලට යවා දමන අතර එයින් පසු උවමනා නම් දානය වැළදිය හැක...

මෙ සාමාන්‍ය ක්‍රමයයි..

නමුත් වැඩෙ මීට වඩා සංකීර්ණ වන අවස්ථා තිඛෙ..

දානය ගෙන ඒම සඳහා බාස්කට් ගෙන ගොස් තිබියදීම තුන්නමටම පිටත දානයකට වැඩම කිරීමට සිදුවන අවස්ථාව ඉතා සංකීර්ණය..

පන්සලට දානය ගෙන එන පිරිස හට පින් දී ඔවුන් ඉක්මනින් පිටත් කොට යවා ඔවුනට නොදැනෙනසේ..හා ඔවුනට නොපෙනෙන සේ..
වෙනත් දානයකට වැඩීම එතරම් පහසු නැත.

කොහොමටත් දානය ගෙන එනු ලබන උපාසක ඇත්තන් තමන්ගේ දානය නොවළදා හිමිවරුන් පිටස්තර දානයන් සඳහා වඩිනවාට එතරම් කැමැත්තක් නැත.

ඔවුන් කැමති සියළුම හිමිවරුන් පන්සලේ රැඳී සිට තම දානයම වළදනවාටය...

දානය ගෙන එන වෙලාවෙහි පන්සලේ මිදුලේ වාහනයක් නවතා ඇත්නම්.. එය වෙනත් දානයකට යෑමට හිමිවරුන්ගේ සූදානමක් ඇතැයි යන පණිවිඩය දායකයා අතට ගෙන යන්නේමය..

මෙවිට බොහෝ දායක ඇත්තන් කරනු ලබන්නේ දානය පූජා කර අවසන් වූ පසුවත් පන්සලෙන් නොගොස් අවට දැවටි දැවටී සිටීමයි...
එවිට ඔවුනට පෙනි පෙනී පන්සලෙන් සියළුම හිමිවරුන්ට පිටවී යා නොහැක..

දායකයින් පන්සලෙන් පිටව ගොස් අවසන් වූවද සමහර විට පන්සල අවට පාරෙ රෑදී සිටින අවස්ථාද ඇත..

එවැනි විටක දායකයින් ආපසු යන පාරෙ නොයා අන් මගකින් වැඩම කළ යුතුය..

මෙවැනි අවස්ථාවල වැඩිම කරදරයක වැටෙන්නේ ඇබිත්තයන් වන අපය..

අද මොකද වාහනයක් ඇවිත්.. දානයකටවත් යන්නද හාමුදුරුවරු...?
කවුද පන්සලේ ඉතිරි වෙන හාමුදුරුවෝ...?
කළින් කිවුවනම් මෙච්චර ගොඩාක් හදා ගෙන එන්නේ නැහැනේ...

කචල් ගොඩයි...
(මා මෙහි සඳහන් කරනු ලැබූවෙ මෙම අවුල් වලින් සීයයට එකකටත් අඩු ප්‍රමාණයක් බව සැලකුව මනාය)

රැවුලයි කැඳයි දෙකම ඛෙරා ගෙන වැඩ කිරීමට නම් එතරම් පහසු නැත. කෙසේ හෝ හැකි සෑම උප්පර වැට්ටියක්ම යොදවා රැවුල ඛෙරාගෙන කැ+ඳබීම හොඳ ඇබිත්තියකුට කළ හැකි විය යුතුමය...
මා සිතනා පරිදි මා මගේ මුළු ජීවිත කාලෙදීම වැඩිම බොරු තොගය කියන්නට ඇත්තේ මෙ ඇබිත්තකම් කල සමයේ විය යුතුය..

(මෙම ලිපි බලනා කවුරුන් හෝ ඇබිත්තයකු වීමට සූදානමෙන් සිටීනම් ඒ පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් මාගේ උපදෙස් මත ලබා ගත හැකි බව දැනුම් දීමට කැමැත්තෙමි.)

ඔයින් මෙයින් දහවල දානයේ අවුල ලිහා..
යන්තම් හුස්මක් එහෙම අරගෙන ඊට පස්සේ ඉන්න හාමුදුරුවරුනුට දානය පිළි ගන්වා අවසන මාත් සප්පායම් වී බලූ පැටවුන්ටද කන්නට දී අවසන තවත් දානය ඉතිරි වී ඇත්නම් එය රාත්‍රියට ප්‍රයෝජන පිණිස අරන් තබා අවසන් වූ දන් බඳුන් සෝදා වෙලෙන්නට තබා.. සියළුම දෙනා කෙටි නින්දකට වැටෙන්නෝය...

පන්සලේ සිටි කාලයේ මා විසින් පුරුදු වූ නරකම දේ මෙයයි...

දහවල් එකහමාරේ සිට දෙක හමාර පමණ වනතෙක් කොහේ බිම වැටී නිදා ගැන්ම සාමාන්‍යය දින චරියාවෙ තවත් කොටසක්ම විය..

දැඩි හිරුරැස් අවසන් වන්නට පටන් ගන්නා හාම නැවත නැගී සිට මිදුලට පිළිපන් විහාරවාසීන්..
නැවතත් ක්‍රිකට් ක්‍රිඩාවෙ යෙදීම හෝ ආවාසය ඉදිරිපිට සිමෙන්ති පඩියේ වාඩිවී අඹකයියක් ගසා සිටීම විනෝදජනකය..

නමුත් මා වඩාත් ප්‍රිය කරනු ලැබූවෙ පන්සලේ අහමුළුවල තිබූ විස්සකටත් අඩු පොත් පත් කිහිපය ගෙන ඒවා කියවා තේරුම් ගැනීමට උත්සහ කිරීමටය.

ඒ අතර තිබූ එක් විශාල කවි පොතක් නිසා ජොතිෂ්‍යය ඉගෙනීමෙ ආරම්භයද මෙහා සමගම වූ බව සනිටුහන් කිරීමට කැමැත්තෙමි.
ජාතකරතනාකරය නම් වූ එය පැරණි කාලයේ මුද්‍රණය කල එකක් විය.
එහි වූ කවි සියල්ල සරල සිංහලයට පෙරළාගෙන ඉගැන්ම සඳහා මා හට වර්ෂ දෙකක් පමණ කල් ගත විණි.

මෙලෙස සෑදෑ සමය ගෙවී යන අතර සවස තුනහමාරට පමණ මා විසින් තේ කහට වත්කර කෝප්පවලට දමා ගෙන එන අතර දහවල් දානයට වඩිනු ලැබූ හිමවරුන් රැගෙන විත් තිඛෙන අවුළුපත් පිරි සිලි මල්ලක්ද ලිහා සිමෙන්ති පඩිය මත තබා එහි වූ කැවිලි කමින් සීනි නොදැමූ කහට තේ පානය කරන්නෙමු.
දහවලත් ගෙවී ගොස් අවසන්ය...

......................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

19 May 2010

පන්සල් ජීවිතේ... පළමුවෙනි දවස...

සියළු අපේක්ෂාවන් හා බලාපොරොත්තු වල දමා අරමුණක් නැතිව යන ගමනේ මට හමු වූ මෙ අපූරු නවාතැනින් පිටව යාමට මට උවමනාවක් නොවීය...

එහි නැවතී සිටීමට මා කැමති වීමි.
විශේෂයෙන්ම සැපතක්යැයි කිව හැකි කිසියම්ම හෝ දෙයක් නොවුණද..? එහි මා වැන්නෙකුට අවැසිම වූ දෙය වූ විවෙකය හා සැනසීම තිබිණි.
කිසිදු බාහිර කරදරයක් නොවුණි.
කල යුතුවූයේ ලැඛෙනා දෙයකින් සැනසී පාඩුවෙ සිටීම පමණකි.
මා නැවතීමට තීරණය කළෙමි.

පළමු දිනය ගෙවී යමින් තිබිණි.
එක් දිනක් තුළ මා බොහෝ දේ උගෙන තිබිණි.
කොහොමටත් ඉතා පහසුවෙන් ඔනෑම දෙයක් බලා සිට එය ඉගෙන ගැනීම සඳහා වූ මා සතු හැකියාව මෙහිදීද මා හට උපකාරී විය.
දිනය ගතවී යන ලදි.

තවත් දිනක් උදා විණි.
මා පසු දින සිටම වැඩ බාර ගතිමි.

දින කීපයකින් මා විහාරස්ථානයේ සියළු ආවතේව කටයුතු මා වෙත පවරා ගතිමි.
එයින් විශේෂයෙන්ම සතුටට පත්ව සිටියේ කුඩා හිමිනමය..

සාමාන්‍ය දින චරියාව මෙසේ විය..

උදෑසන පහමාර හය වන විට මම අවදිවීමි..
පළමුකාර්යය වූයේ මුහුණ කට සෝදා ආවාස ගෘහය අතුපතුගා පිරිසිදු කරලීමය..

අනතුරුව බුද්ධ පූජාව තබන බන්දේසිය හා කුඩා පාත්‍රයත් පැන් වීදුරුවත්, බුද්ධ පූජාව ඛෙදන හැදි කිහිපයත් සෝදා කුඩා දාන ශාලාවෙ මෙසය මත තැන්පත් කර තැබීමය.
එසේම දායක ඇත්තන් විසින් ගෙන එනු ලබන දානය මාරු කරගත යුතු බඳුන් කිහිපයත් සෝධා පවිත්‍ර කර ඒ අසලම තැබිය යුතුවිය.
අනතුරුව හීටරය ගසා වතුර රත් කර සියළු දෙනා හටම තේ පිළියෙළ කළ යුතු විය.
පිළියෙළ කල තේ සියළුම හිමිවරුන්ගේ ඇඳ අද්දර තිඛෙනා වූ කනප්පු හෝ මෙස මත තබා පීරිසි වලින් වසා දමා උන්වහන්සේලාහට ගිලන්පසට ආරාධනා කල යුතුය.
නමුත් ඒ ආරාධනය උන්වහන්සේලාට නෑසෙන සේය...

උන්වහන්සේලා ආරාධනය පිළිගත්තත් නැතත් මා එම කර්තව්‍යය අවසන් කර මිදුල ඇමදීම සඳහා යන්නෙමි.

ටික වෙලාවක් යන විට උපාසක මහතෙකු හෝ මහත්මියක් විසින් උදෑසන දානය රැගෙන එන අතර මෙය දිනපතාම සිදු නොවන කටයුත්තකි.
ඒ දිනවල මාසයේ දින තිහෙන් දින දහ හතක් පමණක් ස්ථීර වශයෙන් දානය ලැබුනද..අන් දිනවල උදෑසන හීල්දානය නොලැබීම සාමාන්‍යය කරුණක් විය.
කෙසේ හෝ දානය ගෙන එන්නාත් සමගම ඒ එන කවුරුන් හෝ සමග දන් ගෙට ගොස් ගෙන ආ දාන භාජන විවෘත කර පිළියෙළ කර තැබූ බුද්ධ පූජා බන්දේසියට බුද්ධ පූජාව ඛෙදා පැමිණි දායක මහත්මා හෝ මහත්මිය අත තබා එය පූජා කිරීම සඳහා බුදු මැදුර වෙත යවා අනතුරුව වහ වහා ගෙන ආ දානය පන්සලේ භාජන වලට මාරු කර දානය රැගෙන ආ භාජන ටික සෝදා පවිත්‍රකර ගෙන යාමට සුදුසු පරිදි සකස් කර තබා දවසේ අසීරුම කාර්යයට යමි.

මුළින්ම චන්දවිමල පොඩි හාමුදුරුවන් ළගට ගොස්..

පොඩිහාමුදුරුවනේ...පොඩි හාමුදුරුවනේ...
ම්හ්....ඇයී.....
දානය ගෙනල්ලා.. ඇවිදින් පින් දුන්නානම්...
අනේ...අයියේ...මට නිදි මතයි...අර සුමෙද හාමුදුරුවන්ට කියන්නකෝ...

සුමෙද හාමුදුරුවෝ ළගටත් ගිහින්..

සුමෙද හාමුදුරුවෝ...දානය ගෙනල්ලා පින් දෙන්න වඩිනවද..?
අනේ මලයෝ නාරදට කියපන්කෝ...

මහ කාමරයේ නිදා සිටින නාරද හාමුදුරුවන් ළගට ගොස්..

නාරද හාමුදුරුවනේ..නාරද හාමුදුරුවනේ...
ඇයි.. මොකද...?
දානෙට පින් දෙන්න වඩිනවද..?අර දෙන්න තාම නිදි..
අනේ බං අර චන්දවිමලටම කියපන්කෝ...

ආයෙමත් පොඩිහාමුදුරුවන් ළගටම යෑමට සිදු වන අතර නැවතත්..

පොඩිහාමුදුරුවනේ...
යංකෝ දැන් උපාසක අම්මාත් ඇවිත් වාඩිවෙලා බලන් ඉන්නවා..
පටස්ගාලා පින් දීලා ඇවිත් ආපහු නිදා ගන්නකෝ...

මොන......මන්දා..

හැමදාමත් වගේ සිදුවන මෙම ක්‍රියාදාමය කෙළවර වන්නේ මෙලෙසිනි.
යන්තම් කට සෝදාගෙන විත් පින් වාක්‍යය පමණක් ඉක්මනින් කියා ආපසුගොස් ඇඳට වැටෙන පොඩිහාමුදුරුවෝ..
නැවත නැගිටින්නේ අන් දෙදෙනාත් සමගම තවත් පැය බාගයකින් පමණ පසුවය...

වචනයෙන් නොකීවද මෙ සෑම දෙයක්ම දානය ගෙන ආ අයට රහසක් නොවන බව ඔවුන්ගේ මුහුණු බලන කල මා හට කිව හැක.

දානය ගෙන ආ අය ගියාට පසු මිදුලේ ඉතිරි කොටසද ඇමද නිමවා..
ඇග සෝදා ගන්නා මා නැවත දාන ශාලාවට පැමිණ අප සියළු දෙනාගේම පිගන් සෝදා මෙසය මත පේළියට තබා ගෙන ආ දානය සමසේ ඛෙදන්නෙමි.
සමහර විට එක් අයකුට ඉඳිආප්ප පහක පමණ ප්‍රමාණය පමණක් ඛෙදෙන අවස්ථා ඔන තරම්ය..

දානය ඛෙදා අවසන මෙසය හා භාජන අස්පස් කර..
බුද්ධ පූජාව තැබූ බන්දේසිය රැගෙන විත් එහි ඇති දෑ අනා බලූ කුක්කන් කිහිප දෙනාට ඛෙදා දී භාජන සෝදා තබා අවසන් වන විටම වාගේ උදෑසන මා සකස් කර තැබූ ගිලන්පස කෝප්පය හිස් කරමින් අපේ හාමුදුරුවරුන් දාන ශාලාවට පැමිණ තිඛෙන දෙයක් ඔහේ වළදන අතර මාද මට හිමි පංගුව ගිල දමා..නැවත තේ වතුර ආදිය ඇවසිබව කවුරුන් හෝ පවසන ලදි නම් එම අවශ්‍යතාවයද ඉටු කරදී උන්වහන්සේලා දන් වැළදූ පලගාන්ද සෝදා පසෙක තැබීමෙන් පසුව උදෑසන රාජකාරි මුරය අවසන් වන අතර..

ඉන්පසු සමහර විට ආරම්භවන්නේ ක්‍රිකට් වසන්තයයි.

මිදුල මැද සිටවූ පෝර ලී තුනකින් සමන්විත කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහරදීමට සියල්ලන්ම පොර කයි.
පන්දු යැවීම මා හට අයත් කාරියකි.
නමුත් ඉතා ඉක්මනින්ම තිදෙනාම දවා ලු කල මාහට ලැඛෙන අවස්ථාවෙදී ඉතා සෙමින් පහරවල් එල්ල කරන්නට මා සැලකිළිමත් වන්නේ..පන්දුව පසුපස ඈත දිව යාමට හාමුදුරුවරුන්ට සිදුවූවහොත් එය එතරම් සුදුසු නොවන බැවිනි.
දහවල් එකොළහට ආසන්න වද්දීම මෙම කටයුත්තද අවසන් වන අතර දවසේ දෙවන වැඩ මුරය ආරම්භ වන්නේද වෙයි.

.............................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

18 May 2010

පන්සලේ ජීවිතේ... ඇබිත්ත දිවියේ ඇරඹුම...

එළියේ වහිනවා හොඳටෝම...

දැන් තමයි නින්ද ගිහින් ඇහැරුනේ...
ඊයේ රෑ පුරාම හරි හැටි නින්දක් නැහැ.ඒ හින්දා උදේ ගෙදර ඇවිත් ජංජාලේ පැත්තේ චුට්ටක් ඇවිත් එහෙමම නිදා ගත්තා.
නිදා ගන්නකොට නම් පැහැපත් කාලගුණ තත්වයක් තමයි තිබුනේ ඒත් දැන් බලනකොට හිටු කියලා වහිනවා.

නිදා ගන්න කළිං හිතන් හිටියේ දවල් වෙලා කඩෙ ගිහින් උයන පිහන බඩු මුට්ටු ටික ගෙනත් දානවා කියලයි.
කොහේද දැන් ඉතින් ඒක කරන්නේ...?
ගෙදර තිබුන සියළුම කන බොන ජාති ඉවරවෙලා..ආ.. නැහැ... බොන ජාතියෙන් නම් තව බාගයක් ඉතිරියි.
ඒත් ඉතින් ඒකට ඔන කරන අඩුවැඩිය එහෙමත් ඉවරයි...

දැන් ඉතින් මක් කරන්නද..?
ඉතිරි වෙලා තිබුනේ හාල් මිටකුයි, පරිප්පු ටිකකුයි, ලුණූ, සුදු ළුණු, මිරිස්,කරපිංචා විතරයි.
මිරිස් කුඩු බෝතලෙත් අන්තිම ටික..

හාල් මිට හෝදලා ලිප තියලා පරිප්පු ටිකකුත් මිරිසට හදන්න ලක ලෑස්ති කරගත්තා..
අද ඉතින් දවල්ට පරිප්පුයි බතුයි විතරයි..
අවුලක් නැහැ. ලද දෙයින් සතුටු වීම හොදයි නෙව..

අනික මෙහෙම වත් කන්න නැතිව අද මෙ වෙන කොට කී දෙනෙක් මෙ ලෝකේ බඩගින්නේ ඉන්නවා ඇතිද..?

හවස් වෙලා පෑවුවොත් බැරියෑ රෑ කෑම වෙල ගැන බලන්න...

...................................................................................................................

මදැයි කොළා...
ලිය ලිය ඉද්දී විදුලි බලයට ඇණයක් හිටියා නෙව...
ඒ ගමන ඉවුම් පිහුම් අංශයට ගිහින් වැඩ කටයුතු ටික අවසන් කරලා හදා ගත්ත බත් මිට බංඩියට දාලා භාජන ටික හෝදලා දාලා ආවා.. බංඩියට සතුටුයි...ඔයාලටත් සතුටුයි නේද..?

..................................

හොඳයි දැන් ඉතින් අද දවසේ ලියමන...

මම මුලින්ම පන්සලට ගිය දවස ගැන මම කිවුවා මතක ඇතිනේ...

කොහොම හරි එදා රෑ රූපවාහිනිය එහෙම බලලා ආවාසයේ ඉස්සරහා කාමරයේ බිම එළා ගත් පැදුරක දිගා වෙලා නිදා ගත්තා...
අඩි දහයයි එකොළහ ප්‍රමාණයේ කාමරයක් උන එහි අබලන් ඇදන් දෙකක් තබා තිබුනු අතරම ඒවාට සිවුරු රෙදි එළා තිබිණි.
මා හට කාමරයේ නිදා ගන්නා ලෙස කී පොඩි හාමුදුරුවන් කැමති ඇඳක නිදන්නැයි කීවද.. එය මා හට කළ නොහැකි බැවින් බිම පැදුරක වැටී නිදා ගැන්ම හිතට මහත් සහනයක් විය.
ඒ තබා එදින රාත්‍රිය කොහේ හෝ අගුපිළක වැටී හෝ නිදා ගැනීමට සැරසී සිටි මාහට මෙය ඉහටත් උඩින් විය...

සිතේ අනන්ත අපමණ ගැටළු ඒ මෙ අත යමින් පුපුරු ගසමින් තිබුණි...
උපන්දා සිට දිවි ගෙවූ නිවස සදහටම අතහරින්නෙමැයි සිත තදින් තීරණය කර තිබුණි.
කලකිරීම එතරම් බලවත් විණි...
මා හට කළ හැකි උපරිම අන්දමින් එතෙක් කළ හැකි සියළු යුතුකම් ඉටුකරලු බව දන්නා නමුත් මෙතැන් පටන් එම සියළුම දේටත් වඩා මා ගෙදර හැර පියා ආ බව දැන ගත් පසු ගම්වැසියන් අතර මා පිළිබඳව ගොඩනැගෙන ප්‍රතිරූපය කෙබඳුදැයි මා හට සිතා ගත හැක...
නමුත් තව දුරටත් කළ හැකි අන් යමක් නොතිබුණි...
කටක් ඇර තවකෙකුට විස්තර කර දිය නොහැකි ක්‍රියාවන් රැසක් නිවස තුළ සිදු වී තිබුණි.

ඒ පිළිබඳව කා හටවත් පැහැදිලි කරදීමට මා හට කෙදිනකවත් නොහැකි වනු ඇත..
අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ මා නිවස හැර දා ගිය අසාධාරණ අයකු බව හන්වඩු ගැසීම පමණකි.
නමුත් එය සිදුවීමට ඉඩ දෙනු විනා වෙනත් කල හැකි අන් යමක් මා සතු නොවීය...

අනාගතය පිළිබඳව සිත තුළ වූ සියළුම බලාපොරොත්තු තව දුරටත් මා හට හිමි නොවන ඒවා බව පසක් වෙන කල ...
මෙතෙක් කලක් ගොඩ නගාගෙන ආ සියළුම දේ මතකයන් තුළ පමණක් රැදෙමින් බොඳවී යන බව සක් සුදක් සේ පැහැදිලිව දක්නට තිඛෙනා කල...

අනාගතය තුළ අතීතයක් නොමැති ගන්දබ්භයකු සේ සරන්නට සිදුවන බව සිහිපත් වන කල...
මෙතැන් පටන් මා කාත් කවුරුවත් නොමැති අනාථයකු සේ දිවියේ ඉතිරි දුර ගෙවා දැමිය යුතු බව අවබෝධ වන සඳ...

සාමාන්‍ය මනුස්සයකු සේ හඩනවා හැර කුමක් කරන්නද..?

ශබ්දය අන් අයට ඇසීම වලක්වා ලීම සඳහා දෙතොල් තදින් පියා ගන්නට උත්සහ දරන අතරම මෙතෙක් කලක් දැනුම් තේරුම් ඇති කිසි කලෙක නොකළ අන්දමෙන් හඩා වැටෙනවා ඇර කළ හැකි අන් කිසිවක් නොවුණි...

හිස තබා සිටි පැරණි බැවින්ම කිළිටි වී ගිය කොට්ටයට උඩින් එළා ගත් තුවාය තෙත් වන තුරුම කඳුළු ගලා යන අතරම සිත හා ගත දෙකම සැහැල්ලූ වී නින්ද මා කරා පැමිණ තිබුණි...

සිහින් ආලෝකයක් සමගම අවදි වන විට වෙලාව උදෑසන පහයි හතලිස් පහට පමණ විය.

නිදා සිටි පැදුර අකුලා තබා බෑගය තුළ තිබූ කලමනා ටික එළියට ගෙන අවශ්‍ය කලමනා රැගෙන අන් අයට බාධා නොවන සේ දොර විවෘත කර ආවාසයෙන් එළියට විත් අවට සිසාරා බලනා අතරම මුහුණ කට සෝදා ගත්තෙමි.
බැළු බැළු සැම අතම දක්නට තිබුනේ පරිහානියේ ලක්ෂණ පමණකි.

ගරා වැටෙමින් තිබූ වහලට මුක්කු ගසා තිබූ තරමක් විශාල බණ මඩුව..
පොළව පුපුරා ගොස් කපරාරු තට්ටු කඩා හැලී තිඛෙන පැරණි බුදු මැදුර..
දිය සෙවල බැඳී දුර්වර්ණව පැවති මෙලෝ ලස්සනක් නැති හතරැස් බෝධි ප්‍රාකාරය..
අතීතයේ වරින් වර කිසිදු සැලැස්මක් නැතිව වරින් වර අණ්ඩ දමා සකස් කළ බව දක්නට ඇති ආවාසය..

මෙ සියල්ල මැද නව නිර්මාණයක් යැයි කියා කිව හැකි එකම දේ වූයේ කුඩා කඳු ගැටයක් මුදුනත සමතලා කොට ඒ තුළ සියළුම පන්සලට අයත් ගොඩ නැගිලි නිමවා තිබූ චතුරස්‍රාකාර සමතලා බිමක් වූ පන්සල් භූමිය හරි මැද පිහිටවා තිබූ ගණ්ඨා කුළුණ පමණකි...
බැළු බැළු තැන බල්ලන් විසින් ජරා කොට තිබුණි...

පන්සල් මිදුල මැද තැනින් තැන අගල් දෙක තුන උසැති තණකොල වැවී ඇත...
පන්සලේ හොඳ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සිටින බවට සලකුණු එම තණ පලස තැනින් තැන සුද්ද වී තිබූ අයුරින් පැහැදිලිව දැක ගත හැකිවිණි.
පෙර දින පන්සල් බිම අතු ගා තිබූ බව පැහැදිලිව දක්නට ඇත..
නමුත් මිදුල් කොන් වලට වන්න කඳු ගසා කුණු ගොඩවල් විණි.

මුහුණ සේදීමෙන් පසු මිදුලට බට මා මඩුවක් තුළ තිබූ ඉදලක් ගෙන ආවාසයට ආසන්නම පෙදෙස තෝරාගෙන අමදින්නට විය...

කුඩා කළ සිටම තිබූ පළපුරුද්ද නිසාම පොල් අත්තේ හැඩයට බිම හැමදීම මා හට අමුතු දෙයක් නොවිණි.

ටික වෙලාවක් යන විට ඉදිරිපස දොරින් එක් භික්ෂුවක් අදනකඩය සකස් කරමින්ම එළියට එමින් මා දෙස බලා...
ආ.. අතුගානවාද...? තාම දානේ අරගෙන කවුරුවත් ආවේ නැද්ද..යි.. අසමින්ම වැසිකිළිය දෙසට පිය මනින්නට විණි.
තවමනං කවුරුවත් ආවෙ නෑ හාමුදුරුවනේ..

එහෙනං අදත් බඩගින්නේ තමයි වගේ...කියමින් සිනා වෙමින්ම යන්නට විය...

මඳ වෙලාවකින් නැවතත් උන් වහන්සේ ආවාසයට වැඳුණි.

කාලය සෙමින් ගත වෙමින් තිබිණි.
වෙලාව උදෑසන හතයි තිහ පමණ වන්නට ඇත...

සිහින් කුස ගින්නක් මෝදු වෙමින් තිබුණි.
ආවාසය ඇතුළත යන්තම් ශබ්දයක් නැගෙමින් තිබිණි.
මිදුලේ සෑහෙන ප්‍රමාණයක් ඇමදීමෙන් පසු ඉදල පසෙක තබා අත පය සෝදා ගත් මා ආවාසය තුළට ඇතුළු වීමි...

අයියේ... මොකද කරන්නේ...? ඒ හඩ පොඩි හාමුදුරුවන්ගෙනි.
මුකුත් නෑ හාමුදුරුවනේ කියමින් හඩ නැගී ආ පෙර දින රූපවාහිනිය නැරඹූ කාමරයට පියමැන්න මා හට දිස් වූයේ.. එම කාමරය තුළ වූ ඇද මත දිග ඇදී සිටි එක් හාමුදුරු නමක්ද..
ඒ අසල බිම එලු පැදුරක සිටි උදෑසන අවදිව එළියට ගොස් පැමිණි හාමුදුරුවන් හා කාමරයේ බිත්තියට හේත්තු වී බිම වාඩි වී සිටි පොඩි හාමුදුරුවනුත් නැවතත් රූපවාහිනී නරඹන ආකාරයයි.

ආ අයියේ වාඩි වෙන්න..
ඉතින් කොහොමද...? නින්ද ගියාද..? පොඩි හාමුදුරුවන් ඉතා ප්‍රිය මනාපය..

නැවතත් අප සියළුම දෙනා කතා බහ කරන්නට විය...
මා පිළිබඳව මෙන්ම ඔවුන් ගැනද විහාරස්ථානය ගැනද කරුණු සාකච්ඡාවට බඳුන් වන අතරම පොඩි හාමුදුරුවන් මාද කැඳවාගෙන දාන ශාලාවට ගොස් තේ පිළියෙළ කලේය..
දාන ශාලාව කිවූ මුත් එය ආවාසයෙම පසුපසම වූ කුඩා කාමරයක් විණි.
පිටු පස දොරින් එපිට තිබූ පැරණි කුස්සිය තුල පමණක් වතුර කරාමයක් වූ අතර වරින් වර එහි ගොස් කෝප්ප සෝදා තේ සකස් කිරීම සෑහෙන කාලයක් ගතවන කටයුත්තක් විය.

උදෑසන තේ පානයෙන් පසු නැවත් වතාවක් සියළු දෙනාම මිදුලට ගොස් මිදුල අමදින්නට විය...
ඒ වන විට මා විසින් විශාල මිදුලින් අඩකට ආසන්න ප්‍රමාණයක් අතුගා තිබුනද ඉතිරි ටික ඇමදීමටත් සෑහෙන වෙලාවක් ගත වූයේ වැලි සහිත පොළොවෙ වැටී තිබූ කොහොඹ කොළ, බෝපත් අතු ගෑම ඉතා සීරු මාරුවට කළ යුතු කි්‍රයාවක් වූ නිසාය...

උදෑසන නවය පසුවන තෙක්ම අතුගෑමෙ නිරත වූ සියළු දෙනා එය හමාර වීමෙන් පසු මුහුණ කට සෝදා ගෙන ආවාසයෙහි ඉදිරිපස වූ සිමෙන්ති බැම්ම මත වාඩි වී කතා බස් කරන්නට වූ අතර මාද බිම වාඩි වී අසා සිටින්නට විය...

අද උදේට නම් දානේ නැහැ... චන්දවිමල තැඹිළි ගෙඩියක්වත් කඩමුද..?
වැඩි මහළු භික්ෂුව වූ සුමෙද හිමි අසන ලදි..

සුමෙද හාමුදුරුවන් යනු වයස තිස්පහක් පමණ වූ මුත් ඉතා කුඩා ශරීරයකින් හෙබි කරුණාවන්ත බොහෝ දුරට සංවර ගති ඇති හාමුදුරු නමකි.
උන්වහන්සේ කළුතර දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර පෙදෙසක කුඩා පන්සලක දිවි ගෙවූ අතර දැනට මෙම විහාරයේ වස් කාලය තුළ රැදී සිටියේ මෙම විහාරස්ථානයේ තාවකාලික භාරකාරත්වය පැවරී තිබූ නාරද හිමියන්ගේ දැඩි ඉල්ලීම මතය...
නාරද හිමියන් වයසින් මට වඩා වසරක් වැඩි මහළුවිය.
උපසම්පදා වී තිබුනේ මෙයට මාස දෙකකට පමණ කලින්ය..
වස් කාලයතුළ කල යුතු වත් පිළිවෙත් තනිවම කරගැනීමට අපහසු බැවින්ම තම පිරිවෙන් සගයකු වූ සුමෙද හිමියන්ගේ සහය පැතූ උන්වහන්සේ, තවත් තමා උගත් පිරිවෙනෙහි සිටි ඉගෙනුමට අකමැති කුඩා භික්ෂූවක වූ චනද විමල නම් වූ පොඩිහාමුදුරුවන්ද තම සහයට කැඳවාගෙන විත් තිබිණි.
චන්ද විමල හිමියන් ඒ වන විට වයස දහ අටකට ආසන්න වයසකින් හෙබි උසින් අප සියළුම දෙනාට වඩා වැඩි අයකු වූ අතර ලෝකය පිළිබඳව ඉතා අල්ප දැනුමකින් යුක්ත අයකු විණි.
දානයකදී පින් වාක්‍යය කීමටත්, යන්තම් පිරිස පන්චශීලයෙහි පිහිටවාලීමටත් හැර අන් යමක් කිරීමට උන්වහන්සේ සමත් නොවීය...
නමුත් මා එන තෙක්ම විහාරස්ථානයේ සියළුම කුදු මහත් කටයුතු ඉටු කරලුයේ උන්වහන්සේ විසිනි.

මෙම හිමිවරුන් තිදෙනාම කළුතර දිස්ත්‍රීක්කයට අයත් අය වූ අතර..
තම යහළු හිමිවරුන්ගේ මාර්ගයෙන් මෙම විහාරස්ථානයට පැමිණ තිබුණි.
විශේෂයෙන්ම මෙම විහාරස්ථානයේ සිටි නන්ද හිමියන් හට ජපානයට යෑමට ඇවසි වූ නිසා,
නන්ද හිමියන්ගේ මිතුරකු වූ නාරද හිමියන් මෙහි නවතා තබා නන්ද හිමියන් විදේශගතව තිබිණි.
ඒ මා විහාරස්ථානයට පැමිණීමට වසර දෙකකට පමණ පෙරය.

නාරද හිමියන්ට විහාරස්ථානය භාර දී ගිය මුත් එයින් පසු නන්ද හිමියන් විසින් නාරද හිමියන් පිළිබඳව කිසිදු සොයා බැලීමක් කර නොමැති අතර නොදන්නා පළාතක.. නොදන්නා මිනිසුන් සමූහයක් මැද.. එතරම් මුහුකුරා නොගිය භික්ෂූවක වූ නාරද හිමියන් ඉතා අපහසුවෙන් කල් ගත කරමින් සිටින ලදි.

වැඩි කතාබහක් නැති නිතර කල්පනා කරමින් සිටින නාරද හිමියන් මා ජීවිතයේ හමු වූ ඉතාමත් අනුකම්පාවට භාජනය විය යුතු අයකු විය...

පිටතින් දකින්නට නොහැකි වූවද ඒ වන විටත් උන්වහන්සේ පීඩනය දරාගත නොහැකිවීම නිසාම උමතුවූවකුගේ ආරම්භක ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින ලදි. සිවුරු හැරලීමට ඇවසි වූවද ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා පසුබිම සකස් කර ගත නොහැකි වීම නිසාම මෙම තත්වය උන්වහන්සේට අත්ව තිබිණි.

සුමෙද හිමියන් පමණක් කල හැකි අන් යමක් නොමැති වීම නිසාම දිගටම සිවුර දරා සිටීමට තීරණය කර තිබූ අතර එයට හැඩ ගැසෙමින් තිබුණි.
ඇත්තටම අද වන විටත් උන්වහන්සේ කළුතර දිස්ත්‍රික්කයේ ඈත දුෂ්කර පිහිටි තේ හා රබර් වතුවලින් සැදුම් ලත් සිංහල හා දෙමළ යන ජාතීන් දෙකොට්ඨාශයම සම සමව දිවි ගෙවන කඳු ආශ්‍රිත කුඩා ගම්මානයකට මායිම්ව කඳු මුදුනක සැදි කුඩා පන්සලේ දිවි ගෙවනවා විය හැක.

චන්දවිමල පොඩි හාමුදුරුවන්ද සිවුරු ඇරීම තම සිහිනය කරගත් නමුදු තවමත් ඒ සඳහා සූදානම්වී නොතිබිණි.

සුමෙද හාමුදුරුවන්ගේ ඉල්ලීමට අනුව කුඩා උණ ලීයක් ගෙන ආවාසය ඉදිරිපිට මිටි තැඹිළි ගසින් මාගේ උදවුද ඇතිව තැඹිළි ගෙඩි කිහිපයක් කඩා ගත් උන්වහන්සේ පිහියක් ගෙනවිත් තැඹිළි කපන්නට විණි.
උන්වහන්සේගෙන් පිහිය ඉල්ලාගත් මා තැඹිළි කපා දුන් අතර තැඹිළි පානය කරනා අතරතුරම දහවල් දානය පිළිබඳව සාකාච්ඡා කරන්නට විණි...

දවල්ට අල්ලපු පන්සලේ සාංඝිකයකට එක නමක් ඉල්ලලා තියෙනවා.
සුමෙද ඒකට වඩින්න..මායි චන්දවිමලයි මෙහෙ ඉන්නං.
එනකොට අපිටත් පාර්සල් තුනක් අරන් එන්න එහෙ ලොකු හාමුදුරුවන්ට කිවුවම බන්දවලා දෙයි.
නාරද හිමියන්ගේ යෝජනාව සභා සම්මත විණි.

ඊළගට මා දෙස හැරුනු උන්වහන්සේ ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නේ...
පේනවානේ මෙහෙ තත්වෙ..
කැමතිනම් දිගටම මෙ තියෙන විදියකට අපිත් එක්ක ඉන්න පුළුවන්...
නැත්නම් කැමති දෙයක් කරන්න පුළුවන්... මොකද කියන්නේ... ?

......................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

16 May 2010

පන්සල් ජීවිතේ පළමු පිටුව... බඩගෝස්තරේ...

අමුතුවෙන් කියන්න ඔන නැහැනේ වෙනදා වගේම ගෙදර ඇවිත් අද ටිකක් නිදහසේ හිටියා.

පහු ගිය දවසක ලේ දන් දෙන්න කියලා ගිහින් හිමොග්ලොබින් අඩු උන නිසා දැන් පුළුවන් තරම් ට්‍රයි එක දෙන්නේ ඉක්මනට ෆිට් වෙලා ලේ ටිකක් දීලා දාන වැඩෙට තමයි.
ඒ හින්දා මෙ දවස්වල කොහොම හරි නිදා ගන්න උත්සහ කරනවා.

ඊට අමතරව ඉතින් වැඩි විශේෂයක් නැහැ.
උදේම පුංචි අම්මා කතා කරලා කුඹුරු වපුරනවා පුළුවන් නම් එන්න කියලා කිවුවා.
ඒත් උදේ වරුවෙ කලින් දා ගත්ත වැඩක් නිසා යන්න බැරි උනා..
හවස ඇට්ටි හැලෙන්න වැස්සා..
වැපිරිල්ලට යන්න තිබුනනම් මරෙ මරු.. මොනවා කරන්නද..?
හැබැයි ඉතින් මම වැඩිය කැමති ගොයම් කැපිල්ලට තමයි.
කොහොම හරි ඒ වැඩෙ චකබ්ලාස්...

ලියන්න කියලා මෙලෝ දෙයක් මතකෙට එන්නෙත් නැහැ.
මතකය ජනනය කරන්නාවූත්, ශක්තිය ලබා දෙන්නා වූත් ඒ අසිරිමත් පානයෙන් මඳ පමණට සප්පායම් වෙලා තිබියදීත් අනේ මන්දා..?

මතකයට එන්නේ නැතුවමත් නෙවී.. එනවා කප්පරකට එනවා...
ඒත් ඒ දේවල් අද ලියන්න එච්චර ෆිට් එකක් නැහැ.

වස කම්මැලියි..

හවස වැස්සෙම ගිහින් අර පොඩි බඩගින්නට කන ඒවයින් පැකට් එකක් ගෙනාවා.
ඒකෙන් දෙක තුනක් කාලා දවස අරඹන පානයෙන් වීදුරුවකුත් හදාගෙන බිවුව වෙලාවෙ මතක් උන දෙයක් කියන්නම්කෝ..

ඒ මම ගෙදරින් යන්න ගිය දවස..
එදා මම ගෙදරින් ගියේ හවස තුනට හතරට වගේ..
ඒ ගිහින් කොළඹ බස් නැවතුමෙ ඉදලා අහම්ඛෙන් වගේ හිතුනු බස් එකක නැගලා එම බස් රථයේ ගමනාන්තය වූ කුඩා නගරයෙන් බැහැලා. බස් නැවතුම් පොල ඉදිරි පිට කඩයකින් ආප්ප දෙක තුනක් කාලා තී්‍රරොද රථ නැවතුමෙ සිටි අයකුගෙන් අසා ගත් මං සළකුණු ඔස්සේ රාතී්‍ර දහයට පමණ නගරයේ සිට කිලෝ මීටරයකට වඩා මදක් වැඩි දුරකින් පිහිටි පන්සලට පැමිණියා..

තරමක් රෑ බෝවී තිබූ නිසාදෝ පන්සලේ සියළුම විදුලි පහන් නිවා දමා තිබූ අතර ආවාසයෙහි ඇතුළත පමණක් විදුලි එළියක් දැල්වෙමින් තිබුණා..

ටක්..ටක්..
ආවාසයෙහි දොරට දැමූ තට්ටුව නිසා දොර අසලම ජනේලය සෙමින් විවෘත කර වයස දහසයක දහහතක පමණ හිමි නමක්
ඇයි මොකද..? යනුවෙන් විමසූ අතර

අපේ හාමුදුරුවනේ මම මෙ ගෙදර පොඩි ප්‍රශ්නයක් වෙලා ගෙදරින් පිට වෙලා ආව ගමන්..
මට අද රෑ නවතින්න තැනක් හොයා ගෙනයි ආවෙ...යනුවෙන් පිළිතුරු දුනිමි.

එයින් පසු තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් පැමිණි අතර ඔවුන් දෙදෙනාම වයස විසි පහකට ආසන්න පෙනුමක් තිබූ අය විණි.

අනතුරුව එම හිමිවරුන් තිදෙනාම විසින් අසනු ලැබූ ප්‍රශ්න පත්‍රයකටම පිළිතුරු දීමෙන් අනතුරුව එහි නැවතීම සඳහා වූ අවසරය මා හට ලැබුණේ මාගේ ගමන් මල්ලද විශේෂ පරීක්ෂාවට භාජනය කිරීමෙන් අනතුරුවය.

පසුව ආවාසයෙහි ඉදිරිපසම වූ කාමරය මට පෙන්වා එහි නිදා ගත හැකි බව දන්වා...
( එදා පටන් මා මහණ වූ පසුවත් මා විසින් දිගටම පරිහරණය කරනු ලැබූවෙ එම කාමරයම විය)
කළුවරේම මුහුණ කට සෝදා ගැනීමටත්, නෑමට සහ වැසිකිළි යාමට හැකි ස්ථානත් පෙන්වා දුන්නේ ඉහත කී පොඩි නම විසිනි.
උන් වහන්සේ චන්දවිමල නම් විය...

පසුව නිදා ගන්නා තෙක් රූපවාහිනිය නරඹන්නට කැමති නම් පැමිණෙන ලෙස දැන්වූ නමුදු මා හට ඇවසි වූයේ හැකි ඉක්මනින් වෙහෙසකර හා වේදනාත්මක වූ දිනය නිමා කර නිදා ගැනීමට වූවත් ආරාධනය පිළිකෙව් නොකළ හැකි නිසාම ඒ සඳහා වූ කාමරය වෙත ගියෙමි.

එම ආවාස ගෘහය තුල වූ හරිහමන් කාමරයක් යැයි කිව හැකිව තිබුනේ එම කාමරය පමණි.
තරමක් විශාල කාමරය තුළ පැරණි අල්මාරියක් තබා තිබූ අතර එහි කරඩුව සහ තවත් පොත් පත් කිහිපයක් පමණක් තිබුණි. (පසුව දැන ගත් පරිදි විහාරස්ථානය සතු සියළුම පොත් පත් ප්‍රමාණය එය විය.)

රූපවාහිනිය නරඹන අතරතුර කලින් කී පොඩි නම එතැනින් ඉවත්ව ගොස් පැය භාගයකින් පමණ පසුව පැමිණියේ තරමක් විශාල කෝප්ප තුනක් සහ සාමාන්‍ය ප්‍රමාණයේ කොප්පයකට කට ආසන්නය වන තෙක් නෙස්ටමෝල්ට් පුරවාගෙනය.

එම කෝප්ප අප සියළු දෙනා අතර ඛෙදා හැරුණු අතර මා හටද කුඩා කෝප්පය ලැබිණි.

එයින් නොනැවතුණු හිමි නම අල්මාරියේ යට තට්ටුවක් විවර කොට ක්‍රීම් ක්‍රැකර් පැකට්ටුවක් ගෙන එය කඩා සියළුම දෙනා හට එහි වූ බිස්කට් ඛෙදා දෙනු ලැබීය..

මා හට ලැබුනු විස්කෝතු කිහිපය පිළිගෙන ඉන් එකක් සෙමින් සපන්නට වීමි.

අයියේ ඔහොම නෙවී මෙන්න මෙහෙම කරන්න.. කියමින් පොඩි නම උන්වහන්සේ අතවූ කෝප්පයෙන් මදක් පානය කොට කෝප්පයේ ඉඩ කඩ සාදා ගෙන තමා අත වූ විස්කෝතු කිහිපය කුඩා කැබලිවලට කඩමින් නෙස්ටමෝල්ට් බඳුනට දමන්නට විය.. තරමක අපුලකින් වූවද මාද එලෙසින්ම කල අතර අන් හිමිවරුන්ද එම ක්‍රමයම අනුගමනය කරමින් හුන්නෝය..

විස්කෝතු කඩා බඳුනට දමා අවසන් වූ පසුව මඳ වෙලාවක් තබා පෙගුණු බිස්කට් කැබලි සමගම නෙස්ට මෝල්ට් කොප්පය පානය කිරීම ඊළග කර්තව්‍යය විණි.

අපහසුවෙන් වූවද එම ක්‍රියාව අනුගමනය කරන්නට මටද සිදු විණි.
ඇත්තෙන්ම පටන් ගැන්ම දුෂ්කර වූවද එය එතරම්ම අපහසු කාරණයක් නොවණ බව මඳ වෙලාවකින් මා හට වැටහී යන්නට විය.

මෙහෙම තමයි අයියේ අපේ ජීවිතේ..මොකෝ බඩගිනි නොවෙන්න අපි යකඩින් හැදිලැයෑ..
පොඩි නම කියනු ඇසිනි.

අද සවස බිස්කට් සපමින් නෙස්ටමෝල්ට් පානය කරනා අතරතුර මා හට මෙම පැරණි සිදුවීම යළිත් සිහිපත් විණි.

එදායින් පසුව යළිඳු කිසි දිනක එම අයුරින් රාත්‍රී ආහාරය පිරිමසා ගැනීමට උන්වහන්සේලාට සිදු නොවූයේ මවිසින් එතැන් පටන් ගත වූ සෑම දිනකම මා හට හැකි පමණින් රාත්‍රී ආහාරය සඳහා බතක් මාළුවක් පිළියෙළ කර දීම ආරම්භ කරනු ලැබීම නිසාවෙනි.

සුදු කැකුළු බත් සමග පන්සලේ වූ සරුවට වැඩුනු කරපිංචා ගසෙන් කඩා ගත් කරපිංචා කොළ විශාල ප්‍රමාණයක් යොදා සකස් කරනු ලබන පරිප්පු හොද්ද අප සියළු දෙනාගේම ප්‍රධාන ආහාර වේල විණි.
හැකි වූ විටක කරවල කැබැල්ලක් තෙල් දමා දීමත් පොල් සම්බෝලයක් තලා දීමත් මා අතින් සිදු වූ අතර..ඒ නැතත් පරිප්පු හොද්ද සමග පමණක් වූවද සුදු කැකුළු බත යහමින් අනුභව කල හැකිවීම නිසා එතැන් පටන් උන්වහන්සේලා හට කලින් සඳහන් කරනු ලැබූ නෙස්ට මෝල්ට් සහ ක්‍රීම්ක්‍රැකර් මිශ්‍ර තලපයක් වැනි වූ ආහාරයෙන් වැළකි සිටීමට හැකි විණි.

මෙයින් පසුව ආරම්භ වූයේ ගරා වැටෙමින් තිබූ විහාරස්ථානයක ස්වර්ණමය යුගයේ ආරම්භය වූ අතර එම කතාව ඉදිරියේදී හැකි අයුරින් සටහන් තැබීමට සිතේ ඇතත් ඉවීමට තරම් ලිවීමට කාර්යක්ෂම නොවන මගේ දෑගිළි එයට සහය දෙන්නේදැයි මා නොදනිමි.

................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

15 May 2010

වැඩි වෙලා නැති නිසා... ග්‍රහ මාරු සහ අරන් මාරු...

පැය තිස් හයක සේවා මුරයකට පස්සේ ගෙදර ආවෙ ඊයේ රෑ වෙලා...
ඒ එන ගමන්ම රෑට කෑම එකත් අරන්මයි ආවෙ..
නාලා රෙදි ටික හෝදලා දාලා..
කෑමට පෙර ටිකක් අරන්...
කාලා නිදා ගත්තා...
සැප නින්ද...

දැන් ආයෙමත් යන්න ඔන...

අළුතින් දෙයක් ලියන්න තරම් වෙලාවක් නැති නිසා කරන්න දෙයක් නැහැ..

ආව එකේ මොනවා හරි ලියන්න ඔන නිසාම මෙ මාසේ සිදු වෙන වැදගත් ග්‍රහ මාරු දෙකක් ගැන කියන්නම්කෝ...

1. ගුරු ග්‍රහයාගේ මාරුවීම දැනටත් සිදු වෙලා හමාරයි..
ඒක සිදු උනෙ...2010-05-02 වෙනිදා..පෙරවරු 08.00 වගේ තමයි.
ගුරු පසුගිය වසරක් පමණ සිටිසෙනසුරුට අයත් කුම්භ රාශියෙන් ගුරුටම අයිති මීන රාශියට ගියා..
ඒක හරියට අළුගුත්තේරු අප්සට් බුවෙකුගේ ගෙදර අකමැත්තෙන් ලගා ගහගෙන දුක සේ ඉඳලා කාලෙකට පස්සේ තමන්ගේ ගෙදරට ගියා වගේ..කියලා හිතා ගන්නකෝ...

2.සිකුරු ග්‍රහයා මෙ මාසේ 15 වැනිදාඋදේ 06.40ට විතර තමන්ටම අයිති වෘෂභ රාශියේ ඉඳලා.. තමන්ගේ බාල සහෝදරීගේ ගෙදර වගේ තියෙන බුධට අයිති මිථුන රාශියට ගියා.. හැබැයි මෙ නංගී ටිකක් විතර අක්කාට කොක්ක දාන කෙනෙක් කියලා මතක තියා ගන්නකෝ..
ඒත් නරකම නෑ..හොඳ සුදුසු විදියට වැටුන අයට විවාහ සැප හරි ඔය අපි අනියම් සැප කියන්නේ අන්න එවුවා හරි ලැඛෙයි.. දැන් මගෙන් අහන්න එපා ඒ මොනවද කියලා.. දන්නෝ දනිත්.
නරකට වැටුනු අයට අර මම කිවුව පොඩි පහේ කොකු ඇදෙන කාලයක්..

3.කුජ මාරුව මෙ මස26 වැනිදා සවස 03.56ට විතර සිද්ධ වෙනවා.
මෙ වසරෙ මම දකින වැදගත්ම ග්‍රහ මාරුව මෙක තමයි..
මොකද මෙයා දැන් සෑහෙන කාලෙක ඉඳන් නීච වෙලා සදුට අයිති කටක රාශියේ හිටියේ..
දැන් ඔන්න එයා රවිට අයිති සිංහ රාශියට යන්නයි හදන්නේ..
ඒක හරියට හොඳ හයිය හත්තිය තියෙන කේන්තිකාර චණ්ඩි පුතෙක් අතපය බැඳලා අම්මාගේ ගෙදර ඇඳකට දාලා හිර කරලා තිබුනා වගේ..
දැන් එයා තමන්ට හිතවත් පියාගේ ගෙදරට යන්නයි හදන්නේ අතපය දිග ඇරලා දාලා... අපි බලමු දැන් මෙයා මොකද කරන්නේ කියලා..

කොටින්ම කිවුවොත් මමත් බල බල උන්නේ මෙයා කවදද මෙ අබග්ගයෙන් ගොඩ යන්නේ කියලා..
මොකද කුජ කොර කියන්නේ මාත් කොරම තමයි..
දැන් ඉතින් වැඩෙ ගොඩ.

මෙ මාරු වීම් කිහිපයට අමතරව හැමදාමත් වගේ රවිත් මාසයක් ගානේ සිය රාශිය වෙනස් කරමින් ඉදිරියට යනවා..
ඊට අමතරව දින දෙක හමාරෙන් දෙක හමාරට සඳුත් සිය රාශි අතර ගමන වෙනස් කරමින් යනවා..
නමුත් මම අර කිවුව මාරු වීම් හුග දෙනෙකුට තදින් හා ටිකක් දැනෙන විදියට බලපාන කරුණු..
විශේෂයෙන්ම අර කුජ මාරුව රටෙ දේශපාලන තත්වයටත් විශාල බලපෑම් කරනු ලබනවා.

ඉතින් මෙ මදෑ..

මොකුත්ම ලියන්න හිතාගෙන නාවත් දැන් ඉතින් මෙ ලිවුවා මදෑ..

13 May 2010

තවත් එකක්..මාර ගී අංක 2

කස්ටියට මාව ටිකක් බයිට් එකට ගන්න තියෙන එකම පොයින්ට් එක මෙක නෙව.. ඉතින් අහලාම බලන්නකෝ... මම කැමතිම ගීයක්... තව මගේ ගී රැසක්ම තියෙනවා... ඉදිරියේදී දෙන්නම්..(ජම්බු) අවවාදයයි... සියුම් කර්ණ පටලයන් ඇති අය විසින් ඇසීමට පෙර දෙවරක් කල්පනාකාරී වන්න...

12 May 2010

සේකර සිටී නිසලව අද ගම මැද්දේ...




උදේ රදාවාන හන්දියෙන් හැරිලා එන ගමන් නැවතිලා මෙ පින්තූර ටික ගත්තේ..
පහු ගිය දවස්වල මෙතන වැඩ සිටි කැළණි දෙවියන්ගේ කටවුට් එක දැන් එතන නැති නිසාම ඔන්න මම පොටෝ ටිකක් ගත්තා...
දැකලා නැති අය බලා ගන්න මෙ තමයි රදාවාන තුන් මන් හන්දියේ තිඛෙන සේකර මහත්තයාගේ නිසල පිළිරුව..

මෙ සියල්ලම කතන්දරකාරයාගේ ඉල්ලීමක් ඉටු කරනු පිණිසය..

ස්තූති කතාව...

ගෞරවනීය සියළුම බ්ලොග් අවකාශයේ හිතවතුන්ගෙන් හිතවතියන්ගෙන් අවසරයි,

ආදරනීය නැන්දේ මාමේ...
අයියේ අක්කේ..
නංගියේ මල්ලියේ..

ඉතින් මම මෙ තකහනියෙම ලක ලෑස්ති වෙන්නේ ආයේ අහවල් එකටවත් නොවෙය..

අද දින සියය පසුකොලා වූ මාරයාගේ බ්ලොග් කෙරුවාවටත්,
ඒ වාගේම මාරයා උපන්දා සිට මෙ දක්වා වසර තිස් එකක් සපිරෙනා වූ ඒ ෙඓතිහාසික මොහොතේ..ඒ උත්කර්ෂවත් අවස්ථාවට සපැමිණ මෙ අඳාළ කරුණු දෙකම අරභයා..
සත්ගුණවත්,
උගත්,
බීමත්.. මාරයා මහතා වෙත,

සිය හර්දයාංගයෙන්ම නැගුනා වූසතුටින් යුක්තව
සුභ පැතූ සියළුම හිංගල බොලොග කරුවන්ට හා කාරියන්ට මාරයාගේ හිත අබ්බයන්තරයෙන්ම බුර බුරා නැග එනු ලබන අවංක ආදර ඉස්තූතිය ප්‍රකාශ කර සිටීමටයි..
අහා..
ප්රීතී..
ප්රීතී...

එමෙන්ම මෙ අවස්ථාවෙ විශේෂයෙන්ම සිහි කටයුතු කිහිපදෙනෙක්ම සිටිනා බැවින් සුළු වශයෙන් හෝ ඒ අය පිළිබඳව සටහන් කර තැබීම මැනවැයි මා සිතමි.

ප්‍රථමයෙන්ම මෙවැනි බ්ලොගයක් හෝ අරඹා නිවා දැමීම පිණිස සදාකාලික වෙදනාවක් මා හට උරුම කර දුන් ඇයටත්...

එදා සිට අද දක්වා මගේ දුක සැප ඛෙදා හදා ගනිමින්..
මා අත නොහැර සෙවනැල්ලක් මෙන් ළගින් රැදී හුන්.. අදටත් මා අසලම රැදෙන අකලංක මිතුරා වන මා හිතවත් බෝතල් යාළුවාටත්..

අහම්බයෙන් මෙන් හදිසියේ කොහේදෝ දුටු සටහනක් නිසාවෙන් මෙවන් බ්ලොගයක් ආරම්භ කිරීමට මග පාදා දුන් සටහන් තබා තිබූ ශාකුන්තල සහ ප්‍රවීන් ඉන්දරේ සොයුරන්ටත්...

එතෙක් පටන් මා හා එක්ව මගේ අත්දැකීම් ඛෙදා හදා ගනිමින් මා තනි නොකර සිටිනා මගේ ළබැඳි සබැඳියන් කැලත්..

විශේෂයෙන්ම අද දින මෙ ස්වර්ණමය මොහොතේ බ්ලොග් සටහන් තැබීම තුලින් හා මූණු පොත හරහා මා හට සුභ පතන්නට එක් වූ විද්‍යුත් ලිපිනයට සුභ පැතුම් එවාළු.. හා..
මග දෙපස තොරණ් බැඳ පිළි ගැනීම් හා උත්සව සංවිධානය කළ සියළුම රට වැසියන්ටත්..
මෙන්න මගේ

සිත තුළ ඉපිද..
නිසලව සැලෙන..
අවංක ආදර..
ස්තුති ප්‍රණාම..

මෙයට කවදත් දුක සගවා සිනා සෙමින්.. මරුට කැපවු මහ සෙන්පති..
මාරයා...

වෙදනාව නෙතු අගට ගලාලා..

මටත් පිස්සු...

නිකං ඉන්න බැරුවට ගියා එයාව බලන්න.

උදේ ඇවිත් 100 වෙනි පෝස්ට් එක ලියලා දාලා.
බැංකුවට ගිහින් පඩියත් අරගෙන ආපහු එන්නේ නැතිව ගියානේ..අම්මපා මට පිස්සු..
හොඳටම පිස්සු..

ගිය පාර මගේ උපන් දිනේ ගෙවුනේ එයත් එක්ක ඉතින් මම කොහොමද මෙ අවුරුද්දේ එයා අමතක කරලා දාලා ඉන්නේ...

ඒත්...

එයා හිටියා ෂොප් එකේ...

දවස් ගාණකට පස්සේනේ ගියේ ෂොප් එක සෑහෙන වෙනස් කරලා..
මගේ හිතේ මෙ දවස් දෙක තුනේම ඒක වෙනස් කරමින් පවතිනවා...
මම යන කොටත් බාස් කෙනෙක් බංකුවක් උඩ නැගගෙන මොනවද සකස් කරමින් ඉන්නවා.

එයා සුපුරුදු විදියට මැෂින් එකක් ළග වාඩි වෙලා මැහුමක නිරත වෙලා ඉන්නවා...

මම බලාන හිටියා..
පාරෙ අනිත් පැත්තට වෙලා මම බලාන හිටියා..
ඇහි පිය නොහෙලා මම බලාන හිටියා..
දැන් බලයි..
දැන් බලයි.. මම හිතුවා...

එක් වරම ඈ නෙතු මා සිටින තැනට යොමු උනා...

විමතිය.. නැතහොත් භීතියද මටම සිතා ගත නොහැකි හැගුමකින් ඇය මොහොතක් බලා සිටියා..

මට ඇවසි වූයේ මාහට දුරකතන ඇමතුමක් දෙන මෙන් පණිවිඩයක් දෙන්නට පමණයි...

එහෙත් ඇය මා දෙස බැළු ඇසිල්ලේ එම සංඥාව ඇය වෙත ලබා දීමට මම අපොහොසත් උනා.

නැවත කොතෙක් වෙලා මා බලා සිටියාදැයි මා නොදනිතත් ඇය නම් නැවත මදෙස නොබැළු බව මා දනිමි.
නමුත් මා හට මෙන් නොව ඉවත බලා සිටියත් ඇයට මා සිටිනා අයුරු පෙනෙනා බව මා දනිමි.

කාලය ගත වී යයි..
ඈ මදෙස නොබලයි..
සිත පුපුරු ගසයි..
අතීතය සිහි වෙයි..

ඔයාගේ වැඩ කරන තැන අයට පුංචියට හරි සංග්‍රහයක් කරමු..
ඔයාට හොඳ විදියක්...

මිලදී ගත් කේක් ගෙඩියත්, බීම බෝතලූත් තුරුළු කරාන ඇය මා හා යතුරු පැදියේ නැගී විත් මා සගයන්ට සංග්‍රහ කළ අයුරු.. වසරක් තුල මා කෙසේ නම් අමතක කරන්නද..?

අහර පානයන්ගෙන් ලද සංග්‍රහයට වඩා ඇගේ සුන්දර සිනහවෙන් සැලකුම් ලද සගයින් සතුටු වූ අයුරු..
මා කෙසේ නම් අමතක කරම්ද..?

පණ හා බැඳී ජීවිතයම පුරවාළු.. ඇගේ මතකයන් වසරක් තුළ මා කෙසේ නම් වල දමන්නද..?

ආදරණීය.. ටානී....
ඇයි අපිට මෙහෙම උනේ..?

උපන්නොත් යම් කෙනෙක් මෙලොවෙ...

තවත් දවසක්...
ඇත්තටම තත්පර ගෙවිලා විනාඩි බවට පත් වෙමින්..
ඒ විනාඩි පැය වලට පෙරළිලා...
පැය දින වෙලා...
දින සති වෙලා...
සති මාස වෙලා...
මාස ගෙවිලා අවුරුදු බවට හැරිලා..
අවුරුදු එකින් එක ගෙවෙමින්...
අනේ මන්දා කොහෙන් නවතීද කියලා...

කොහොම උනත් තව දුරටත් කාලය ගලා යමින් තිඛෙන බව නම් මා දනිමි.
මා නැවතී ඇති මුත්, මා ද රැගෙන ජීවිතය ඉදිරියට ඇදෙමින් පවතී...
හෙට දවස කෙබඳු වෙදැයි නොදැනම මාද එම ප්‍රවාහයට හසුව ඇදී යයි..

ජීවිතය දෙස ආපසු හැරී බලන විට දක්නට ඇත්තේ පුදුමාකාර අත්දැකීම් මිස අන් යමක් නොවෙ..

සිදු වූ සෑම දෙයක්ම අතීතයේ ගල් කණු බවට පත් වී හමාරය...

ඒ තුල ආශ්වාදයෙන් යුක්තව සිහිපත් කළ හැකි මෙන්ම..
සිත දවා හළු කරමින් මතු වී එන පුපුරු ගසන මතකයන්ද බොහෝය...

ජීවන ගමනේ මෙතෙක් දුර පැමිණියේ බොහෝ ආයාසයෙනි.
තව දුරටත් ඉදිරියට යන්නට වී ඇත්තේද එවැනිම වූ ආයාසයෙනි..

තව කොතරම් කලක් නම් මෙසේ යන්නදැයි මට නොතේරේ...

කුමට යන්නේදැයි මට නොතේරේ...

අවසානයේ සිදු වන්නේ නම් එකම දෙයක් පමණක් බව දනිමි.

සැනසිය හැකි එකම බලාපොරොත්තුව එයම පමණි.

අවසානයේ මට එය හමුවන බව ඉඳුරාම දන්නා නිසාම යනවා විනා..
එයත් නොදැන සිටියානම්...

මිනිසාගේ පරම ආයුෂ මෙතෙකැයි කියා හරියාකාරව කිව හැකි නොවෙ...
එය අපට තීරණය කල හැක්කක්ද නොවෙ...

වරක් ජොතිෂ්‍යය ඇසුරින් යම් වගුවක් සකස් කිරීම මා ආරම්භ කරනු ලැබූවෙද සිතේ තිඛෙන පැනයට පිළිතුරක් ලැබ ගන්නා අපේක්ෂා වෙනි..
පසුව එය මා අතැර දැමුවෙ බොහෝ කරුණු කාරණා අවබෝධ වීමෙන් පසුය...

ඇත්තෙන්ම ජීවිතයේ බොහෝ මා නොදන්නා දෑ රාශියක් එම උත්සහය තුලින් මාහට අවබෝධ විය..

මෙලොව බිහි වූ දා පටන් මැරෙනතුරුම අප කරන්නේ කුමක්ද..?
කිසිදා පිළිතුරු නොසෙවිය හැකි පැනයකි එය.

ඉඳින් කිසිදා සමු නොවන පිළිතුරු පසු පස හඹා යනවාට වඩා..
වෙන දෙයක් වෙන්නට ඉඩ හැර බලා සිටීම යෙහෙකි...
අදවන් දිනයක ජීවිතයේ අනිත්‍යය සිහි කරනු විනා..
අන් කවරක් නම් කරන්නදැයි මට නොතේරේ...

10 May 2010

99...මාර ගීතය...

ඔන්න අද දවසම කවි කියලා..කියලා.. කට රිදෙනවා.. ඒත් ඉතින් මෙකට අඩු සිංදුවක් විතරයිනේ ඔං ඒකත් කීවා...

දිරියෙන් ඉදිරියට...

අද කරන්න ආවෙ එකක් අන්තිමට වෙන්න යන්නේ තව එකක්..
උදේම ඇවිත් පටන් ගත්තේ අද දවස ඇතුළත කොහොම හරි පෝස්ට් 5ක් ලියලා දාන්නයි.

ඒත් ඊට කළින් අනිත් අය මොනවැයි ලියලා තියෙන්නේ කියලා හොයලා බලනකොටම මෙන්න උඩින්ම තිබුනු ලාංකීය සිතිවිලි කවි මඩුව දැක්කා නෙව.
අන්තිමෙදී ලියන්න හිතපු ඔක්කෝම පැත්තක දාලා ලියපි නේද කවි.
මදැයි කොලා ඒක නැගලා ගියානේ..

කොහොමින් හරි ඒ අතර පතරින් එකක් ලියලා දැම්මා..
ඒත් ටකරං හට් දෙකක් ගහලා තාවකාලිකව දාපු කවි මඩුව අන්තිමට නැගලා යන්න පටන් ගත්තහම අතෑරලා දාන්නේ කොහොමෙයි.
මෙන්න දිල් පුටුවකුත් උස්සගෙන ආපි.
වැප් මල්ලී කොහෙන්ද මන්දා කැඩිච්ච මයික් එකකුත් අන්ඩ දාලා ගෙනත් කට ගාවින්ම තියලා මාරු උන පාර තාම මෙකා මෙ පැත්ත පළාතේ ආවෙ නෑ..
අනේ මලේ උඹ මෙ මයික් කට දුන්නා වගේ නෙවෙයි දැන් මගේ කටෙ කෙළත් නැහැ.කයි කියලම.
කොහොමින් කොහොම හරි ඔය අපේ ගං තුලානේ පරසිද්ධ කයි කතන්දර කාරයෝ කිහිපපොළක්ම ඇවිදින් බංකු කෑල්ලක වාඩි වෙලා පටන් ගත්තේ නැද්ද වාදේ..?

අන්තිමෙදී මගේ නොකියා3120 පෝන් රාජයාගේ බැටරි ලව් උනානේ..
ඒක නිසා ඒක ටිකක් චාජ් වෙන්නකියලා හයි කොරලා ආයෙත් ඔන්න ලියන්න ගත්තා.
අරෙහෙ අර උන්නැහේ ඇවිත් ප්රීඩම් කෙල්ලයි ඉන්දික මලයයි එක්ක එකතු වෙලා දැන් මාව පට්ට ගහනවා ඇති.
මක් කොරන්නද..?පෝන් එක ටිකක් චාජ් වෙයන්කෝ..
අනේ අපේ දිල් නගාව මුන් ටික බයිට් එකට ගනීද දන්නේ නැහැ මම නැති අතරේ..
ලේසි වෙන එකක් නැහැ..
දිල් නගාත් දස්සයි නෙව..
පොඩ්ඩක් ඉදින් නගේ අල්ලගෙන මම මෙ පෝන් එකේ කට්ට දෙකක් චාජ් කොර ගන්නකං.

එක පාරම කූක් කූක් ගාලා ඔෆ් වෙලා ගියානේ නැත්නං අපේ රවා මලයාට හරි අඩ ගහලා ටිකකට මුර ඩියුටිය බාර දීලාවත් එනවා.
දැන් ඉතින් මක්කා කරන්ටෙයි..

ඉතින් 2010 මැයි මාසේ මැද්දෑවටත් කිට්ටු කොළා..
කාලය ගතවෙනවා අපිට හිතා ගන්නත් බැරි තරම් වෙගෙන්.
අන්තිමට කරපු කෙළියකුත් නෑ..
අර මොකේද පළුවකුත් නෑ.

පහු ගිය ටිකේ අපේ ජුං අල මලයාට පින් සිද්ධ වෙන්න මතක් උන පරණ කතා කිහිපයක් ලියලා දැම්මැයින් ගමන වෙගවත් උනා.
ඒක නිසා තමා පොඩි අරමුණක් ඇතුව මෙ ටිකේ එක දිගට ලියන්න හිතුනේ..

හුගාක් වෙලාවට එක එක කාරණා ගැන ලියන්න හිතාගෙන හිටියත්..ලියන්න පටන් ගත්තාම කතාව වෙන පැත්තකට ඇදිලා ගිහිල්ලා ලියන්න හදපු දෙයින් පොඩ්ඩක්වත් ලිය වෙන්නේ නැහැ.
අන්තිමෙ බැළුවම තාම මම ලියන්න හිතපු කතා මොකවත්ම ලියලා නැහැ.

ඉදිරි දිනවලවත් බලමුකෝ..

කවි මඩුවත් හොද පොට් එකක් තමයි.
ඒත් ඉතින් මට කවි මඩුවට එන්ට වෙන්නේ අතරින් පතර තමයි.
ජොබ් එකේ හැටි තමා...

නමුත් ඒකටත් හරියන්න අද මදෑ...

කෝකටත් ලියා පදිංචියට නම දුන්නා.
බලමුකෝ මොකදැ කොරන්න වෙන්නේ කියලා.

ඒ මදිවට පෙරෙදා අපේ ආරක්ෂක භටයෙක් විනය විරෝධී හැසිරීමකට අහු උනා..
මිනිහා රාජකාරි වෙලාව තුල බීමත්ව හැසිරිලා..
මම ගෙදර ඉන්න දවසේ තමයි වෙලා තියෙන්නේ.
අන්තිමෙදී මිනිහව මාරු කරන්න නියෝගය හම්බ උනේ මට.
ඒත් මිනිහව මට සතියකට භාර දෙන්න කියලා මම කල ඉල්ලීම හින්දා, ආයතනයෙන් ඊට අවසර ලැබුනා.
කොහොමත් මාත් එක්ක රාජකාරී කරන කස්ටිය බොහෝම විනයානුකූලව කටයුතු කරනවා.

අර මෑන්ස් උනත් මගේ ළග ඉදලා අනිත් ෂිෆ්ට් එකට දාලා ටික දවසයි ගියේ..
ටිකක් නිදහස ලැබුනු ගමන් වැඩෙ අනා ගන්න එක අපේ මිනිස්සුන්ගේ පුරුද්දක් වෙලා...

මාත් එක්ක හිටියනම් තාමත් අවුලක් නැතිව ඉන්නවා.

කොහොම හරි මා ළගට ගත්තටත් පස්සේ මෙකා ඊයේ ඉදලා වැඩට ආවෙ නැහැ.
පෝන් එක හිටන් ඔෆ් කරලා.
දැන් එක බුවෙක් අඩුවෙන් පොයින්ට් එක දුවන්නේ.
අනිත් අයව කරකවලා දමමින් මෙ ගේම ගෙනියන්න හරි අමාරුයි.
කොහොමත් උපරිම පැය 24කට වඩා එක් අයකුව යොදවනවාට ආයතනය කැමති නැහැ.
දුර ඉදන් ඇවිත් පැය12ක් කරලා ගෙදර යන එක මිනිස්සුන්ට පාඩුයි.

කෑම වියදම් බස් ගාස්තු ඇරියම ඒ මිනිස්සුන්ට මොකුත් ඉතිරි වෙන්නේ නැහැ.

ඒ හින්දා හරි කලපනාවෙන් රාජකාරි සැලැස්ම පිළියෙල කරන්න ඔන.
ඒ මදිවට අනිත් අයටත් මගුල් ගෙවල්,කුඹුරු වැඩ..
අනේ මන්දා මෙක කොහොම කරන්නද කියලා.

දැන් හෙට වැඩට ගිය ගමන් විසදන්න ප්‍රශ්න කෝටියයි.
උද උදෙත් යන්තම් ගැට ගහලා ආවා.
බැහැයි කියලත් බැහැනේ..
කොහොම හරි මෙක කරවන්නත් එපැයි.

හ්ම් දැන්නම් පෝන් එක ටිකක් චාජ් උනා මදැයි.

මම වෙමි කවි මඩුවෙ හිත හොඳ මරයියා..

සාමෙන් එන කලෙට මම වෙමි පරෙයියා..
ගේමට ගේම දෙන එළ කිරි හපුයියා..
කෙල්ලන් ඉන්න තැන කවදත් කොඛෙයියා..
මම වෙමි කවි මඩුවෙ හිත හොඳ මරයියා..

ඉන්නා සැවොම දැන් මෙ ටික අහන්න..
කොච්චර දැගළුවත් බැහැ නුඹලට දිනන්න..
කවියේ අසිපතින් හරඹය කොරන්න..
හැකි අය සිටී නම් සටනට වරෙන්න..

සිවුපද නොවෙ දෙපදින් වුව වැඩ පෙන්නා..
මාරය අයිය ඉස්සර ටොප් වැඩ දුන්නා..
ඒ කෙළි හරඹ නැවතත් සිහියට ගන්නා..
ඇටැඹිලි කොළුන් දැන් මා දැක දුව යන්නා..

දීර්ඝ කාලීන සමෘද්ධි ලාභීන්ට නඩු පැවරිය යුතුය...

වෙනදා කතා කරන අන්දමෙ මාතෘකාවක් නොවුනත්,
මට මෙ පිළිබඳව වචනයක් හරි ලියන්න කියලා හිතුනේ..
ඊයේ දවසේ ඇති වූ කතාබහක් නිසයි.

ඊයේ ඒ කියන්නේ ඉරු දින මා රාජකාරි කලත්,
සවස් වරුව වෙනකොට හුගාක් කටයුතු ඉවරයි.
කොහොම හරි හවස හත විතර වෙනකොට නාලා කරලා..
රෑ කන වෙලාව එනකල් අපේ අනිත් නිලධාරීන් කිහිපදෙනාත් සමග කයියක් ගගහ ඉන්න කොට තමයි මෙ මාතෘකාවත් ඇදිලා ආවෙ..

ඇත්තටම අපේ මාතෘකාව උනේ දේශපාලනය..
බොහෝ දෙනා අකමැති එකක් උනත් මා නම් කැමතිම මාතෘකාවක් තමයි.

මෙහිදී අප කතා බහ කලේ දැනට රටෙ තත්වය සහ රට වෙනස් විය යුතු විදිය පිළිබඳවයි.

ඒ වගේම මෙ සාකච්චාවට පවතින රජය හෝ විපක්ෂය පිළිබදව හොද නරක කිය කිය ඉන්නවාට වඩා..
රටෙ ඇතිවය යුතු පරිපාලන ප්‍රතිපත්ති ගැන අදහස් එකතු කිරීමයි සිදු උනේ...

ඉතින් එයින් එකක් තම මෙ දිළිදුකම පිටු දැකීම පිළිබදව වූ අතුරු කොටස...

ඒ සඳහා විය යුතු කරුනු ගණනාවක් සාකච්ඡා කරන අතරම..
දැනට රජය මගින් ඒ සදහා වූ වැඩ පිළිවෙලක් වන සමෘද්ධිය ගැනත් අපේ කතා බහ ඇදිලා ගියා.

ඇත්තටම පෙරමුණු රජය මගින් 1995ට ආසන්න වසරකදී මෙම ව්‍යාපෘතිය පටන් ගනු ලැබූවෙ ඒ වන විට තිබූ ජනසවිය හා ආහාර මුද්දර ක්‍රමයට සංශෝධන සහ නව විකල්පද එකතු කර ගනිමින්.

එහි මූලික පරමාර්ථය උනේ දිළිදු සහනයෙන් ඔබ්බට ගිය.. ක්‍රමානූකූලව මිනිසුන් රැකියා සහ ස්වයං රැකියාවන්ට යොමු කර ඒ මගින් දුප්පත් කම නැති කරලන වැඩ සටහනක් ඇති කිරීමයි.

අද වෙන කොට මෙම සමෘද්ධි වැඩ සටහන ආරම්භ කර වසර 15ක් පමණ වෙනවා.
ඇත්තටම දැන් මෙ පිළිබඳව ආපසු හැරී බලන්න සුදුසුම කාලයයි කියලා මට හිතෙනවා.

සමෘද්ධියේ මුලික හරයන් ක්‍රියාත්මක වූවානම් ඇත්ත වශයෙන්ම මෙ වන විට රටෙ සමෘද්ධි ආධාර ලබන්නන් අඩු වී තිබිය යුතු බවයි මගේ නම් හැගීම..

නමුත් එය එසේ සිදු වී ඇතිද..?
මෙ පිළිබදව අවට සමාජයේ ඇති සාක්ෂි විනා..නියම දත්ත ලබා ගැනීමට මා හට හැකියාවක් නැති වීම මට ලොකු පාඩුවක්.
නැත්නම් මෙ කරුණ පිළිබඳව මීටත් වඩා ගැඹුරින් කතා කරන්නට තිබුනා.
නමුත් කරුණු සොයා ගන්නට නැතැයි කියා නිකම්ම සිටින්න කියා නීතියක් නැති නිසා මාත් මට හිතෙන දේවල් ටික කියලා දාන්නම්.

මගේ දැක්මේ හැටියට මෙ වන විට සමෘද්ධියෙන් පල ප්‍රයෝජන ලබා දුප්පත් කමින් මිදුනු විශාල පිරිසක් රටෙ ඉන්නවා.
නමුත් සමස්ථ සමෘද්ධි ලාභීන් සමග සංසංදනය කරන විට එම විශාල පිරිස ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි.
ඒ කියන්නේ මෙම ව්‍යාපාරයෙන් දියුණු වූ අයට වඩා අදටත් එදා සිටි තත්වයේම සිටිමින් දිගින් දිගටම සහනාධාර ලබන අයගේ ප්‍රමාණය වැඩියි.

සාමාන්‍යයෙන් මෙම සමෘද්ධි වැඩ සටහනේ මූලික හරයන්ට අනුව නිසි පරිදි කටයුතු කලා නම් සාමාන්‍යය තත්වය යටතේ දුප්පත් පවුලකට සහනාධාර නොලබන මට්ටමෙ ආර්ථීකයක් ගොඩ නංවා ගැනීම සඳහා වසර පහක කාලයක් හොදටම ප්‍රමාණවත් වෙන බවයි මගේ හැගීම..
මෙම ප්‍රකාශය මා කරනු ලබන්නේ මා දුටු කරුණු වලට අනුවයි.එනම් මා පැවිදිව සිටි කාලයේදී එසේ සමෘද්ධිය හරහා උපදෙස්, ආධාර සහ ණය සහන ලබාගත් පුද්ගලයින් කිහිප දෙනෙකුම වසර තුනක් වැනි කාලයක් තුල සමෘද්ධි සහනාධාර නැතිව ජීවත් වීම සදහා ඇවසි තරමෙ ආර්ථීක තත්වයක් ගොඩ නගා ගනු මා දුටු නිසාවෙනි.

එසේනම් සියළුම සමෘද්ධි ලාභීන්ට එම තත්වය අත්කර ගැන්මට නොහැකි වූයේ ඇයිදැයි යන කාරණය අප විසින් සොයා බැලිය යුතු නොවෙද...?
මෙ සඳහා විවිධ කරුණු ඉදිරිපත් විය හැකියි.

ආධාර ලබන පවුලේ ක්‍රියාකාරී පුද්ගලයින් අඩු වීම (වයස 18ත් 45ත් අතර උදවිය අඩුවීම,අධ්‍යාපනය ලබන දරුවන් වැඩි වීම)

සදාකාලික ආබාධිත තත්වයන් ඇති උදවියගෙන් සමන්විත පවුල් තිබීම.

අවශ්‍ය තරම් මූලික මට්ටමෙ වත් දැනුමක් නොතිබීම.(කෙලින්ම කියනවා නම් පට්ට පල් මෝඩ)

උනන්දුවක් සහ උත්සහයක් නොතිබීම.

ආදායම් තිබියදී සමෘද්ධි සහනාධාරය වංචනිකව ලබා ගත්තවුන්.(මෙවැන්නන් කෙසේවත් සමෘද්ධිය අතහරින්නේ නැත)

අඳාළ පෙදෙසේ සමෘද්ධි නිලධාරීන් පල් හොරුන් වීම.

මෙවැනි හේතු කිහිපයක්ම මෙ සඳහා හේතු විය හැක. නමුත් මෙහි පළමුව සදහන් කල කරුණු 3හි සඳහන් අය පිළිබඳව සානුකම්පිතව බැලිය යුතු බව මගේ හැගීමයි.
ඒ හැර 4වන සහ 5වන කරුණුවලට අදාළ වන අයවළුන්ට නම් දැඩි නීති ක්‍රියා මාර්ග ගත යුතුය.
( අංක 6ට අඳාළ වුවන්ට ගල් ගැසූවත් මට කම් නැත)

කෙසේ වෙතත් මෙම ලිපිය ලිවීමෙදී මා මූලිකවම සිතූ දෙය නම් සමෘද්ධි ලාභීන් ගැන සොයා බැලීමට විශේෂ කමිටුවක් ඇති කල යුතුය යන්නයි.
මෙ සදහා විපක්ෂ දේශපාලකයින්ද, විශ්‍රාම ලත් විනිසුරුවරුන් කිහිප දෙනෙකුද යොදවා ගැනීමත් නරක නැත.

එසේ කොට වසර පහකට වඩා කාලයක සිට මෙ දක්වා සමෘද්ධි සහනය ලබන සියළුම පිරිස ගැන විධිමත් පරීක්ෂණ පවත්වා කිසිදු සාධාරණ හේතුවක් නැතිව මෙ තාක් දක්වා ආධාර ලබන සියළුම අයවළුන්ට සුදුසු අන්දමෙ දඩුවම් ලබා දිය යුතු බවය.
මක් නිසාද යත් මෙ සඳහා වැය කරන රටෙ වැඩ කරන මිනිසුන් මහන්සියෙන් හරි හම්බ කරන දෙයින් ගෙවනු ලබන බදු මුදලින් මොවුන්ව නඩත්තු කිරීම රටෙ අවංකව වෙහෙසෙන මිනිසුන්ට කරනු ලබන අසාධාරණයක් හෙයිනි.

හැකියාව තිබියදීත්..දිගින් දිගටම සමෘද්ධිය ලබාගන්නා අයත්,
උත්සහය හා උනන්දුව නොමැති කම නිසාවෙන්ම හා අධික බීමත් කම නිසා වෙහෙස වී වැඩ කර දියුණු වීමට තැත් නොකරන අයටත්,
තම සේවා දායකයින් සඳහා නිසි සේවයක් ලබා නොදෙන්නා වූද, පඩියට පමණක් වැඩ කරන්නා වූ, දේශපාලනය පමණක් කරපින්නා ගත් ඇතැම් අමන සමෘද්ධි නිලධාරීන්ටත්,
එවැනි නිලධාරීන් පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගෙන කටයුතු කරනු ලබන සියළුම උසස් නිලධාරීන්ට හා ඒ සම්බන්ධ සියළු දේශපාලකයන් හටද ඉතා දැඩි දඩුවම් ලබා දිය යුතුය.

එම දඩුවම් කුමන ආකාරයේද යන්න මම කීමට නොයමි.
නමුත් එකක් කිව යුතුය.
රටෙ වැඩ කරන මිනිසුන්ගේ ශ්‍රමයෙන් හේතුවක් නැතිව පිනට කන සියළුම වරදකරුවන්ගේ දේපල නැවත එම වැඩ කරන මහ ජනතාවගේ ප්‍රයෝජනය සදහා යෙදවෙන අන්දමෙ දඩුවම් ක්‍රමයක් නිර්මාණය කල යුතුය.

මෙම ලිපියේ විශාල අඩුපාඩුවක් ලෙස මාද දකින නිසි සංඛ්‍ය ලේඛණ ලබා දිය හැකි අයෙක් වෙතොත් එම දත්ත ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
වැඩි දෙයක් නොව..
ආරම්භයේ සිට මෙ දක්වා වසරින් වසර සමෘද්ධි සහනාධාර ලබන්න්ගේ ප්‍රමාණයත්, හැකිනම් ඒ ඒ වසරට සාපේක්ෂව මුළු ජනගහණයෙන් සහනාධාර ලබන්නන්ගේ ප්‍රතිශතය කොපමණ වනවාදැයි යන්නත් ලබා දිය හැකි නම් සෑහෙන වටිනා උදව්වක් බවත් සටහන් තැබීමට කැමැත්තෙමි.

කවි මඩුවෙ මාරයා..

කවි පද බදින්නට ඒ පද කියවන්ට..
කවියක් කියන්නට කවි මඩුවට එන්ට..
ආසයි මටත් ඇහැකිද මෙහි ගොඩ වෙන්ට..
කොල්ලනි කෙල්ලෙනේ පලයව් දැන් යන්ට..

වැපා මල්ලි උඩ පැනගෙන ආවාට..
නුඹටත් බැරි වෙවී මා නම් පරදන්ට..
මගේ පැණි බූන්දිය මෙ ටික අහගන්ට..
අනෙ දිල් නගෝ නුඹ දැන් පලයන් යන්ට..

රට වට සතර අත කොයි තැන ගියත් එදා..
කවියට තියෙන කෑදරකම නිසා මෙදා..
කවි මඩුවට ගොඩ වෙන්නට සිතී සොඳා..
මාරයා ඇවිල්ලා කවියට සුපර් වෙදා..

එහෙනම් ඉතින් කවුරුත් හරි බරි ගැහිලා..
පාවඩ දමා කොඩි සේසත් නගපල්ලා..
ගේමට බහින්නට හැකි උන් ඉදපල්ලා..
වැඩබැරි දාසලා යන්නට පලයල්ලා..

09 May 2010

තාත්තාගේ ආදර්ශය සහ ජුංගේ මළයා...

මටත් උනේ මාරම වැඩෙ තමයි...
ටෙලිවිසොන් එකත් බල බල ඉදලා අටහමාරට විතර චුට්ටක් ඇහැ පියා ගත්තේ..
නවයට විතර ගිහින් රෑ කෑම එකත් ගේන්න කියලා හිතාගෙන..
මදැයි කොලා..

නැගිටලා බලනකොට වෙලාව රෑ දොළහා හමාරයි..
දැන් ඉතින් මොන කෑමද..
ඉවසපන් පපුව..ආ වැරදුනා බඩ..
කියලා නිකා හිටියා..
ඔන්න මාරයාටත් කෙළවෙන තැන්...

ඒ ගමන්ම බැරියෑ මොනවා හරි ලියලා දාන්නත්...

මෙ දීරඝ කතාවක් නෙවෙයි.. කෙටි කතාවක්..

ජුං ගැනත් නෙවෙයි.. මිනිහාගේ මල්ලී ගැන.
දන්නවනේ කවුද කියලා..ඔව් ඔව් රතනයා තමා...

මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කතා කියන්න ගියහම කියන කතාවට අදාල පරිසරය හා පසුබිම ගැන ලියන්න තියෙන අමාරුව.
ඇත්තටම කතාව සම්පූර්ණ වෙන්න නම් පසුබිම ගැන පැහැදිලි දසුනක් ඔයාලගේ හිතේ මැවෙන්න ඔනේ..
ඒත් ඒක කරන්න ගියහම..
සෑහෙන්න වචන කොටන්න ඔනේ..
දන්නවනේ මම කම්මැලියා කියලා..ඒ මදිවට බඩගින්නේ...

කොහොම හරි මෙ කතාවෙ පරිසරය මෙන්න මෙහෙම තැනක්..
අපේ ගමෙ තියෙනවා බෝක්කුවක් ප්‍රසිද්ධ..
ඉතින් මෙ බෝක්කුව ගාව ඇළ පාර ටිකක් විසාලයි..
ඒ වගේම එතන අලි නාවන්න පුළුවන් තරමෙ ඇළ පළල් වීමෙන් හැදුනු වලකුත් තියෙනවා..
සමහර විට අලි නෑවීම නිසාම තමයි මෙක හැදෙන්න ඇත්තේ..

කොහොම හරි එම ස්ථානයට මීටර එකසිය පණහක් විතර දුරින් වෙල් යාය හරහා වැටුනු පරණ වෑ කණ්ඩියක් තියෙනවා.
මෙ වෑකණ්ඩිය ටිකක් කෑලෑවක් වගේ උනත් මිනිස්සු ටිකක් මෙ වෑ කණ්ඩිය දිගට කුඩා පැල්පත් වගේ නිවාස කිහිපයක් තනාගෙන ජීවත් උනා.

ඉතින් අපි කස්ටිය දවසක් අර කියපු අලි නාවන වලට ගිහින් සුවසේ දිය කෙළමින් ඉන්න අතරේ..
පොඩි අවුලක් උනා..
ඇත්තටම එදා ඉස්කෝලේ දවසක්..
ඒත් ඉතින් උදේම පුංචි වැස්සක් ගියා.
දන්නවනේ ඉතින් අඩන්න ඉන්න එකාගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නාම වෙන දේ..

අපිත් ඉතින් තෙමෙන්න හොද නෑ..වැස්සේ ඉස්කෝලේ ගිහිල්ලා කියන පදනම තර්කානුකූලව ඉදිරිපත් කරලා ඉස්කෝලේ නොගිහින් හිටියට උදේ නවය දහය වෙන කොට පොද වැස්සේම සෙට් වෙලා දුවනවා ඇලේ නාන්න..
එදාත් එහෙම දවසක්..

එක එකා වෙන වෙනම බොරු කියලා ගෙදර නැවතිලා නාන්න ගියා.

ජුං සහ රතනත් තෙමෙන්න හොද නැහැ හෙම්බිරිස්සාව යන මාතෘකාව මත තමයි නැවතිලා හිටියේ..
ඉතින් පසයාල මහප්පා..ඒ කියන්නේ රතනලගේ තාත්තත් උදේ පාන්දරම කොල්ලෝ දෙන්නට ඉගෙනීමෙ ඇති වැදගත්කම ගැන සහ හොද මිනිසුන් වීම පිළිබඳද දේශනාවක් එහෙම කරලා කඩෙ පැත්තට යන්න කියලා ගිය ගමන් අපේ මෙ හොඳ පුත්තු දෙන්නා අපිත් එක්කම නාන්න ගියා.

දැන් ඉතින් නානවා..පීනනවා..දියබුං ගහනවා..
බෝක්කු කට උඩට නැගලා ඇළට බල්ටි ගහනවා..
වතුර ගහ ගන්නවා..
දිය යටින් ගිහින් අනිත් එවුන්ගේ අරවා මෙවුවා මිරිකලා මාරු වෙනවා..
වැඩ කෝටියයි..
මෙ අතරෙ අපිට වඩා ටිකක් වැඩිමල් තරමක් ඔළුව හොද නැති ගමෙ බුවෙකුත් මෙතනට සෙට් වෙච්චි.
එක පාරටම අපේ රතනයා අපේ එකෙකුට කියලා හිතලා ගහපු වැලි පාරක් වැදුනේ නැද්ද අර මෑන්ස්ගේ පිට හරහාට..
මළා ජෝන්..
මෙකාට මල පැනලා රතනයා පස්සෙන්ම පන්නන්න ගත්තේ නැතෑ..
රතනයාත් ඇළෙන් ගොඩට පැනලා හුරේ රන් එක දෙනවා..
අපිට හිතා ගන්නවත් වෙලාවක් උනේ නැහැ..අර බුවාත් අංගුලිමාලයා වගේ පස්සෙන් පන්නනවා..
බල්ටියක් ගහන්න වතුරෙන් ගොඩ වෙලා හිටිය ජුංඅලයත් මුන් දෙන්නා පස්සේ පන්නනවා..
තුන් දෙනාම දිවුවෙ අර මම කළින් කිවුව වෑ කණ්ඩිය පැත්තට..
අපි වතුරෙන් ගොඩට පනිනකොට මුං තුන් දෙනාම සුවාස්..ඒ කියන්නේ හොයන්නවත් නැහැ.
ඒත් ඉතින් බය වෙන්න දෙයක් නැහැ.
මොකද දුවලා නම් අපේ ජුං සහ රතනයා අල්ලන්න පුළුවන් එකෙක් ඒ දවස්වල අපේ ගමෙ හිටියේ නැහැ.
ඒ තරමට මුන් දෙන්නා දුවන්න දක්ෂයි.
අනික පස්සෙන් එළවපු බුවාත් හෙන මැන්ටලේ..මෑන්ස්ට අරූව අල්ලන්න නම් හයර් එකට වාහනයක්වත් හොයාගෙන යන්න වෙනවා.
කොහොම හරි විනාඩියක් යන්න කළින් අපේ එවුන් දෙන්නා වෑ කණ්ඩිය හරහා ගිහින් වංගු දෙකක් එහෙම නවලා..
ආපහු අපි ඉන්න පැත්තටම දුවගෙන එනවා දැකපු අපි ටික දැන් වෙල මැද්දෙම නැවතුනා.

අවුලක් නැහැ..
අර බුවා පේන්න නැහැ.
අපේ බඩු දෙකම සුවසේ හිනා වෙවී ඉන්නවා.

මොකද බං උඹලා හිනාවෙන්නේ.. අපේ එකෙක් ඇහැවුවා..
මාර මගුලක්නේ බං උනේ..

ඇයි මොකද..?

ඔන්න ඉතින් දැන් දෙන්නත් එක්ක කතාව කියනවා..

මොකද හැබෑටම වෙලා තියෙන්නේ...?

අපේ රතනයා දුවගෙන දුවගෙන යන ගමන් කෙලින්ම වෑ කණ්ඩියට ගොඩ වෙලා මුලින්ම හම්බ උන ගෙදරට රිංගලා..
පස්සේ දොරින් රිංගලා ඉස්සරහා දොරින් එළියට දුවලා රිංගුවෙ නැද්ද ඒ කෙළින්ම තිබුනු දෙවෙනි ගෙදරටත්..

මෙන්න වැඩෙ.. ගේ මැද්දෑවෙ..අර උදේ ආදර්ශවත් දේශනාවක් එහෙම දීලා ගෙදරින් ආපු රතනයාගේ පියතුමා තවත් ඔල්ඩ් මෑන්ස්ලා ටිකක් එක්ක බූරුවා ගහනවා..

හිතන්නකෝ පොලිසියෙන් පනී කියලා මර බයෙන් බූරු ගගහා ඉන්න තැනට අපේ එකා වතුර පෙරාගෙන..හති දාගෙන දුවගෙන ගියහම වෙන වැඩෙ..

ඊට එහා උදේ හෙම්බිරිස්සාව නිසා ඉස්කෝලේ නොගිය එකා..දැන්වතුර පෙරාගෙන ඉන්නවා දැක්කම තාත්තාට ඇති වෙන හැගීම...
ඊටත් හපන් වැඩෙ ධර්ම දේශනාව දීපූ එකාම ධර්මය කඩන එක අතටම අහු උනාම ඇතිවන තත්වය..

කොහොම හරි..රතනයා ඇතුලට දුවනවාත් සමගම එතැන හිටිය උන්ගෙන් දෙන්නෙක් ආතබූත කඩාගෙන දුවපි.
එතනින් එකෙක් ඒ ළග කසිප්පු විකුනන එකෙක්..අනිකා නම් මර බයටම දුවපු එකෙක්..

අනිත් උනුත් දුවන්න හදනකොටම ආවේ රතනයා කියලා අදුර ගත්ත නිසා පොඩ්ඩක් නැවතිලා..
ඒ අතරෙ ලොක් වෙලා වගේ හිටිය පසයාල මහප්පා..
කට ඇරලා..

ආ..ආ...රතන උඹ මොකද මෙහෙ කරන්නේ..
කෝ අයියා..?

පිටි පස්සෙන් එනවා..
මං මං පස්සේ කියන්නං..
මම යනවා..

මෙහෙම කියලා රතනයා ආ වෙගෙටම දුවපි.
ඒත් එක්කම ඇතුලට ආවෙ පස්සෙන් එළවපු මෑන්..
ඌට මොකද උනේ කියලා අපි දැන ගත්තේ පස්සේ..මිනිහත් බූරු ගහන්න සෙට් වෙලා එහෙමම..

තුන් වෙනුවට දුවගෙන ගිය ජුංඅල අර ගෙට රිං ගන්න කලින් අපේ රතනය ගේ වටෙන් දුවලා ඇවිත් මිනිහාව නතර කරගෙන ආපහු අපි එන පැත්තට දුවගෙන ඇවිල්ලා...

ඔන්න වෙච්ච වැඩේ...

හැබැයි වෙනදාට මෙහෙම හොර වැඩක් කරලා අහු උනාම කොල්ලෝ දෙන්නව පට්ට ගහන පසයාල මහප්පා එදා නම් හවස් වෙලා ගෙදර ඇවිත් තියෙන්නේ කොල්ලෝ දෙන්නට ආප්ප උරයකුත් අරගෙනම තමයි.

08 May 2010

අතීතයෙන් තව දවසක්...

අද තාමත් මුකුත්ම ලියන්න බැරි උනානේ...
උදේ ගෙදර ආව වෙලාවෙම හදිසි කේන්දරයක් බලන්න තිබුනා.
ඒ නිසා මුලින්ම කලේ ඒක බලලා ඉන්න එකයි.

අද ඉවුවෙත් නැහැ..
දවසම කඩෙන් තමයි.
උයන්නත් කම්මැලි හිතුනා.

ටිකක් අප්සටි දවස් කිහිපයක් තමයි ගෙවෙන්නේ...

පහුගිය දවස් ටිකේ ජුංඅලගේ කතා ලිවුව නිසා තරමක් විතර සිත අතීතයට ගලා ගිහින් නතර උනේ සැහැල්ලූ මතකයන් අතර වීම නිසා ඇත්තටම සිතට තරමක සහනයක් තිබුනා...
ඒත්..
හැමදාමත් ඒවාම ලිය ලිය ඉන්නත් කම්මැලියි.
ආයේ පස්සේ දවසක ලියන්න ඔන..

දැනට ජුං කතා නවත්වන්න කියලා හිතුවා.

මෙ බ්ලොග් එක පටන් ගත්තේ ගිය අවුරුද්දේ නොවැම්බර් වගේ කියලයි මට මතක...

එදා ඉඳන් ලිපි අනූ ගණනක් ලියලා තියෙනවා..
සීයයට ආසන්නයි..

ටිකක් වෙගයෙන් පසු ගිය දවස් ටිකේ ලිපි කිහිපයක් ලියාගෙන ගියේ ඉක්මනට සීය ගහන්න හිතාගෙන උනත් මට අවශ්‍ය දිනයට ඒක කරන්න බැරි වෙයි වගේ ඒ හින්දා මම ඒ ගැන එච්චර නොහිතා ඉන්න කල්පනා කලා.

ඉක්මන් ලිපි සඳහා ජුං මට උපකාරී උනා කිවුවොත් ඒක සම්පූර්ණ ඇත්ත.

මගේ ජීවිතේ ලස්සනම දවස් ටික වෙුන ඒ අතීතය ඇත්තටම අදටත් මට සිහිනයක් වගෙයි.

ලල්ලා..කපිල.. බුරුස් චමින්ද සහ ජිරිස් චමින්ද.. හේමන්ත...
ජුංඅල සහ රතන.. චාමර..
රොෂාන්.. නිලන්ත..
සිනජිරි.. මල්ලී..
මම..

අපි ඔක්කෝම එකා වගේ හිටපු කාලේ..

ඔය අතරින්..
මාත් මල්ලීත්,
ලල්ලා සහ කපිලත්,
ජුංඅල සහ රතනත්,
බුරුස් චමින්ද සහ හේමන්තත්,
සොහොයුරු යුගල්...

අනිත් බුවාලා ටික තනි සෙට් එක ...
තනි සෙට් එක කිවුවට උන්ටත් සහෝදරියෝ හිටියා..
ඒත් අපේ ගැන් එකට නැහැ.
උදාහරණයක් වශයෙන් කිවුවොත්
ඔතනින් ජිරිස් චමින්ද කියන්නේ මගේ වෙන්න මස්සිනා වෙලා හිටිය බුවා..

මිනිහා ගැනත් මට වචනයක් කියන්න ඔනේ...

මම නංගි එක්ක යාළුයි කියලා දැන ගත්තට පස්සේ දවසක් මිනිහා කිවුවා
මචං මට උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඔන කියලා...
මට තාමයි අපි දෙන්නා වින්කලේ ඉස්සරහා අඹ බංකුවෙ වාඩි වෙලා හිටිය විදිය..

උඹ දන්නවනේ මම මොකක්ද කියන්න යන්නේ කියලා...
උඹ ඇත්තටම නංගිට කැමතිනම් මට එපා කියන්න බැහැ..
කොහොමත් මට කවදාවත් උඹට වචනයක් කියන්නත් බැහැ..
හැබැයි දන්නවනේ අපේ ෆාදර්කාරයාගේ හැටි..
මොනවා උනත් මම විරුද්ධ නැහැ..
මට ගෙදරින් ලෙඩ වැටෙන්න නම් තියන්න එපා.
උඹ කවුද කියලා කියන්න මම දන්නවනේ..
ඒ හින්දා මට අවුලක් නැහැ..
මොන දේ කලත් පරිස්සමින්..
පිස්සු කෙලින එක නවත්තලා ටිකක් පිළිවෙලක් වෙයන්..
එච්චරයි..

ඔය වචන ටික ඇර එදා මෙදා තුර වෙන එක වචනයක්වත් ඒ ගැන අපි දෙන්නා කතා කරලා නැහැ.

ඇත්තටම ඌ මාව හොදට තේරුම් අරන් හිටියා.
මිනිහා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ඒත් අපිත් එක්ක එකටම වැටීගෙන හිටියේ..

කොටින්ම අපි දෙන්නා ඉස්සර එකටමයි බොන්න පටන් ගත්තෙත්..

ඇලවල් වල පැනලා නාන්න යන්න උදෙන්ම ඉස්කෝලේ යන විදියට බයිසිකලෙත් අරන් ගෙදරින් ගිහින් ගිහින් වටෙ පාරකින් ආපහු ගෙදරට හෝ අපිත් එක්ක නාන් යන්න සෙට් වෙන එකා..

නාන් කිවුවමයි මතක් උනේ..
ඉස්සර අපි දෙන්නාම කරට කර පිහිනන දෙන්නා..
ඌ මාවවත් මම ඌවවත් කවදාවත් පරද්දලා නැහැ.

ඒ වගේම කියන්න ඔන..
මාව පරද්දලා පිහිනන්න පුළුවන් එකම එකයි අපේ සෙට් එකේ හිටියේ..
කවුද දන්නවද..
ඒ තමා අපේ ජුං..
ඇත්තටම මිනිහා ඒ වැඩෙට දක්ෂයා..
අපි හැමෝටම වතුර කියන්නේ ජීවිතය වගේ ඒ දවස්වල..

මම තමයි වැඩිම වෙලාවක් දිය යට ඉන්න පුළුවන් එකා...

අපේ මල්ලි දිය යටින් දුරටම පිහිනන්න පුළුවන් හාදයා...

මගේ වෙන්න මස්සිනා වෙලා හිටි චමින්දයා ඔනම උඩක ඉදලා වතුරට පනින්ද දක්ෂයා..

මමයි ජුමයි තමයි හිටිය හොදම බල්ටි ගහලා වතුරට පනින දෙන්නා..

හැබැයි මට පිටුපසට බල්ටි බැහැ.
චමින්දයි රතනයයි තමා ඒකට දක්ෂ..

ඒ දවස්වල වතුර කොහෙද අපි එතන..
පස්සේ ගමෙ කැඩිලා තිබුනු වැව් බැම්ම හදලා වතුර පිරෙවුවට පස්සේ නම් ඉතින් අපිට රජ කම හම්බ උනා වගේ තමයි.

දිය කෙළිය..
සරුංගල් ඇරිල්ල..
පායන කාලෙට වෙලේ එල්ලේ ගැහිල්ල..
පොල් වතු පුරා ක්‍රිකට් ගැහිල්ල..
සංගීත බැලිල්ල..
අවුරුදු උත්සව..
වෙසක් එකට දන්සැල් කන්න යන එක..
පෝයට පන්සල් ගිහින් සෙමාරිස්ලා වෙන එක...

මොන තරම් සුන්දර කාලයක්ද..
මතක් වෙන්න වෙන්න ලියන්න දේවල් ගොඩ ගැහෙනවා..
හැම මතකයක් එක්කම ලස්සන කතා ගොඩාක් තියෙනවා...
පුළුපුළුවන් වෙලාවට ලියලා දාන්න ඔන..
ඒත් දැන් නම් බැහැ...

06 May 2010

තවත් එකක් කියලා දාමු... සිනමා දේවතාවා සහ ජුං...

මතක් වෙච්ච වෙලාවෙ එපැයි කියලා දාන්න.
කෙටියෙන්ම කියන්නම්කෝ..
මෙක පොඩි එකක්..

එතකොට මට වයස නැතෑ අවුරුදු 15ක් 16ක් විතර..
අපේ ජුංට.. 12ක් නැත්නම් 13ක් විතර ඇති..

ඔන්න ඉතින් දවසක් අපි සෙට් එක ගියා ෆිල්ම් එකක් බලන්න..
ඒ වෙන කොට මායි මල්ලියි නම් සෑහෙන්න ෆිල්ම් බලලා හිටියේ හොල් වලට ගිහිල්ලා...
ඔන්න කෙලිය කෙටියෙන් කියන්න ගියාට මට තව කතාවක් මතක් උනානේ...

එතකොට මට 11යි,
අපේමල්ලිට 9යි...
මං ඉතින් ඒ වෙනකොට පහේ විභාගේ එහෙම සමත් වෙලා කොඹල ඉස්කෝලේ ගාටන කාලේ නෙව..
බස්වල එහෙම යන්ට එන්ට පුළුවන් තනියම..
ඒ හින්දම දවසක් මායි මල්ලියි කතා උනා යං චිත්‍රපටියක් බලන්න කියලා...
ළගම හොල් එක ඉතින් වඩකත රුවනි එක තමා..

තාත්තත් ඉතින් වැඩි විරෝධයක් පෑවෙ නැහැ..
මොකද ඒ වෙනකොටත් අපි දෙන්නා හුගක් පැහිලා හිටියේ...

මීට කලින් තාත්තත් එක්ක ගිහින් පළපුරුද්දත් තියෙන නිසා අපි දෙන්නත් එක්ක ඉතින් කොහොමින් කොහොම හරි ගිහින් ෆිල්ම් එකත් බලපි..

හැබැයි එන්ට උනේ හරියටම කිලෝමීටර අටක් විතර මග ගෙවාගෙන පයින් තමයි..
හේතුව...
චිත්‍රපටියේ ඉන්ටවල් එකේදී අතේ තිබුනු ඔක්කෝම සල්ලි වලින් අපි දෙන්නා ටොපි,ලොසින්ජර,චොකලට් කාලා..
එකම එක රුපියලයි ඉතුරු.
ඒකෙන් අපි එක්කෙනෙකුට බාගේ ටිකට් එකක් අරන් එන්න පුළුවන් උනත්..
දෙන්නෙකුට බැහැනේ..
මට නම් ඉතින් ඒ දවස්වල බස් එකේ නිකං එන එක ගානක් නෑ..
ඉතින් මල්ලිට රුපියල දීලා බස් එකේ ටිකට් අරන් එන්න කිවුවත් ඌ නෙවෙයි ඒකට කැමති උනේ..
අන්තිමට දෙන්නත් එක්ක ඒ රුපියලෙත් ටොෆී දෙකක් අරන් කාලා පයින්ම ගෙදර ආපි..

ඉතින් අපි අපේ ප්‍රධාන කතාවට යන්කෝ...

ඉතින් අපේ මෙ මහා සිනමා දැක්මට පුරුදු කරුවන් වූ මාරයායි, මාර මල්ලීයි,
තවත් අපේ වැඩිහිටි ළමයෙකුවූ සිනජිරි යයි ජුංඅල සහ රතනයයි තමයි සෙට් උනේ..
මෙකට කැමති තවත් බුවාලා හිටියත් ගෙවල් වලින් බකට් හින්දා වැඩෙ හරිගියේ නැහැ.
ආ.. තව බුවෙක් ඉන්නවා..
අර කලින් ජුංගේ ලියුම් කතාවෙ සිටි පර්ස් එක ඉල්ලන් ගිය මීචන්ද යයි.
දැන් ඔක්කොම හයයි.

කොහොමින් කොහොම හරි අපිත් ගියා බරිකිත්ගොඩ හිමාලි එකට...
දැන් මෙතනින් තුන් දෙනෙක් පළපුරුදු උදවිය...
මාරයයි,මල්ලියි,සිනජිරියයි...

කෝඩු කාරයෝ තුන් දෙනයි..
මීචන්ද, ජුංඅල සහ රතන..
ඔතනින් මීචන්දයා දඩු කෝඩු.. ඒ කිවුවෙ ඒකා මටත් වැඩිය වැඩිමල් උනත් මෙතුවක් කාලෙකට සිනමා ශාලාවකට ගිහින් නැහැ..
ඒ උනාට ඌව අන්දන්න බැහැ..ටිකක් දැනුම් තේරුම් තියෙන එකා...

කොහොම හරි දුර කතර ගෙවාගෙන අවසරපත් එහෙම අරගෙන ගිහින් වාඩි උනේ නැතැයි..අපි

මෙන්න රතනයා කියනවා...

එළියෙ නම් ලයිට් තියෙනවා..ඇතුලේ ලයිට් ඩිම්නේ...
ලයිට් ගියොත් පෙන්නන එකක් නැද්ද.. කියලා

නැහැ බන් බය වෙන්න එපා කොහොම හරි පෙන්නයි...
වැඩෙ තියෙන්නේ හුළගට ඇන්ටනාව කැරකුනොත් තමයි වැඩෙ බකල් වෙන්නේ...සිනජිරියා කියපි.

තාම සිනමා ශාලාව අඩ අදුරේ තියෙන්නේ...
පසුබිමින් ජෝතිපාල ලතා වල්පොල සමග සුදුපාට මීදුම් ගලාලා...
ගයනවා..

දැන් ඉතින් අපි නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා..මෙක පටන් ගන්නකම්...
ඒ අතරේ දැන් ජුමා සහ රතනයා ඇස් ගෙඩි දෙක ලොකු කරන් තිරෙ දිහාව බලන් ඉන්නවා...

ඔන්න ඉතින් ඒක දැකපු මගේ ටිකිරි මොළේට ආවා පොඩි ජිල්මාට් එකක්...

මම හිමින් සීරුවෙ සින ජිරියගේ ඇගට ඇගිල්ලකිනුත් ඇනලා පටන් ගත්තා වැඩෙ...

ඒක නෙවෙයි ජුං දැන් උඹලා වදින හැටි එහෙම දන්නවා නේද..?

මොන වඳින විදියද..බං.. ජුමා මගෙන් අහනවා...

මම තරමක් විමතියෙන් මෙන්..
ඇයි බං සිනමා දේවතාවට වඳින විදිය...

අනේ ඒ කවුද..?ඒ රතනයාගේ බියපත් කටහඩ...

අනේ බං උඹලා දන්නේ නැද්ද..? මෙ චිත්‍රපටි හොල් වලට අධිපති දේවතාවෙක් ඉන්නවානේ..
මුලින්ම චිත්‍රපටියක් බලන්න එන හැම කෙනාම චිත්‍රපටිය පටන් ගන්න කොටම සාදු කියලා වදින්න ඔන..ඔය දෙන්නේ සිනජිරියා මටත් වඩා හොදට...

අනේ පලයන් යන්න..උඹලා බොරු කියනවද කොහෙද..?මම නං වඳී..ජුං වීරයා වගේ කියනවා.

හරි හරි උඹලාට වඳින්න බැරිනම් නිකං හිටපල්ලා.. හැබැයි අපි ගාව ඉන්න එපා අර ඈතින් ගිහින් වාඩි වෙයල්ලා.. නැත්නම් දේවතාවා අපිත් එක්කත් කෝප වෙලා අපිටත් කරදර කරාවි...

දැන් රතනයා කියනවා..
අනේ වදිමු බං..උඹ හින්දා මටත් මොනවා හරි වෙයිද දන්නේ නෑ...

අනේ පලයල්ලා යන්න.. මම නං වඳී..

ජුං දැන් රියල් වීරයා..

ඒත් එක්කම ටී්‍රංංංංං තුන් වන සීනුවත් සමගම මෙතෙක් වෙලා සිනමා තිරය වසාගෙන සිටි තිර රෙදි දෙක දෙපසට වෙන්න පටන් ගත්තා විතරයි...

සාධු..සාධු..සා...ධූ..
ජුමා නැගිටගෙනම වැඳපි නේද තිරයට...

වීරයා මැරිලා...